Skip to content

පටුනට යන්න

‘ඔබ ගේකුරුල්ලන්ට වඩා වටින්නේ නැද්ද?’—මතෙව් 10:31

දෙවියන් ඔයා දිහා බලාගෙන ඉන්නවාද?

දෙවියන් ඔයා දිහා බලාගෙන ඉන්නවාද?

දෙවියන්ගේ නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බිලිඳෙක් මෙලොව එළිය දැකලා ගත වෙන මුල්ම පැය හරිම අනර්ඝයි. ඇයි දන්නවාද? ඒ පැයේදී දරුවාව තුරුලු කරගනිමින් පෙන්වන මව් සෙනෙහස දරුවාගේ වර්ධනයට විශාල වශයෙන් දායක වෙනවා. *

අලුත උපන් කිරිකැටියාට ආදරෙන් සලකන්න අම්මා කෙනෙක් පෙලඹෙන්නේ ඇයි? සඟරාවක මෙහෙම කියනවා. “දරුවා දිහා ආදරෙන් බලන්න, තුරුලු කරන් කිරි දෙන්න අම්මා පෙලඹෙන්නේ” දරුවා ඉපදුණු ගමන් අම්මාගේ ඇඟේ ඔක්සිටොසින් හෝමෝනය ඉහළ යන නිසයි. ඒ වෙලාවේ අම්මාගේ ඇඟේ තවත් හෝමෝනයක් නිපදවෙනවා. “කිරිකැටියාට ඕන කරන අවධානය ලබා දෙන්නත්” දෙන්නාගේ බැඳීම වැඩි කරගන්නත් ඒක උදව් වෙනවා.—The Journal of Perinatal Education.

අම්මාත් දරුවාත් අතරේ ඒ තරම් බැඳීමක් ඇති වෙන විදිහට මිනිසුන්ව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. * “මෙලොව එළිය දකින්න” තමන්ට අවස්ථාව දීපු එක ගැනත් අම්මාගේ තුරුලේ සුරක්ෂිතව ඉන්න සලස්වපු එක ගැනත් දාවිත් රජ දෙවියන්ට ප්‍රශංසා කළා. ඔහු මෙහෙම කිව්වා. “මව්කුසේ සිට මා සිටියේ ඔබේ රැකවරණය යටතේය. මව්කුසේ පටන් ඔබ මාගේ දෙවිය.”—ගීතාවලිය 22:9, 10.

මේ ගැන හිතන්න. දරුවාට හොඳ අවධානයක් දෙමින් දරුවාගේ ඕනෑ එපාකම් ආදරෙන් බලාගන්න පෙලඹෙන විදිහට දෙවියන් ස්ත්‍රීන්ව නිර්මාණය කළා නම් “දෙවිගේ දරුවන්” වන අපි එක් එක් කෙනා ගැන ඔහු සැලකිලිමත් වෙන්නේ නැද්ද?—ක්‍රියා 17:29.

බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අපේ නිර්මාතෘ ගැන වැඩියෙන්ම දන්න යේසුස් මෙහෙම කිව්වා. ‘ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකට. උන්ගෙන් එකෙක් බිමට ආවත් පියාණන් දන්නවා. එසේනම් ඔබ ගැන කිව හැක්කේ කුමක්ද? ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා. ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද? එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.’—මතෙව් 10:29-31.

පුංචි කුරුල්ලන් ගැන අවධානෙන් ඉන්නේ කීයෙන් කීදෙනාද? ඒත් අපි හැමෝගෙම පියාණන් වන යෙහෝවා දෙවියන් උන්ගෙන් එකෙක් බිමට ආවත් දන්නවා. ඒ හැම කුරුල්ලෙක් ගැනම අවධානය දෙනවා. කුරුල්ලන්ට වඩා දෙවියන්ට වටින්නේ මිනිසුන්ව. එහෙනම් ඔහු ඊටත් වඩා අපි ගැන කොයි තරම් සැලකිල්ලක් දක්වයිද! ‘කිසි දේකට බය වෙන්න එපා.’ දෙවියන් ඔයාට උදව් කරන්න බලාගෙනයි ඉන්නේ.

අපේ යහපත ගැන සැලකිලිමත් වන දෙවියන් ආදරෙන් අපි දිහා බලන් ඉන්නවා

බයිබලයේ මෙහෙම කියනවා

  • “යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය. ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.”—හිතෝපදේශ 15:3.

  • “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.”—ගීතාවලිය 34:15.

  • “මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි. මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.”—ගීතාවලිය 31:7.

‘යෙහෝවා දෙවියන් මට ආදරේ නැහැ කියලා මට හිතුණා’

දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලත් අපිට තියෙන ආදරේ නිසා ඔහු අපි දිහා බලන් ඉන්නවා කියලත් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්ද? ඔව්. එංගලන්තයේ ඉන්න හැනාගේ * අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙනවා.

“යෙහෝවා දෙවියන් මට ආදරේ නැහැ, මගේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැහැ කියලා හුඟක් වෙලාවට මට හිතිලා තියෙනවා. එහෙම වෙන්නේ මගේ විශ්වාසය අඩු නිසාවත්ද කියලා මං කල්පනා කළා. දෙවියන්ට මාව වටින්නේ නැති නිසා ඔහු මාව අමතක කරලා ඇති නැත්නම් මට දඬුවම් කරනවා ඇති කියලා මට හිතුණා.”

දැන් නම් හැනාට එහෙම හිතෙන්නේ නැහැ. දෙවියන් එයාට ආදරෙයි කියලා තේරුම්ගන්න හැනාට උදව් වුණු දේවල් ගැන එයා කිව්වේ මෙහෙමයි. “ඒකට කාලයක් ගියා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන දීපු බයිබල් දේශනයක් මට උදව් වුණා යෙහෝවා දෙවියන් මට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න. දෙවියන් මගේ යාච්ඤාවලට උත්තර දුන්නාමත් මට දැනුණා ඔහු මට ආදරෙයි කියලා. ඒ වගේ වෙලාවලදී මට ඇඬිලත් තියෙනවා. බයිබලය අධ්‍යයනය කරන එකත් සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට යන එකත් මට උදව් වුණා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනා ගන්න. ඇත්තටම ඔහු අපි හැමෝටම ආදරෙයි කියලත් අපි එක් එක් කෙනාව රැකබලා ගන්නවා කියලත් දැන් මං දන්නවා.”

හැනාගේ අද්දැකීම අපි හැමෝටම දිරිගැන්වීමක්! දෙවියන් ඔයාගේ හිතේ තියෙන දේවල් තේරුම්ගන්නවාද? ඒ ගැන දැනගන්න ඊළඟ ලිපිය ඔයාට උදව් වෙයි.

^ 3 ඡේ. පසු ප්‍රසව මානසික අවපීඩනය අද්දකින මවකට දරුවාට ආදරෙන් සලකන එක ලේසි නොවෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් තමන්ටම දොස් කියාගන්න ඕනෙ නැහැ. එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය මෙහෙම කියලා තියෙනවා. පසු ප්‍රසව මානසික අවපීඩනයට “ශාරීරිකව සහ මානසිකව ඇති වෙන වෙනස්කම් බලපාන්න පුළුවන්. . . . ඒ දේ වෙන්නේ අම්මා අතින් වුණු වරදක් නිසා නෙවෙයි.” මේ ගැන වැඩි විස්තර 2003 ජූනි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා. (සිංහලෙන් නැහැ.)

^ 5 ඡේ. දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 83:18.

^ 15 ඡේ. මේ ලිපිවල එන සමහර නම් වෙනස් කර ඇත.