Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

විශිෂ්ට ඇසීමේ හැකියාවක්!

විශිෂ්ට ඇසීමේ හැකියාවක්!

ලෝකයේ කිසිම ජීවියෙකුට වඩා ඇසීමේ හැකියාව තියෙන්නේ සලබයාටයි (Galleria mellonella). ඒත් උගේ කනක් ඇල්පෙනෙත්ති තුඩක් තරම් පුංචියි.

මේ ගැන සිතන්න: අවුරුදු ගණනාවක් පුරා සලබයාගේ ඇසීමේ හැකියාව ගැන විද්‍යාඥයන් අධ්‍යයනය කළා. මෑතකදී ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් පිරිසක් විවිධ ශබ්දවලට සලබයා ප්‍රතිචාරය දක්වන විදිහ ගැන සොයා බැලුවා. ශබ්දයක් උගේ කනට ඇතුල් වුණාම පටලවල ඇති වන චලනය ඔවුන් වාර්තා කළ අතර සලබයා කිලෝහර්ට්ස් 300ක සියුම් ශබ්ද තරංගවලට පවා ප්‍රතිචාරය දක්වනවා කියලා ඔවුන් සොයාගත්තා. ඒත් වවුලන්ට ඇහෙන්නේ කිලෝහර්ට්ස් 212ක් දක්වා විතරයි. ඩොල්ෆින් මාළුවන්ට ඇහෙන්නේ කිලෝහර්ට්ස් 160ක් දක්වා ශබ්දයි. මිනිස්සුන්ට ඇහෙන්නේ කිලෝහර්ට්ස් 20ක් දක්වා පමණයි.

සලබයාට තියෙන විශිෂ්ට ඇසීමේ හැකියාව අනුකරණය කරන්න පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයක සේවය කරන වෛද්‍ය ජේම්ස් වින්ඩ්මිල් කිව්වේ ඔවුන් “වඩාත් දියුණු හා කුඩා මයික්‍රෆෝන් සාදා ඒවා ජංගම දුරකථනවලට හා ශ්‍රවණාධාරකවලට යොදන්න බලාපොරොත්තු වෙනවා” කියලයි.

ඔබේ නිගමනය කුමක්ද? මේ විශිෂ්ට ඇසීමේ හැකියාව සලබයාට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය කාගේ හරි නිර්මාණයක්ද?