Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි.”

“එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි.”
  • ඉපදුණ අවුරුද්ද: 1982

  • රට: ඩොමිනිකන් ජනරජය

  • අතීතයේදී: මෝමන් භක්තිකයෙක්

මගේ අතීතය:

අපේ පවුලේ ළමයි හතරදෙනාගෙන් මම තමයි බාලයා. මගේ දෙමාපියන් උගත් අය. එයාලට ඕන වුණේ අපිව හොඳට හදා වඩා ගන්නයි. මං ඉපදෙන්න අවුරුදු හතරකට විතර කලින් අම්මලට මෝමන් ආගමේ මිෂනාරිවරුන්ව මුණගැහිලා තිබුණා. එයාලා පිළිවෙළට ඇඳ පැළඳගෙන හිටපු නිසා එයාලව අම්මලගේ හිතට ඇල්ලුවා. අපිවත් හොඳට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා අම්මයි තාත්තයි තීරණය කළා මෝමන් ආගමට බැඳෙන්න. ඒ ආගමට තමයි යේසුස් ක්‍රිස්තුස්ගේ පසු කාලීන සාන්තුවරුන්ගේ පල්ලිය කියලත් කියන්නේ. අපේ රටේ මෝමන් ආගමට හැරුණු මුල්ම පවුල්වලින් එකක් තමයි අපේ පවුල.

අපේ පල්ලියේ කට්ටිය එකතු වෙලා විනෝද වෙන්න කරපු දේවලට මං පොඩි කාලේ ඉඳලා ගියේ හරිම ආසාවෙන්. මෝමන් ආගමේ අය පවුල් ජීවිතයට වැදගත් තැනක් දුන්නා. සදාචාරය සම්බන්ධයෙනුත් එයාලට හොඳ ප්‍රතිපත්ති තිබුණා. මං ඒ දේවල් හුඟක් අගය කරපු නිසා ඒ වගේ ආගමක ඉන්න ලැබුණු එක ගැන හුඟක් සතුටු වුණා. මටත් ඕන වුණේ මිෂනාරිවරයෙක් වෙන්නයි.

මාව හොඳ විශ්වවිද්‍යාලෙකට යවන්න ඕන නිසා මට 18ක් වුණාම අපේ පවුල ඇමරිකාවේ පදිංචියට ගියා. එහේ ගිහින් අවුරුද්දකට විතර පස්සේ බාප්පයි පුංචි අම්මයි අපිව බලන්න එහෙට ආවා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. සාක්ෂිකරුවන්ගේ සමුළුවකට යන්න එන්න කියලා එයාලා අපිට ආරාධනා කළා. සමුළුවට ගියාම මට පුදුම හිතුණා. කතා දෙද්දී කියපු බයිබල් පද හැමෝම එයාලගෙම බයිබල්වලින් පෙරළලා බැලුවා. එයාලා සටහනුත් ගත්තා. ඒ නිසා මාත් කොළේකුයි පෑනකුයි ඉල්ලගෙන සටහන් ගත්තා.

සමුළුවෙන් පස්සේ මගේ බාප්පයි පුංචියි කිව්වා මං මිෂනාරිවරයෙක් වෙන්න කැමති නිසා බයිබලේ ගැන මට උගන්නන්න එයාලට පුළුවන් කියලා. මාත් ඒකට කැමති වුණා. මොකද මෝමන් ආගමේ ඉගැන්වීම් තියෙන මෝමන් පොත ගැන මං දැනගෙන හිටියට බයිබලේ ගැන එච්චර දැනගෙන හිටියේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

බාප්පයි පුංචියි මට ෆෝන් එකෙන් බයිබලේ ගැන කියලා දුන්නා. මං විශ්වාස කරන දේවල් බයිබලේට එකඟද කියලා හොයලා බලන්න කියලත් මට නිතරම කිව්වා. එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි.

මෝමන් ආගමේ උගන්වපු ගොඩක් දේවල් මං විශ්වාස කළාට ඒවා බයිබලේට එකඟද කියලා දැනගෙන හිටියේ නැහැ. දවසක් මගේ පුංචි, සාක්ෂිකරුවන්ගේ සඟරාවක් මට එව්වා. ඒක කියවද්දී මෝමන් ආගමේ විශ්වාසයන් ගැන මම දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් තියෙනවා කියලා මට තේරුණා. ඒ නිසා මම හිතුවා මෝමන් ආගමේ නිල වෙබ් අඩවියට ගිහින් ඒ සඟරාවේ තිබුණු තොරතුරු හරිද කියලා බලන්න. ඒක බලද්දී මට පුදුම හිතුණා. මොකද සඟරාවේ තිබුණු හැම දෙයක්ම ඇත්ත. මෝමන් ආගමේ කෞතුකාගාර බලන්න ගියාට පස්සේ ඒ තොරතුරු ඇත්ත කියලා මට තවත් තහවුරු වුණා.

බයිබලේ කියවද්දී තමයි මට තේරුණේ මෝමන් ආගමේ ඉගැන්වීම් බයිබලේට එකඟ නැහැ කියලා. උදාහරණෙකට බයිබලේ කියලා තියෙන්නේ කෙනෙක් මැරුණම එයාගේ පැවැත්ම එතනින් ඉවරයි කියලා. හැබැයි මෝමන් පොතේ කියන්නේ කෙනෙක් මැරුණත් එයාගේ ආත්මේ දිගටම ජීවත් වෙනවා කියලයි.

ඒ වගේ සමහර මූලික ඉගැන්වීම් ගැන විතරක් නෙමෙයි ඇමරිකානු ජාතිය උසස් කරලා පෙන්නපු මෝමන් ඉගැන්වීම් ගැනත් මම කල්පනා කළා. මෝමන් ආගමේ ඉගැන්නුවේ ඒදන් උයන තිබුණේ ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ කියලයි. පූජකයෝ කිව්වේ දෙවි කවදාහරි මේ පොළොව පාලනය කරන්නේ ඇමරිකාවේ ආණ්ඩුව මාර්ගෙන් කියලයි.

ඒ වගේ දෙයක් වුණොත් මගේ උපන් රටටයි අනිත් රටවලටයි මොන වගේ කලදසාවක් යයිද කියලා මම හිතුවා. මිෂනාරිවරයෙක් වෙන්න හිටපු මගේ යාළුවෙක් දවසක් මට කෝල් කළාම මම එයා එක්කත් ඒ ගැන ටිකක් කතා කළා. එයාගෙන් මම ඇහුවා එයාගේ රට වෙනත් රටක් එක්ක යුද්දෙකට පැටලුණොත් ඒ රටේ ඉන්න මෝමන් අයට විරුද්ධව එයා සටන් කරනවාද කියලා. එයා කිව්වා ඔව් කියලා. මට නං ඒක අදහගන්නත් බැරි වුණා. ඊටපස්සේ මෝමන් ඉගැන්වීම් ගැන මම තවත් හොයලා බැලුවා. පල්ලියේ මූලිකත්වය අරගෙන වැඩ කරපු අයගෙනුත් මම සමහර ප්‍රශ්න ඇහුවා. හැබැයි එයාලා කිව්වේ මගේ ප්‍රශ්නවලට උත්තර තාම දෙවියන් එළිදරව් කරලා නැහැ කියලයි. එයාලා දීපු ඒ උත්තරේ ගැන මම පොඩ්ඩක්වත් සෑහීමට පත් වුණේ නැහැ.

මට මිෂනාරිවරයෙක් වෙන්න ඕන වුණේ ඇයි කියලා මම කල්පනා කරන්න පටන්ගත්තා. ඒකට එක හේතුවක් අනිත් අයට උදව් කරන්න තිබුණු ආසාව. මිෂනාරිවරයෙක් වුණාම අනිත් අයගෙන් ලැබෙන පිළිගැනීමටත් මං ආස කළා. මිෂනාරිවරයෙක් වෙන්න ආසාවෙන් හිටියට දෙවියන් ගැන නං මම එච්චර දැනගෙන හිටියේ නැහැ. ඉස්සර මම බයිබලේ කීප සැරයක්ම කියවලා තිබුණට ඒක වටින දෙයක් විදිහට සැලකුවේ නැහැ. අඩුම තරමින් දෙවියන් මේ පොළොව නිර්මාණ කළේ ඇයි කියලවත් මිනිසුන් වෙනුවෙන් දෙවි කරන්න යන්නේ මොනවාද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ.

මං දැන් අද්දකින ආශීර්වාද:

සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ මම හුඟක් දේවල් දැනගත්තා. සැබෑ දෙවියන්ගේ නම, දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස් සම්බන්ධ වෙන විදිහ, කෙනෙක් මිය යද්දී වෙන දේ වගේ තව ගොඩක් දේවල් මම ඉගෙනගත්තා. එතකොටයි මට තේරුණේ බයිබලේ කියන්නේ කොච්චර වටින පොතක්ද කියලා. ඒ දේවල් දැන් මම අනිත් අයටත් කියලා දෙන්නේ හරිම සතුටින්. මම ඉස්සර ඉඳලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කළාට දෙවි එක්ක මට කිසිම බැඳීමක් තිබුණේ නැහැ. හැබැයි දැන් දෙවියන් මගේ කිට්ටුම මිතුරා. මට ඕන වෙලාවක ඔහු එක්ක කතා කරන්න පුළුවන්. මම 2004 ජූලි 12වෙනිදා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. මාස හයකට පස්සේ වැඩිපුර කාලයක් දේවසේවය වෙනුවෙන් වැය කරන්න මම තීරණය කළා.

ඊටපස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ මම අවුරුදු පහක් සේවය කළා. එහෙදී අපේ පොත් පත්, බයිබල් මුද්‍රණය කරන වැඩවලට මම හවුල් වුණේ හරිම සතුටින්. අදටත් මම දෙවියන් ගැන දැනගන්න අනිත් අයට උදව් කරනවා.