Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝසෙප්

‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’

‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’

කට්ට අව්වේ වැඩ කරලා මහන්සි වුණ යෝසෙප් දැන් ගමන් කරන්නේ අඳුරු හිරකුටි දෙසටයි. ඔහුගේ මුළු ගතම දාඩියෙන් නෑවිලා. අව්වේ සැර හරියට පෝරණුවක් වගෙයි. මේ පරිසරයට ඔහු කොච්චර හුරු වෙලාද කියනවා නම් මේක තමයි දැන් ඔහුගේ ලෝකය. අනිත් හිරකාරයන්ව බලාගන්න ඔහුට පවරලා තිබුණත් ඔහුත් හිරකාරයෙක්ම විතරයි.

යෝසෙප්ට හෙබ්‍රොන් කඳුකරයේ තාත්තාගේ බැටළුවන් බලාගෙන හිටිය කාලේ නිතරම මතක් වෙන්න ඇති. යෝසෙප්ගේ තාත්තා ඔහුට වැඩක් බාර දීලා දුර ගමනක් යවද්දී ඔහුට වයස අවුරුදු 17යි. ඔහුව මරන්න තරම් වෛරයකින් හිටිය ඔහුගේ සහෝදරයන් අන්තිමේදී ඔහුව වහලෙක් හැටියට විකුණුවා. යෝසෙප්ව අරගෙන ගියේ ඊජිප්තුවේ නිලධාරියෙක් වන පොතිෆර්ගේ නිවසටයි. පොතිෆර්ගේ බිරිඳව දූෂණය කරන්න හැදුවා කියන බොරු චෝදනාව පිට හිරේට යන කල් යෝසෙප් ස්වාමියාගේ විශ්වාසවන්ත සේවකයෙක් හැටියට හිටියා. *උත්පත්ති 37 සහ 39 පරිච්ඡේද.

දැන් යෝසෙප්ට වයස 28යි. මේ වෙද්දී වහලෙක් හැටියටත් හිරකාරයෙක් හැටියටත් අවුරුදු දහයක්ම ගෙවිලා ගිහින්. මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි කියලා ඔහු කවදාවත්ම හිතන්න නැතුව ඇති. ඔහුට හිරෙන් නිදහස් වෙන්න ලැබෙයිද? වයසට ගිය තාත්තාව, මල්ලිව ආපහු දකින්න ලැබෙයිද? තව කොච්චර කල් හිරේ ඉන්න වෙයිද?

යොවුන් වියේ සුන්දරත්වය විඳිනවා වෙනුවට සමහරවිට ඔබට යෝසෙප් වගේ දුක් ගැහැට විඳින්න වෙයි. කෙළවරක් නැතුව දුක් විඳිද්දී ඒක දරාගන්නත් ඒකෙන් ගොඩ එන්නත් විදිහක් නෑ කියලා හිතෙයි. යෝසෙප්ට තිබුණ විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘යෙහෝවා දෙවියන් දිගටම යෝසෙප්ට උපකාර කළා’

යෙහෝවා දෙවියන් යෝසෙප්ව අමතක කරන්නේ නැහැ කියන විශ්වාසය, විඳදරාගන්න ඔහුට උපකාරයක් වෙන්න ඇති. ඔහු වෙනත් රටක හිරකරුවෙක් වෙලා හිටියත් ඔහුට ආශීර්වාද කරන එක දෙවියන් නැවැත්තුවේ නැහැ. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි දිගටම යෝසෙප්ට උපකාර කර ඔහුට කරුණාව දැක්වූයේය. එමනිසා කල් යත්ම, යෝසෙප්ට සිරගෙයි ප්‍රධානියාගේ සිත දිනාගැනීමට හැකි විය.” (උත්පත්ති 39:21-23) ඔහු වෙහෙසිලා වැඩ කරපු එක ඔහුට ආශීර්වාද කරන්න හේතුවක් වෙන්න ඇති. දෙවියන් තමන් එක්ක හැම වෙලාවෙම ඉන්නවා කියලා දැනගෙන හිටපු එක යෝසෙප්ට මොන තරම් සැනසීමක් වෙන්න ඇද්ද!

යෙහෝවා දෙවියන් යෝසෙප්ට හැමදාම හිරේ ඉන්න ඉඩහැරියාද? මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි වුණත් යෝසෙප් අනිවාර්යයෙන්ම යාච්ඤා කරලා කාරණය දෙවියන්ට කියන්න ඇති. උත්තරේ ලැබුණේ හිතාගන්නවත් බැරි විදිහටයි. අලුත් හිරකරුවන් දෙන්නෙක්ව හිරගෙදරට දාපු නිසා හිරගෙදර පොඩි කලබලයක් තිබුණා. ඒ දෙන්නා පාරාවෝගේ, ඒ කියන්නේ රජුගේ පෞද්ගලික නිලධාරීන්. එක් කෙනෙක් රොටි සාදන්නන්ගේ ප්‍රධානියා. අනිත් කෙනා කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා.—උත්පත්ති 40:1-3.

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඒ හිරකරුවන් දෙන්නාව යෝසෙප්ගේ බාරයේ තිබ්බා. * දවසක් ඒ දෙන්නා එකිනෙකට වෙනස් හීන දෙකක් දැක්කා. පහුවදා උදේ යෝසෙප් ඔවුන්ගේ මුහුණුවල වෙනසක් දැකලා මෙහෙම ඇහුවා. “අද ඔබ දෙදෙනා දුකෙන් ඉන්නේ ඇයි?” (උත්පත්ති 40:3-7) යෝසෙප් කාරුණික කෙනෙක් වුණ එක ඔවුන්ගේ ප්‍රශ්නය ගැන කියන්න පහසුවක් වෙන්න ඇති. හැබැයි ඒ සාකච්ඡාව යෝසෙප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි කියලා ඔහු කවදාවත් දැනගෙන හිටියේ නැහැ. යෝසෙප් අනිත් අයට කරුණාවන්තව සලකන්න පුංචි ඉඩක් ලබාගත්තේ නැත්නම් ඒ වගේ සාකච්ඡාවක් ඇති වෙයිද? යෝසෙප් වගේ අපිත් අනිත් අය ගැන සැලකිලිමත් වෙනවාද? අපිට දෙවියන් ගැන තියෙන විශ්වාසය අනිත් අය එක්ක බෙදාගන්නවාද?

යෝසෙප් අනිත් හිරකරුවන්ට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකුවා

එකිනෙකට වෙනස් හීන දෙකක් දැක්ක නිසාත් ඒවායේ අර්ථය පැහැදිලි කරන්න කවුරුත් නැති නිසාත් ඒ දෙන්නා හිටියේ කැලඹිලා. ඊජිප්තුවරුන් හීන ගැන ගොඩක් විශ්වාස කළා. ඒ නිසා හීන තෝරලා දෙන අයගේ උදව් ඔවුන්ට අත්‍යවශ්‍ය වුණා. ඒ හීන දකින්න සැලැස්සුවේ යෝසෙප්ගේ දෙවියන් කියලා ඔවුන් දැනගෙන හිටියේ නැතත් යෝසෙප් ඒක දැනගෙන හිටියා. ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “අර්ථය තෝරා දෙන්න අයිතිය තියෙන්නේ දෙවිටයි. ඔබ දැක්ක හීන මට දැන් කියන්න.” (උත්පත්ති 40:8) අද දින අවංකවම බයිබලය ඉගෙනගන්න අයට යෝසෙප් කිව්ව දේ හුඟක් වටිනවා. උඩඟු වෙලා තනියම දේවවචනය තේරුම්ගන්න උත්සාහ කරනවා වෙනුවට නිහතමානීව දෙවියන් මත රඳා ඉන්න එක කොච්චර වටිනවාද!—1 තෙසලෝනික 2:13; යාකොබ් 4:6.

කුසලාන දරන්නා මුලින්ම ඔහුගේ හීනේ යෝසෙප්ට කිව්වා. ඔහු කිව්වා රිකිලි තුනක් තියෙන මිදිවැලක් දැක්කා, ඒ රිකිලිවල දළු දාලා මිදි පොකුරු හටගත්තා, ඉදුණු මිදි පාරාවෝගේ කුසලානයට මිරිකුවා කියලා. ඒ වෙලාවෙම යෝසෙප් යෙහෝවා දෙවියන්ගේ උපකාරයෙන් හීනේ අර්ථය තේරුවා. යෝසෙප් ඔහුට කිව්වා රිකිලි තුන කියන්නේ දවස් තුනක්, ඒ දවස් තුන ඇතුළත ඔහුගේ කලින් තනතුරම පාරාවෝ ඔහුට ආපහු දෙනවා කියලා. එතකොට කුසලාන දරන්නා හුඟක් සතුටු වුණා. ඒ එක්කම යෝසෙප් “මට කරුණාව පෙන්වා මා ගැන පාරාවෝට කියන්න” කියලා ඔහුට කිව්වා. ඊටපස්සේ තමාව ගෙදරින් පැහැරගෙන ආවා කියලත් හිරේ දැම්මේ බොරු හේතුවකට කියලත් කිව්වා.—උත්පත්ති 40:9-15.

කුසලාන දරන්නාට ලැබුණ ප්‍රීතිමත් පණිවිඩයෙන් දිරිගැන්වුණ රොටි සාදන්නාත් ඔහුට හොඳ ආරංචියක් ලැබෙයි කියලා හිතුවා. ඔහුගේ හීනෙත් යෝසෙප්ට කිව්වා. ඔහුගේ හිස මත රොටි පිරෙව්ව කූඩ තුනක් තිබුණා කියලත් එක කූඩෙක තිබුණ රොටි කුරුල්ලෝ ඇවිත් කෑවා කියලත් කිව්වා. ආපහු යෙහෝවා දෙවියන් හීනේ අර්ථය තෝරන්න හැකියාව යෝසෙප්ට දුන්නා. රොටි සාදන්නාට ලැබුණේ හොඳ ආරංචියක් නම් නෙවෙයි. යෝසෙප් මෙහෙම කිව්වා. “ඔබේ හීනයේ අර්ථය මේකයි. කූඩ තුන කියන්නේ දවස් තුනක්. තව දවස් තුනකින් පාරාවෝ ඔබව නිදහස් කරනවා. නමුත් ඔහු ඔබේ හිස ගසා දමා ඔබව කණුවක එල්ලනවා. කුරුල්ලෝ ඇවිත් ඔබේ මළ සිරුර කා දමනවා.” (උත්පත්ති 40:16-19) දෙවියන්ට විශ්වාසවන්ත අනිත් සේවකයන් වගේම යෝසෙප්, දෙවියන්ගෙන් ලැබුණු ශුභාරංචිය ගැනත් ලැබෙන විනිශ්චය ගැනත් නිර්භීතව කිව්වා.—යෙසායා 61:2.

යෝසෙප් කිව්ව දේ ඒ විදිහටම වුණා. දවස් තුනකට පස්සේ පවත්වපු පාරාවෝගේ උපන් දින උත්සවයේදී පාරාවෝ ඔහුගේ සේවකයන් දෙන්නාට ලැබෙන විනිශ්චයන් ගැන කිව්වා. (දෙවියන්ගේ සෙනඟ උපන් දින උත්සව පැවැත්තුවේ නැහැ.) රොටි සාදන්නාව මරා දැමුවා. කුසලාන දරන්නාව ඔහුගේ තනතුරටම පත් කළා. ඒත් කුසලාන දරන්නා යෝසෙප්ව අමතක කළා.—උත්පත්ති 40:20-23.

“පිළිතුරක් දෙන්නේ මම නොවෙයි දෙවියි”

කුසලාන දරන්නාගෙයි රොටි සාදන්නාගෙයි හීන තෝරන්න යෙහෝවා දෙවියන්ගෙන් බලය ලැබුණාට පස්සේ යෝසෙප්ගේ බලාපොරොත්තු තවත් වැඩි වෙන්න ඇති. ඒ නිසා උදා වෙන දවසක් දවසක් පාසා හිරෙන් නිදහස් වෙන්න ලැබෙයි කියලා ඔහු හිතන්න ඇති. ඒත් හිරේ ගත කළ ඒ තිත්ත ජීවිතෙන් නිදහස් වෙන්න ලැබෙන පාටක් නම් පෙනුණේ නැහැ. මේ විදිහට අවුරුදු දෙකක්ම ගෙවිලා ගියා. (උත්පත්ති 41:1) යෝසෙප්ට වැඩියෙන්ම විඳදරාගන්න සිද්ධ වෙන්න ඇත්තේ ඒ අවුරුදු දෙකේදියි. ඒත් යෙහෝවා දෙවියන් කෙරෙහි තිබුණු විශ්වාසය ඔහු බිඳක්වත් අඩු කරගත්තේ නැහැ. බලාපොරොත්තු සුන් කරගන්නවා වෙනුවට විඳදරාගෙන ඉන්න ඔහු අදිටන් කරගත්තා. ඒ හැම අභියෝගයක්ම ජය ගත්ත ඔහු අන්තිමේදී හිටියටත් වඩා ශක්තිමත් කෙනෙක් වුණා.—යාකොබ් 1:4.

අපි ජීවත් වෙන මේ අසීරු කාලයේදිත් විඳදරාගන්න වෙනවා. පීඩා එද්දී විඳදරාගන්න නම් යෝසෙප්ට වගේ අපිටත් අධිෂ්ඨානය හා ඉවසීම වගේම හිතේ සාමයත් අවශ්‍යයි. ඒ සාමය ලැබෙන්නේ දෙවියන්ගෙන් විතරයි. දෙවියන්ට පුළුවන් අපිටත් යෝසෙප්ට උදව් කළා වගේ බලාපොරොත්තු සුන් කරගන්නේ නැතුව විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න.—රෝම 12:12; 15:13.

කුසලාන දරන්නා යෝසෙප්ව අමතක කළත් දෙවියන් නම් ඔහුව අමතක කළේ නැහැ. යෙහෝවා දෙවියන් දවසක් පාරාවෝටත් හීන දෙකක් දකින්න සැලැස්සුවා. පළවෙනි එකේදී තර එළදෙන්නු හත්දෙනෙක් නයිල් ගඟෙන් ගොඩට ආවා. ඊළඟට කැහැටු එළදෙන්නු හත්දෙනෙකුත් ආවා. කැහැටු එළදෙන්නු තර එළදෙන්නුන්ව කෑවා. ඊළඟ හීනෙදී, ධාන්‍ය ගසක මහත රන්වන් ධාන්‍ය කරල් හතක් හටගත්තා. ඊටපස්සේ හමා ගිය හුළඟක් නිසා සිහින් නිසරු ධාන්‍ය කරල් හතක් හටගත්තා. සිහින් ධාන්‍ය කරල් හත මහත ධාන්‍ය කරල් හත ගිල දැම්මා. පහුවදා පාරාවෝ අවදි වුණේ හොඳටම කැලඹිලායි. ඔහු ඉක්මනින්ම මන්තර ගුරුකම් කරන පූජකයන්වත් බුද්ධිමතුන්වත් කැඳෙව්වා. ඒ එක් කෙනෙක්ටවත් හීනවල අර්ථය තෝරන්න බැරි වුණා. (උත්පත්ති 41:1-8) ඔවුන්ට ඒ ගැන මුකුත්ම කියන්න බැරි වුණාද නැත්නම් එක් එක් කෙනා ගැටෙන අදහස් ඉදිරිපත් කළාද කියලා නම් අපි දන්නේ නැහැ. කොහොමවුණත් පාරාවෝට නම් එයාලා ගැන කලකිරුණා. ඒත් හීනවල අර්ථය දැනගන්න තිබුණ වුවමනාව තව වැඩි වුණා මිස අඩු වුණේ නම් නැහැ.

අන්තිමේදී කුසලාන දරන්නාට යෝසෙප්ව මතක් වුණා. ඔහුගේ හිත වධ දෙන්න පටන්ගත්තා. අවුරුදු දෙකකට කලින් හිරගෙදර ඉද්දී ඔහුගෙත් රොටි සාදන්නාගෙත් හීන තේරුව තරුණයා ගැන පාරාවෝට කිව්වා. ඒ මොහොතේම පාරාවෝ හිරගෙදර හිටිය යෝසෙප්ව ගෙන්නුවා.—උත්පත්ති 41:9-13.

පාරාවෝගේ පණිවිඩකරුවන් ඇවිත් රජුව හමු වෙන්න කියලා යෝසෙප්ට කිව්වාම ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද! ඔහු රැවුල කපලා ඇඳුම් මාරු කරලා සූදානම් වුණා. සමහරවිට ඊජිප්තුවේ තිබුණ සිරිතට අනුව කොණ්ඩේ බූ ගාන්නත් ඇති. ආශීර්වාද ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්නත් ඇති. වැඩි වෙලාවක් යන්න කලින් ඔහු රජු ඉදිරියේ පෙනී සිටියා. එතකොට පාරාවෝ යෝසෙප්ට මෙහෙම කිව්වා. “මම හීනයක් දැක්කා. නමුත් ඒකේ අර්ථය තෝරා දෙන්න පුළුවන් කෙනෙක් මෙහෙ නැහැ. ඔබට හීනවල අර්ථය තෝරා දෙන්න පුළුවන් කියා මට ආරංචි වුණා.” යෝසෙප් මෙහෙම පිළිතුරු දුන්නා. “රජ්ජුරුවනි, ඔබේ හීනයේ අර්ථය පැහැදිලි කර ඔබට සතුටුදායක පිළිතුරක් දෙන්නේ මම නොවෙයි දෙවියි.” යෝසෙප්ගේ නිහතමානිකමත් දෙවියන් කෙරෙහි තිබුණු විශ්වාසයත් ඒකෙන් පැහැදිලි වුණා.—උත්පත්ති 41:14-16.

“පිළිතුරක් දෙන්නේ මම නොවෙයි දෙවියි” කියලා යෝසෙප් නිහතමානීව පාරාවෝට කිව්වා

යෙහෝවා දෙවියන් නිහතමානී, විශ්වාසවන්ත අයට ආදරේ නිසයි බුද්ධිමතුන්ට හා පූජකයන්ට කරන්න බැරි වුණ දේ කරන්න යෝසෙප්ට බලය දුන්නේ. පාරාවෝගේ සිහින දෙකේම තියෙන්නේ එකම තේරුමක් කියලා යෝසෙප් පැහැදිලි කළා. එකම පණිවිඩය දෙපාරක් දුන්න එකෙන්, ඒ දේ “අනිවාර්යයෙන්ම සිදු කරන” බව පැහැදිලි වුණා. තර එළදෙනුන්ගෙන් සහ මහත ධාන්‍ය කරල්වලින් ඊජිප්තුවේ අවුරුදු හතක් ආහාර බහුලව තියෙනවා කියලත් කැහැටු එළදෙන්නු සහ සිහින් ධාන්‍ය කරල් හතෙන් ඊළඟ අවුරුදු හතේදී සාගතයක් ඇති වෙනවා කියලත් පෙන්නුම් කළා. සාගතය ආවාම මුළු දේශයම පාළු වෙනවා කියන එකයි ඒකෙන් අදහස් වුණේ.—උත්පත්ති 41:25-32.

යෝසෙප් හීනවල අර්ථය හරියටම පැහැදිලි කළා කියලා පාරාවෝට තේරුණා. ඒත් උදා වෙන තත්වයට විසඳුම මොකක්ද? කරන්න ඕන දේ යෝසෙප් පාරාවෝට කිව්වා. සාරවත් අවුරුදු හතේදී දේශයේ පලදාව එකතු කරලා ගබඩා කරන්නත් සාගත අවුරුදු හතේදී අවශ්‍ය අයට ඒවා බෙදා දෙන්නත් “දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත” කෙනෙක්ව තෝරගන්න පාරාවෝට සිද්ධ වුණා. (උත්පත්ති 41:33-36) යෝසෙප්ගේ අද්දැකීම් හා හැකියාවන් නිසා ඒ කාර්යය කරන්න ඔහුට සුදුසුකම් වැඩියෙනුත් තිබුණා. ඒත් යෝසෙප් දෙවියන්ව හුඟක් විශ්වාස කරපු නිහතමානී කෙනෙක් නිසා ඒ තනතුරට සුදුස්සා ඔහුයි කියලා කිව්වේ නැහැ. අපිටත් දෙවියන් ගැන ස්ථිර විශ්වාසයක් තිබෙනවා නම් තනතුරු ලබාගන්න හරි මමයි සුදුස්සා කියලා පෙන්වන්න හරි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්න ඕන යෙහෝවා දෙවියන්ට සියල්ල බාර දෙන එකයි. එතකොට හිතේ සාමය ඇතුව ඉන්න අපිට පුළුවන්.

“ඔහු වගේ තවත් කෙනෙක් අපට හොයාගන්න පුළුවන්ද?”

යෝසෙප්ගේ මඟ පෙන්වීම ප්‍රඥාවන්තයි කියලා පාරාවොත් ඔහුගේ සේවකයනුත් තේරුම්ගත්තා. ඒ මඟ පෙන්වීම දුන්නේ යෝසෙප්ගේ දෙවියන් කියන එක රජ පිළිගත්තා. පාරාවෝ ඔහුගේ සේවකයන්ට කිව්වේ මෙහෙමයි. “මේ මිනිසාට දෙවිගේ බලය තියෙනවා. ඔහු වගේ තවත් කෙනෙක් අපට හොයාගන්න පුළුවන්ද?” ඊළඟට ඔහු යෝසෙප්ට මෙහෙම කිව්වා. “දෙවි ඔබට මේ සියල්ල දැන්වූ නිසා ඔබ තරම් දැනුම් තේරුම් ඇති බුද්ධිමත් කෙනෙක් නම් නැහැ. මගේ මුළු නිවසම මම ඔබට භාර දෙනවා. මගේ මුළු සෙනඟ ඔබ කියන හැම දේටම යටත් වෙයි. ඔබට වඩා ඉහළින් ඉන්නේ මම විතරයි.”—උත්පත්ති 41:38-41.

පාරාවෝ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළා. අගනා ලිනන් සළුවක් යෝසෙප්ට අන්දවලා රන් මාලෙකුත් පැළඳුවා. රජුගේ මුද්දත් රාජකීය රථයකුත් දුන්නා. දේශය පුරා ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවසරත් දුන්නා. (උත්පත්ති 41:42-44) එක දවසකින් යෝසෙප් හිරගෙදරින් රජගෙදරට ආවා. එදා හිරකරුවෙක් හැටියට අවදි වුණ ඔහු නින්දට ගියේ රජමාලිගාවේ දෙවෙනියා හැටියට! ඒ සිද්ධියෙන් යෙහෝවා දෙවියන් කෙරෙහි තිබුණු යෝසෙප්ගේ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා හොඳටම පැහැදිලි වුණා. අවුරුදු ගණනාවක් යෝසෙප් වින්ද අසාධාරණකම් දැක්ක දෙවියන් හරි වෙලාවට හරි විදිහට විසඳුමක් ලබා දුන්නා. ඔහු වින්ද අසාධාරණකම් නැති කරන්න විතරක් නෙමෙයි අනාගත ඊශ්‍රායෙල් පරම්පරාව රැකගන්නත් දෙවියන් සැලසුම් යෙදුවා. දෙවියන් ඒක කළේ කොහොමද කියලා මේ ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් අපිට දැනගන්න පුළුවන්.

පීඩාකාරී තත්වයකට, සමහරවිට අසාධාරණයකට අවුරුදු ගාණක් තිස්සේ ඔබ මුහුණ දෙනවා නම් බලාපොරොත්තු සුන් කරගන්න එපා. යෝසෙප් ගැන මතක් කරගන්න. කරුණාවන්තකම, නිහතමානිකම, විඳදරාගැනීම හා විශ්වාසය කියන හොඳ ගතිගුණ නැති කරගත්තේ නැති නිසා ඔහුට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන්ට ගොඩක් හේතු තිබුණා.

^ 4 ඡේ. 2014 අගෝස්තු 1 සහ නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවල “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” කියන ලිපි බලන්න.

^ 10 ඡේ. ඊජිප්තුවේ හිටිය අයට රොටි වර්ග 90කට වඩා රස බලන්න ලැබුණා. ඒ නිසා රොටි සාදන්නන්ගේ ප්‍රධානියාට තිබුණේ වැදගත් තනතුරක්. කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාටත් භාරදූර කාර්යයක් තිබුණා. ඔහු යටතේ හිටිය සේවකයන්ට රජුගේ මිදියුෂ හා බීර ඉස්තරම් විදිහට හදන්නත් වස විස එක් කරන එකෙන් ඒවා ආරක්ෂා කරගන්නත් සිදු වුණා. රජුව මරන්න නිතරම කුමන්ත්‍රණ සිද්ධ වුණ නිසා ඒක අවදානම් කාර්යයක්. ඒ කාර්යය දෙන්නේ විශ්වාසවන්ත කෙනෙක්ටයි. ඒ කෙනා හුඟක් වෙලාවට රජුගේ උපදේශකයෙක් වුණා.