Skip to content

පටුනට යන්න

දුක් කම්කටොලුවලට නිමාවක්!

දුක් කම්කටොලුවලට නිමාවක්!

ඔයා ජීවත් වෙන්නේ අපරාධ, යුද්ධ, අසනීප, ස්වාභාවික විපත් නැති කාලයක කියලා හිතන්න. දුකක් දෙන කිසිම දෙයක් නැහැ. ආර්ථිකය බිඳ වැටෙයි කියලවත් අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙයි කියලවත් හිතට කිසි භයක් දැනෙන්නේ නැහැ. ඒ වගේ ජීවිතයක් නම් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලද ඔයා හිතන්නේ? ඇත්තයි, කිසිම මිනිසෙකුට හෝ මිනිසුන් පිහිටුවා තියෙන සංවිධානයකට ඒ වගේ ජීවිතයක් අපිට ලබා දෙන්න බැහැ. ඒත් දෙවියන්ට ඒක කරන්න පුළුවන්. අපි කලින් ලිපියේ සලකලා බැලුව දේවල් ඇතුළුව දුක් කම්කටොලුවලට හේතු වෙන හැම දෙයක්ම මේ ලෝකෙන් තුරන් කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. බයිබලේ සඳහන් ඒ පොරොන්දු කීපයක් දැන් බලමු.

හොඳ ආණ්ඩුවක් පාලනය අරඹයි

“ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44.

ඒ ආණ්ඩුව ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්. එහි රජු යේසුස් ක්‍රිස්තුස්. ඔහු මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා ස්වර්ගයේ වගේ දෙවිගේ කැමැත්ත මේ පොළොවෙත් ඉටු කරන්න පියවර ගන්නවා. (මතෙව් 6:9, 10) දේවාණ්ඩුව හැමදාටම මේ පොළොව පාලනය කරන නිසා ආයේ කවදාවත් මිනිස් ආණ්ඩු තියෙන්නේ නැහැ. “අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සදාකාලික රාජ්‍යය” හැටියට එය හඳුන්වලා තියෙන්නේ ඒ නිසයි. ඒ රාජ්‍යය යටතේ සමාදානය සදහටම පවතිනවා.—2 පේතෘස් 1:11.

මිනිසුන්ව මුළා කරන ආගම් නැති වෙනවා

“සාතන් පවා ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි. එහෙයින් ඔහුගේ සේවකයන් ධර්මිෂ්ඨකමින් සේවය කරන අය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම ගැන අපි පුදුම විය යුතු නැත. නමුත් අවසානයේදී ඔවුන්ගේ ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිඵල ලැබේ.”—2 කොරින්ති 11:14, 15.

මිනිසුන්ව මුළා කරන ආගම් පිටිපස්සේ ඉන්නේ සාතන් කියන එක දෙවියන් හෙළි කරනවා. ඊටපස්සේ ඒ ආගම් මේ පොළොවෙන් අයින් කරලා දානවා. ආගමේ නාමයෙන් සිද්ධ වෙන මිනී මැරුම් හා ආරවුල් සියල්ල අවසන් වෙන්නේ එතකොටයි. ‘ජීවමාන මෙන්ම සැබෑ දෙවිට’ ආදරේ කරන අයට එදාට පුළුවන් වෙනවා “දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” එක්සත්ව දෙවියන්ට නමස්කාර කරන්න.—1 තෙසලෝනික 1:9; එෆීස 4:5; යොහන් 4:23.

පව්කාර ස්වභාවය නැති වෙනවා

“දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

යෙහෝවා දෙවි ඒ පොරොන්දුව ඉටු කරන්නේ මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කළ යේසුස් මාර්ගයෙන්. (යොහන් 3:16) යේසුස් පාලනය කරද්දී මිනිසුන් තුළ තියෙන පව්කාර ස්වභාවය නැති කරලා ඔවුන්ව පරිපූර්ණත්වයට ගේනවා. එතකොට පව්කාරකම නිසා මිනිසුන් අද්දකින ඛේදනීය දේවල් අවසන් වෙනවා. අපේ ඇස්වලට කඳුළු ගේන ඛේදනීය දේවල් එදාට සිද්ධ වෙන්නේ නැහැ. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලා බයිබලේ සඳහන් වෙනවා.—ගීතාවලිය 37:29.

සාතන්ගේ හා භූතයන්ගේ බලපෑම නැති වෙනවා

“ඔහු [යේසුස් ක්‍රිස්තුස්] මකරාව එනම්, යක්ෂයා ලෙසද සාතන් ලෙසද හඳුන්වන මුල් සර්පයාව අල්ලා අවුරුදු දහසකට බැඳ තැබුවේය. ඔහු මකරාව අගාධයට හෙළා එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ . . . ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය.”—එළිදරව් 20:2, 3.

යේසුස් සාතන්වත් ඔහුගේ භූත සේනාවත් බැඳ අගාධයට දැම්මට පස්සේ ඒ කියන්නේ ඒ අයව අක්‍රීය කළාට පස්සේ තමන්ට ඕන ඕන විදිහට මිනිසුන්ව නටවන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ටිකක් හිතන්න සාතන්ගේ හා භූතයන්ගේ බලපෑම නැති කාලෙක ජීවත් වෙන්න ලැබෙන එක කොයි තරම් නිදහසක් වෙයිද!

‘අවසාන කාලය’ නිමා වෙනවා

‘අවසාන කාලය’ හැටියට හඳුන්වන කාල පරිච්ඡේදය ‘මහත් පීඩාවත්’ සමඟ නිමා වෙනවා. ඒ මහත් පීඩාව ගැන යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් එදාට පැමිණෙයි.”—මතෙව් 24:21.

ඒ පීඩාව “මහත් පීඩාවක්” කියලා යේසුස් හැඳින්වූයේ මීට පෙර කවදාවත් සිද්ධ වෙලා නැති විපත්ති එදාට සිද්ධ වෙන නිසයි. ඒවා “දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සමඟ අවසන් වෙනවා. ඒ යුද්ධය බයිබලේ හඳුන්වලා තියෙන්නේ “හර්–මගෙදොන්” කියලයි.—එළිදරව් 16:14, 16.

හරි දේ කරන්න කැමැත්තක් තියෙන අය මේ දුෂ්ට සමාජය නිමා වෙන තෙක් බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒ වගේ අය දේවාණ්ඩුව යටතේ බොහෝ ආශීර්වාද ලබනවා. මේ ඒවායින් කීපයක්.

දෙවිගේ ආශීර්වාදවලට නිමක් නැහැ

‘මහත් සමූහයකට’ සාමය රජයන ලොවක ජීවත් වෙන්න ලැබෙනවා. බයිබලේ සඳහන් වෙන්නේ කාටවත් ගණන් කරන්න බැරි මහත් සමූහයක් “මහත් පීඩාවෙන්” බේරෙනවා කියලයි. (එළිදරව් 7:9, 10, 14) තම ජීවිත බේරගන්න ලැබුණු එක ගැන ඔවුන් “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” වන යේසුස් ක්‍රිස්තුස්ට ස්තුතිවන්ත වෙනවා. (යොහන් 1:29) ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් ඔවුන්ගෙන් ආරම්භ වෙනවා.—2 පේතෘස් 3:13.

එදාට හැමෝම දෙවිගෙන් ඉගෙනගන්නවා. යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දුවක් දීලා තියෙනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.” (යෙසායා 48:17) අන් අය එක්ක සමඟියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලත් පරිසරය රැකෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියලත් එදාට දෙවියන් හැමෝටම උගන්වනවා. ඒ වගේම ‘යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යනවා’ කියලත් බයිබලේ සඳහන් වෙනවා.—යෙසායා 11:9.

මිය ගිය අයට නැවත ජීවිතේ ලැබෙනවා. යේසුස් පොළොවේ හිටපු කාලෙදී ඔහුගේ මිතුරෙක් වුණු ලාසරුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා. (යොහන් 11:1, 5, 38-44) ඒකෙන් යේසුස් පෙන්නුවේ දේවාණ්ඩුවේ රජු හැටියට ඔහු පොළොව පාලනය කරන කාලෙදී මිය ගිහින් ඉන්න බොහෝදෙනෙකුව නැවත නැඟිටුවනවා කියලයි.—යොහන් 5:28, 29.

සාමය හා ධර්මිෂ්ඨකම හැමදාටම රජයනවා. යේසුස්ට මිනිසුන්ගේ හිත්වල තියෙන දේ තේරුම්ගන්න පුළුවන් නිසා ධර්මිෂ්ඨ කෙනා කවුද දුෂ්ට කෙනා කවුද කියලා තීරණය කරන්න ඔහුට පුළුවන්. දුෂ්ට ක්‍රියා අත්හරින්න අකමැති අයට ධර්මිෂ්ඨ සමාජයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් මේ පොළොව පාලනය කරන කාලෙදී දුෂ්ටකම්වලට හා අයුක්තියට කිසිම ඉඩක් නැහැ කියලා ස්ථිරයි.—ගීතාවලිය 37:9, 10; යෙසායා 11:3, 4; 65:20; මතෙව් 9:4.

අපි සලකලා බැලුවේ අනාගතය ගැන බයිබලේ තියෙන දෙවිගේ පොරොන්දු කීපයක් විතරයි. දේවාණ්ඩුව මේ පොළොව පාලනය කරන කාලෙදී සාමය දසත පැතිරී යනවා. (ගීතාවලිය 37:11, 29) මිනිසුන්ට මෙච්චර කාලයක් පුරා වේදනා ගෙන දීපු හැම දෙයක්ම සදහටම තුරන් වෙනවා. අපිට ඒ ගැන එතරම්ම විශ්වාසයක් තියෙන්නේ යෙහෝවා දෙවිම මෙහෙම පොරොන්දු වෙන නිසයි. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි. . . . එම වදන් විශ්වාසවන්තය, සැබෑය.”—එළිදරව් 21:5.