Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

අගය කරන්න දරුවාට උගන්වන්න

අගය කරන්න දරුවාට උගන්වන්න

 අනිත් අයව අගය කරන අය සතුටින්, නිරෝගීව ඉන්නවා කියලත් ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙනවා විතරක් නෙවෙයි අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නවා කියලත් අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙනවා. “අමනාපය, ඊර්ෂ්‍යාව, කෑදරකම වගේ නරක ගතිගුණ නැති කරගන්න අනිත් අයව අගේ කරන කෙනෙක්ට පුළුවන්” කියලා රොබට් එමන්ස් කියන පර්යේෂකයා කියනවා. a

 අනිත් අයව අගය කරන එකෙන් දරුවන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගැන යෞවන දරුවෝ 700 දෙනෙක්ව යොදාගෙන අවුරුදු 4ක් තිස්සේ අධ්‍යයනයක් කළා. ඒකෙන් තේරුම්ගත්තා ඒ වගේ දරුවෝ විභාගවලදී හොර කරන එක, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක, අනිත් අයට කරදරයක් වෙන විදිහට හැසිරෙන එක වගේ දේවල් කරන්නේ ගොඩක් අඩුවෙන් කියලා.

  •   ‘මට ඒක කොහොමත් ලැබෙන්න ඕනෙ’ කියලා හිතන එක බාධාවක්. හුඟක් ළමයි හිතනවා ‘මට හම්බෙන දේවල්වලට තැන්ක් යූ කියන්න ඕනෙ නැහැ, මොකද කොහොමත් ඒවා මට ලැබෙන්න ඕනෙ’ කියලා. මොනවා හරි දෙයක් ලැබුණාම ඒක තෑග්ගක් විදිහට සලකන්නේ නැතුව ඒක කොහොමත් ලැබෙන්න ඕන දෙයක් කියලා කෙනෙක් හිතනවා නම් ලැබුණ දේ අගය කරන්න එයා පෙලඹෙන්නේ නැහැ.

     අද ඉන්න හුඟක් අය හිතන්නෙත් ඒ විදිහට. කැතරින් කියන අම්මා මෙහෙම කියනවා. “අද ටීවී එකේ, ඉන්ටනෙට් එකේ, සඟරාවල එක එක දේවල් පෙන්නලා අපිට කියනවා ඒවා ඔයාට තියෙන්න ඕන දේවල්, අනිත් අයට කලින් ඔයා ගිහින් ගන්න කියලා. ඉතින් මිනිස්සුත් කරන්නේ ඒකයි.”

  •   පුංචි වයසෙදිම අගය කරන්න උගන්වන්න. අම්මා කෙනෙක් වන කේයි මෙහෙම කියනවා. “දරුවෝ ඉක්මනට දේවල් ඉගෙනගන්නවා. ඒ නිසා පුංචි වයසෙදිම එයාලට හොඳ පුරුදු කියලා දෙන්න. ඒවා හරියට පුංචි පැළයකට කෙළින් වැඩෙන්න හිටවන ආධාරක කෝටු වගේ.”

අගය කරන්න උගන්වන්න පුළුවන් කොහොමද?

  •   කියන්න ඕන දේ උගන්වන්න. කවුරු හරි තෑග්ගක් දුන්නොත් නැත්නම් උදව්වක් කළොත් තැන්ක් යූ කියන්න චූටිම දරුවෙක්ට වුණත් පුළුවන්. ඒ නිසා කියන්න ඕන දේ දරුවාට උගන්වන්න. එතකොට දරුවා ලොකු මහත් වෙද්දී අනිත් අය එයා වෙනුවෙන් කරන දේවල් හදවතින්ම අගය කරන්න එයා ඉගෙනගනියි.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි.”—කොලොස්සි 3:15.

     “අපේ මුණුපුරාට අවුරුදු 3යි. කවුරු හරි කෙනෙක් එයාට මොනා හරි දුන්නොත් එයා ‘තැන්ක් යූ’ කියලා තමයි ඒක ගන්නේ. එයාට දෙයක් ඕනෙ වුණාමත් කෑගහන්නේ නැතුව හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ දේවල් එයා ඉගෙනගත්තේ එයාගේ අම්මාගෙනුයි, තාත්තාගෙනුයි. ඒ දෙන්නාගේ ආදර්ශය තමයි දරුවාට උදව් වෙලා තියෙන්නේ.”—ජෙෆ්රි.

  •   කරන්න ඕන දේ උගන්වන්න. කවුරු හරි කෙනෙක් තෑග්ගක් දුන්නාම ඒකට තැන්ක් යූ කියලා පොඩි කාඩ් එකක් හදන්න කියලා දරුවාට කියන්න. ඒ වගේම දරුවාව ගෙදරදොරේ වැඩවලට හවුල් කරගන්න. එතකොට ගේදොර ලස්සනට, පිළිවෙළට තියාගන්න අනිත් අය කොච්චර මහන්සි වෙනවාද කියලා තේරුම් අරන් ඒක අගය කරන්න දරුවාට පුළුවන් වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

     “අපේ දුවයි, පුතායි ගෙදරදොරේ වැඩ පළ කරන්න, උයන්න පිහන්න උදව් වෙනවා. ඒ දේවල් කරන නිසා එයාලට තේරෙනවා දෙමව්පියෝ විදිහට අපි කොච්චර මහන්සි වෙනවාද කියලා. කිසිම දෙයක් සැහැල්ලුවට ගන්නේ නැතුව වැඩ කරන්න ඒක එයාලට උදව් වෙලා තියෙනවා.”—බෙවලි.

  •   හිතන්න ඕන විදිහ උගන්වන්න. අගය කරන එක පුංචි පැළයකට සමාන කළොත් ඒ පැළේ හොඳට වැඩෙන්න උදව් වෙන පස තමයි නිහතමානිකම. නිහතමානී කෙනෙක් පිළිගන්නවා ඕනම වැඩක් සාර්ථකව කරන්න නම් අනිත් අයගේ උදව් ඕනෙ කියලා. එහෙම හිතන එක අනිත් අයගෙන් ලැබෙන උදව් අගය කරන්න එයාව පොලඹවනවා.

     බයිබල් ප්‍රතිපත්තිය: “නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:3, 4.

     “සමහර දවස්වල අපි රෑ කෑම කන වෙලාවට පොඩි ගේම් එකක් කරනවා. ඒකෙදී මාරුවෙන් මාරුවට අපි අනිත් අයගේ අගේ කරන්න පුළුවන් දෙයක් ගැන කියනවා. අනිත් අය ගැන හිතන්න, සැලකිලිමත් වෙන්න ඒක අපේ පවුලේ අයට උදව් වෙලා තියෙනවා.”—ටමාරා.

 යෝජනාවක්: ආදර්ශයක් වෙන්න. දරුවන්වයි, අනිත් අයවයි ඔයා අගය කරනවා නම් දරුවනුත් අනිත් අයව අගය කරන්න ඉක්මනටම ඉගෙනගනියි.

a Thanks! How Practicing Gratitude Can Make You Happier කියන පොතෙන්.