Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝසෙප්

‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’

‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’

ඔටුවන් පිටේ බඩු පටවගෙන ඊජිප්තුවට යන තවලම්කරුවන් එක්ක යෝසෙප් නයිල් ගං තීරය දිගේ ගමන් කරනවා. ඒ අවට වැවී තිබෙන නෙළුම්, මානෙල් වගේ මල්වල සුවඳින් මුළු පරිසරයම නැහැවිලා. මිනිසුන්ගේ අඩි සද්දේ නිසා පරිසරයේ නිහඬතාව බිඳිමින් ඉඳ හිට කොක්කු ඉගිල්ලිලා යනවා. අවට පරිසරය මොන තරම් සුන්දර වුණත් යෝසෙප්ට මතක් වෙන්නේ කඳුකරයේ හෙබ්‍රොන් නගරයේ ඉන්න ඔහුගේ පවුලේ අයවයි. ඔහුට දැනෙන්නේ වෙනම ලෝකයකට ආවා වගෙයි.

මඟ දෙපස තියෙන රටඉඳි හා අත්තික්කා ගස්වල ඉන්න වඳුරන්ගේ හඬයි ඔහු ළඟින් යන අය කතා කරන භාෂාවයි ඔහුට ඇහුණේ එක වගේ. කිසිම දෙයක් තේරුණේ නැහැ. ඔවුන් කියන වචනයක් දෙකක් තේරුම්ගන්න යෝසෙප් උත්සාහ කරන්න ඇති. ඒ නුහුරු නුපුරුදු පරිසරයේ හිටිය යෝසෙප්ට එක දෙයක් සක්සුදක් සේ පැහැදිලි වුණා. ඔහුට ආපහු කවදාවත් ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා ඔහුට ඒ භාෂාව ඉගෙනගන්න සිදු වෙන්න ඇති.

මේ වෙනකොට යෝසෙප් අවුරුදු 17ක 18ක කොලුගැටයෙක් වුණත් වයසට උහුලන්න බැරි තරම් දුක් කරදරවලට මුහුණ දීලා තියෙනවා. පියා ඔහුට වැඩියෙන් ආදරේ කළ නිසා ඔහුගේ සහෝදරයන් ඔහුට වෛර කළා. ඔවුන් යෝසෙප්ව මරලා දාන්නත් තැත් කළා. ඒත් ඔහුගේ ජීවිතේ බේරුණේ ඔවුන් ඊජිප්තුවේ වෙළෙඳුන්ට ඔහුව විකුණන්න තීරණය කරපු නිසයි. (උත්පත්ති 37:2, 5, 18-28) ඔහු සති ගාණක් තිස්සේ යන මේ ගමන අවසන් වෙන්නේ වෙළඳ නගරයක් වන ඊජිප්තුවෙදියි. නගරයට ටිකෙන් ටික ළං වෙද්දී යෝසෙප්ව ගෙනියන වෙළෙඳුන්ට දැනෙන්නේ පුදුම සතුටක්. ඔවුන් ගෙනියන වටිනා දේවල් වගේම යෝසෙප්වත් හොඳ මිලකට විකුණගන්න පුළුවන් කියලා ඔවුන් දන්නවා. ඒත් යෝසෙප් හිටියේ මොන වගේ මානසිකත්වයකින්ද? ඔහු මානසිකව වැටෙන්නේ නැතුව ඉන්න කළේ මොනවාද? ඒ වගේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන් ගැන තියෙන විශ්වාසය දිගටම තියාගන්න අපිටත් පුළුවන් කොහොමද? අපිට යෝසෙප්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

‘යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබුණා’

“යෝසෙප්ව ඉෂ්මායෙල්වරුන් විසින් ඊජිප්තුවට ගෙන යන ලදි. ඊජිප්තු ජාතිකයෙක් වූ පොතිෆර් ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහුව මිල දී ගත්තේය. පොතිෆර්, පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියාද විය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 39:1) අතින් අතට යන වෙළඳ භාණ්ඩයක් වගේ දෙවෙනි වතාවටත් යෝසෙප්ව වහලෙක් විදිහට විකුණුවාම ඔහුට මොන තරම් නින්දාවක් ඇති වෙන්න ඇද්ද! ඔහුව මේ වතාවෙදී මිල දී ගත්තේ ඊජිප්තුවේ රජමාලිගාවේ නිලධාරියෙක්. අලුත් ස්වාමියා එක්ක කඩසාප්පුවලින් පිරුණු ජනාකීර්ණ මංමාවත් දිගේ අලුත් නවාතැනට ඔහු ගිය විදිහ ඔබට සිතින් මවාගන්න පුළුවන්ද?

යෝසෙප් අලුත් නවාතැනට ආවාම ඔහුගේ ඇස් අදහාගන්න බැරි වුණා. මොකද යෝසෙප්ගේ පවුලේ අය එඬේරුන්. ඔවුන් ජීවත් වුණේ කූඩාරම්වලයි. ඔවුන්ට ස්ථිර නිවහනක් තිබුණේ නැහැ. ඒත් පොතිෆර් වගේ නිලධාරීන් ජීවත් වුණේ විවිධ වර්ණවලින් ඔප නංවා තිබුණු අලංකාර මන්දිරවලයි. ඒ මන්දිර ගැන පුරාවිද්‍යාඥ කැණීම්වලින් යම් අදහසක් ලබාගන්න පුළුවන්. පුරාණයේ සිටි ඊජිප්තුවරුන්ගේ මන්දිර අවට පැපිරස් හා නෙළුම් පොකුණු සාදා තිබුණා. ඒ වගේම උයන්වල විශාල ගස් වවා තිබුණා. සමහර මාලිගාවල නිදන කාමර ගණනාවක්, විශාල කෑම කාමර, සේවකයන්ට වෙනම නවාතැන් වගේම පරිසරයේ සිරි නරඹන්න විශාල ඉස්තෝප්පුත් වාතාශ්‍රය සඳහා හුළං කවුළුත් තිබුණා.

විශාල මන්දිර හා ඒවායේ තිබුණ සැපපහසු ජීවිතයට යෝසෙප්ගේ හිත ඇදිලා ගියාද? එහෙම වුණා කියලා නම් හිතන්න බැහැ. ඒත් ඔහුට ලොකු තනිකමක් නම් අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති. ඊජිප්තුවරුන්ගේ භාෂාව, ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි ඔවුන්ගේ ආගම පවා ඔහුට අලුත් දෙයක්. ඔවුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කළ අතර භූතවාදයට සම්බන්ධ දේවලත් ඇලීගැලී හිටියා. මරණය හා මරණයෙන් පස්සේ ජීවිතය ගැනත් ඕනෑවට වඩා කරදර වුණා. “යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ” නිසා ඔහු නුහුරු නුපුරුදු පරිසරයක හිටියත් තනිකමෙන් යටපත් වුණේ නැහැ. (උත්පත්ති 39:2) යෝසෙප් ඔහුගේ හිතේ තිබුණ හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියන්න ඇති. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 145:18) ඔහු තවත් මොනවාද කළේ?

යෝසෙප් ඔහුට පැවරුණු රාජකාරිය හැකි උපරිමයෙන් කළා. යෙහෝවා දෙවියන් ඔහුගේ වෑයමට ආශීර්වාද කළා. වැඩි කල් යන්න කලින් ඔහුගේ ස්වාමියාගේ හිත දිනාගන්න ඔහුට හැකි වුණා. යෝසෙප් නමස්කාර කරන දෙවියන්ගේ ආශීර්වාදය යෝසෙප්ට තියෙනවා කියලා පොතිෆර් තේරුම්ගත්තා. යෝසෙප් මොන තරම් පොතිෆර්ගේ හිත දිනාගත්තාද කියනවා නම් පොතිෆර්ට අයිති සියල්ල බලා කියා ගන්න ඔහුට බාර දුන්නා. දෙවියන් යෝසෙප්ට ආශීර්වාද කළ නිසා පොතිෆර්ගේ ධන සම්පත් එන්න එන්නම වැඩි වුණා.—උත්පත්ති 39:3-6.

යෝසෙප් යෞවනයන්ට කදිම ආදර්ශයක්. උදාහරණයකට පාසැලේදී තමන් තනි වෙලා කියලා යෞවනයන්ට හිතෙන්න පුළුවන්. දෙවියන්ට නමස්කාර නොකරන අය භූතවාදය හා සම්බන්ධ දේවල නියැලෙනවා. ඔවුන්ගේ ජීවිතවලට කිසිම හරයක් නැහැ. ඒ නිසා ක්‍රිස්තියානි යෞවනයන්ට ඒක නුහුරු නුපුරුදු පරිසරයක් වෙන්න පුළුවන්. ඔබත් එවැනි තත්වයකට මුහුණ දෙන යෞවනයෙක් නම් යෙහෝවා දෙවියන් වෙනස් වෙලා නැහැ කියලා මතක තියාගන්න. (යාකොබ් 1:17) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හා ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න වෑයම් කරන අය එක්ක දෙවියන් හැමදාම ඉන්නවා. ඔහු ඒ වගේ අයට ආශීර්වාද කරන නිසා ඔබටත් ආශීර්වාද කරන බව නිසැකයි.

කොලුගැටයෙක්ව සිටි යෝසෙප් වයසින් වැඩී තරුණ කාලෙට පිවිසෙද්දී ඔහු “ඉතා කඩවසම් පෙනුමක් ඇති කෙනෙක්” වුණා කියලා බයිබලයේ වාර්තා වෙනවා. කෙනෙකුගේ සිත්ගන්නා පෙනුම බොහෝ අවස්ථාවලදී අනතුරකට අත වැනීමක් වෙන්න පුළුවන්.

විශ්වාසවන්ත සේවකයෙක් වුණු තරුණ යෝසෙප්ට පොතිෆර්ගේ භාර්යාවගේ සිත ඇදී ගියා

‘ඔහු සවන් දුන්නේ නැත’

යෝසෙප් තම ස්වාමියාට විශ්වාසවන්තව ඉන්න ඕන කියලා හිතුවා. ඒත් පොතිෆර්ගේ භාර්යාව ඇගේ ස්වාමිපුරුෂයාට විශ්වාසවන්තව ඉන්න ඕන කියලා හිතුවේ නැහැ. “යෝසෙප්ගේ ස්වාමියාගේ භාර්යාව යෝසෙප් දෙස රාගයෙන් බලන්න පටන්ගත්තාය. ඇය කිහිප වතාවක්ම, ‘මාත් සමඟ සයනය කරන්න’ කියා ඔහුට පෙරැත්ත කළාය.” (උත්පත්ති 39:7) තරුණ අයට ඇති වෙන ආශාවන් යෝසෙප්ට තිබුණේ නැහැ කියලවත් හැම සැප සම්පතක්ම තිබුණු පොතිෆර්ගේ භාර්යාව අවලස්සනයි කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. යෝසෙප්ට පොතිෆර්ගේ භාර්යාව ගැන ආසාවක් ඇති වුණාද? තමන් කරන දේ කවුරුත් දැනගන්නේ නැහැ කියලා හිතුණාද? ඇගේ ආශාවන් ඉෂ්ට කළොත් තමන්ට වාසි ප්‍රයෝජන ලැබෙයි කියලා හිතුණාද?

යෝසෙප්ට ඒ වෙලාවේ මොන වගේ සිතුවිලි ඇති වුණාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒත් ඔහු ඇයට කියපු මේ දෙයින් ඔහුගේ සිතේ තිබුණු දේ පැහැදිලියි. “මගේ ස්වාමියා මාව විශ්වාස කරන නිසා ඔහුගේ නිවසේ තියෙන හැම දෙයක්ම ඔහු මගේ අතට භාර දුන්නා. ඔහු මම කරන කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැහැ. මේ නිවසේ මට ඉහළින් ඉන්න කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර අනික් හැම දෙයක්ම ඔහු මට භාර දී තිබෙනවා. එහෙමනම්, මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?” (උත්පත්ති 39:8, 9) යෝසෙප් ධෛර්යවන්තව ඒ වදන් කියනවා ඔබට හිතින් මවාගන්න පුළුවන්ද? ඇය කළ යෝජනාව පවා යෝසෙප් පිළිකුල් කළා. ඔහු එහෙම කළේ ඇයි?

යෝසෙප් කිව්ව විදිහට ඔහුගේ ස්වාමියාට ඔහු ගැන ලොකු විශ්වාසයක් තිබුණා. පොතිෆර්ගේ භාර්යාව හැර ඒ නිවසේ තිබුණ හැම දෙයක්ම යෝසෙප්ට භාර දීලයි තිබුණේ. ඒ විශ්වාසය කඩන්න ඔහු කැමති වුණේ නැහැ. ඊටත් වඩා යෙහෝවා දෙවි අකමැති දෙයක් කරන්න යෝසෙප් කොහොමටවත් කැමති වුණේ නැහැ. විවාහක යුවළක් අතර තියෙන්න ඕන විශ්වාසවන්තකම ගැන යෝසෙප්ට ඔහුගේ දෙමව්පියන් කියලා දෙන්න ඇති. යෙහෝවා දෙවියන් මුල්ම විවාහය සිදු කළ අවස්ථාවේදී ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් “එක් කෙනෙකු මෙන් වන්නෝය” කියලා කිව්වා. (උත්පත්ති 2:24) දෙවියන් ඇති කළ ඒ බැඳීමට හානියක් කරන ඕනම කෙනෙක් ඔහුගේ උදහසට ලක් වුණා. උදාහරණයකට, යෝසෙප්ගේ ආච්චි වන රෙබෙකාව (ඊසාක්ගේ භාර්යාව) සහ ඔහුගේ සීයාගේ මව වන සාරාව (ආබ්‍රහම්ගේ භාර්යාව) තමන්ගේ භාර්යාවන් කරගන්න වෑයම් කළ අයගේ ජීවිත බේරුණේ නූලෙන්. (උත්පත්ති 20:1-3; 26:7-11) එය දැන සිටි යෝසෙප් දෙවියන්ගේ නීති කඩ කරන්න කොහොමවටත් කැමති වුණේ නැහැ.

පොතිෆර්ගේ භාර්යාව කළ යෝජනාව ගැන යෝසෙප් කිව්වේ එය “දුෂ්ට දෙයක්” කියලයි. ඔහු වගේ වහලෙක් ඇයට කරපු නින්දාව ඇගේ තත්වයට කළ මදිපුංචිකමක් කියලා සිතුව නිසා ඇගේ තරහ ඉහ වහා ගියා. ඇය යෝසෙප්ව කොහොම හරි කැමති කරවගන්න තීරණය කළා. ඇය ක්‍රියා කළේ සාතන් හා සමානවයි. සාතන් යේසුස්ව වරදට පොලඹවන්න ගත් උත්සාහය අසාර්ථක වුණාම ඔහු “තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්” බලා සිටියා කියලා වාර්තා වෙනවා. (ලූක් 4:13) දෙවිට විශ්වාසවන්තව ඉන්න සේවකයන් යෝසෙප් මෙන් ස්ථිරව ඉන්න වගබලා ගන්න ඕනේ. “දවසක් දවසක් පාසා” ඇය යෝසෙප්ට ඇවිටිලි කළත් “ඔහු ඇයට සවන් දුන්නේ නැහැ.” (උත්පත්ති 39:10) ඒත් ඇය ඔහුව කෙසේ හෝ වරදට පොලඹවගන්න උත්සාහ කළා.

නිවසේ කිසිම සේවකයෙක් නැති මොහොතක ඇය ඇගේ සැලැස්ම ක්‍රියාත්මක කළා. යෝසෙප්ගේ රාජකාරි කටයුතු ඉටු කරන්න ඔහුට නිවස ඇතුළට එන්න සිදු වෙනවා කියලා ඇය දැන සිටියා. ඔහු ආපු ගමන්ම ක්‍රියාත්මක වුණු ඇය ඔහුගේ සළුවෙන් ඇද “මා සමඟ සයනය කරන්න” කියලා ඇවිටිලි කළා. යෝසෙප් ආපිට සළුව ඇදගන්න උත්සාහ කළත් ඇය එය තදින් අල්ලාගෙන සිටි නිසා ඔහු සළුව දමා පලා ගියා.—උත්පත්ති 39:11, 12.

අපිට මතක් වෙන්නේ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා පාවුල් දුන් උපදෙසයි. (1 කොරින්ති 6:18) යෝසෙප් අපි හැමෝටම මොන තරම් හොඳ ආදර්ශයක්ද! අපිට එදිනෙදා ජීවිතයේදී දෙවියන්ගේ නීතිවලට පටහැනි දේ කරන අයව ආශ්‍රය කරන්න සිදු වෙන්න පුළුවන්. ඒත් ඔවුන් අපිව වැරදි දේට පොලඹවාගන්න හැදුවත් අපි අහු වෙන්න හොඳ නැහැ. මොන දේට මුහුණ දෙන්න සිදු වුණත් කරන්න පුළුවන් හොඳම දේ පලා යෑමයි.

යෝසෙප් පලා ගිය නිසා ඔහුට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වුණා. පොතිෆර්ගේ භාර්යාව යටිගිරියෙන් කෑගහලා අනිත් සේවකයන්ව නිවස ඇතුළට ගෙන්වගත්තා. යෝසෙප්ගෙන් පළිගන්න අදහසින් ඇය තමාව දූෂණය කරන්න ඔහු තැත් කළා කියලත් කෑගහද්දී ඔහු පලා ගියා කියලත් සේවකයන්ට කිව්වා. යෝසෙප්ගේ සළුව ස්වාමිපුරුෂයාට පෙන්වන්න හිතාගෙන ඇය ඔහු එන තුරු බලාගෙන හිටියා. සේවකයන්ට කිව්ව බොරුවම ඇය ඔහුටත් කිව්වා. මේ හැම දෙයකටම මුල විදේශිකයෙක්ව නිවසේ සේවයට ගත්ත නිසා කියලා වරද ඔහු පිට පැටෙව්වා. පොතිෆර් ‘අතිශයින් කෝප වෙලා’ යෝසෙප්ව සරගෙදරට බාර දුන්නා.—උත්පත්ති 39:13-20.

“ඔහුගේ පාදවලට විලංගුද දමන ලදි”

ඊජිප්තුවේ ඒ කාලෙදී තිබුණේ මොන වගේ සිරගෙවල්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. පවුරුවලින් වටවුණු විශාල ගොඩනැඟිලිවල තිබුණ සිරකුටිවල හා බිංගෙවල්වල සිරකරුවන්ව සිර කළ බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. යෝසෙප් පසු කලකදී ඔහු සිටි සිරකුටිය විස්තර කරන්නේ ‘වළ’ කියලයි. ඒ වගේ අඳුරු තැනක ඉන්න කෙනෙක් කලකිරෙනවා. (උත්පත්ති 40:15) ඒ විතරක් නෙමෙයි “ඔහුගේ පාදවලට විලංගුද දමන ලදි. ඔහුව යදම්වලින් හිර කරන ලදි” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 105:17, 18) සමහර අවස්ථාවලදී ඊජිප්තුවරුන් සිරකරුවන්ගේ අත් දෙක පස්සට කරලා වැලමිටවල් පුළුවන් තරම් ළං කරලා බැන්දා. බෙල්ලට යකඩ පටියකුත් දැම්මා. නිරපරාදේ යෝසෙප්ට මේ වගේ දුක් විඳින්න සිදු වුණ එක මොන තරම් අපරාධයක්ද!

ඔහු දුක් වින්දේ කෙටි කාලයක් නෙමෙයි. බයිබලයේ කියන්නේ “යෝසෙප් යම් කාලයක් සිරභාරයේ සිටියේය” කියලයි. ඔහු ඒ විදිහට දුක්ගැහැට විඳ විඳ අවුරුදු ගාණක් ඉන්න ඇති. * ඔහුට කවදාවත් හිරෙන් නිදහස් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා ඔහු හිතන්න ඇති. ඒ විදිහට දවස්, සති, මාස ගෙවී යද්දී ඔහු මානසිකව නොවැටී හිටියේ කොහොමද?

“යෙහෝවා දෙවි දිගටම යෝසෙප්ට උපකාර කර ඔහුට කරුණාව දැක්වූයේය” කියලා බයිබලයේ කියනවා. (උත්පත්ති 39:21) සිරගෙවල්, විලංගු, අඳුරු බිංගෙවල් යන කිසිම දේකට යෙහෝවා දෙවියන්ගේ ප්‍රේමයෙන් ඔහුගේ සේවකයන්ව වෙන් කරන්න බැහැ. (රෝම 8:38, 39) යෝසෙප් හිතේ තිබුණ වේදනාව ඔහුගේ ස්වර්ගික පියාණන්ට කියන්න ඇති. ඒ නිසා “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා ලබා දෙන සමාදානය ඔහු අද්දකින්නත් ඇති. (2 කොරින්ති 1:3, 4; ෆිලිප්පි 4:6, 7) යෙහෝවා දෙවියන් යෝසෙප්ට උපකාර කළ තවත් විදිහක් බලමු. “යෝසෙප්ට සිරගෙයි ප්‍රධානියාගේ සිත දිනාගැනීමට හැකි විය” කියලා බයිබලයේ සඳහන් වෙනවා.

සිරකරුවන්ට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිදු වුණා. යෝසෙප් තමන්ට භාර දුන්න ඕනම වැඩක් හැකි උපරිමයෙන් කළා. යෝසෙප්ට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන්ට හේතුවක් තිබුණා. දෙවියන්ගේ ආශීර්වාදය නිසා යෝසෙප්ට පොතිෆර්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වුණා වගේ සිරගෙදරදීත් ඔහුට ගෞරවය හා විශ්වාසය දිනාගන්න පුළුවන් වුණා. “සිරගෙයි ප්‍රධානියා සියලු සිරකරුවන්ව යෝසෙප්ගේ භාරයේ තැබුවේය. සිරගෙයි හැම කටයුත්තක්ම මෙහෙයවනු ලැබුවේත් යෝසෙප් විසින්ය. යෙහෝවා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළ නිසාත් යෙහෝවා දෙවි යෝසෙප් කළ සියල්ල සාර්ථක වෙන්න සැලැස්වූ නිසාත් සිරගෙයි ප්‍රධානියා තමා යටතේ තිබූ කිසිම දෙයක් ගැන සොයා බැලුවේ නැත.” (උත්පත්ති 39:22, 23) යෙහෝවා දෙවියන් උපකාර කරනවා දැනුණම යෝසෙප්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!

යෝසෙප් සිරගෙදරදී මහන්සි වෙලා වැඩ කළා. දෙවියන් ඔහුට ආශීර්වාද කළා

අපිට ජීවිතයේ නොයෙක් හැලහැප්පීම්වලට, අයුක්තියට, අසාධාරණයට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. යෝසෙප්ට තිබුණු විශ්වාසයෙන් අපිට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. අපිත් දිගටම දෙවියන්ට යාච්ඤා කරනවා නම්, ඔහුට කීකරු වෙනවා නම්, හැකි උපරිමයෙන් ඔහුගේ කැමැත්ත කරනවා නම් අපිට ආශීර්වාද කරන්න දෙවියන්ට හේතු තියෙයි. යෝසෙප්ට දෙවියන් කළ තව ආශීර්වාද ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 23 ඡේ. ඔහු පොතිෆර්ගේ නිවසට යද්දී ඔහුට වයස අවුරුදු 17ක් හෝ 18ක් විතර වෙන්න ඇති කියලත් ශක්තිමත් තරුණ පුරුෂයෙක් වෙනකම් අවුරුදු කීපයක් ඔහු එහි හිටියා කියලත් බයිබලයේ කියනවා. සිරගෙදරින් නිදහස් වෙද්දී ඔහුගේ වයස අවුරුදු 30යි.—උත්පත්ති 37:2; 39:6; 41:46.