Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන් ඔයාට දීපු වටිනාම තෑග්ග

දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?

දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?

තෑග්ගක් වටින්නේ මොන වගේ හේතු නිසාද? ඒකට හේතු හතරක්වත් තියෙනවා. (1) තෑග්ග දුන්නේ කවුද? (2) ඒක දුන්නේ ඇයි? (3) ඒක දෙන්න එයා කළේ මොන වගේ කැප කිරීමක්ද? (4) ඒක ඔයාට ඕනම කරපු දෙයක්ද? දෙවියන් අපිට දීලා තියෙන වටිනාම තෑග්ග ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න ඒ කරුණු හතර ගැන හිතන එක අපිට උදව් වෙයි.

තෑග්ග දුන්නේ කවුද?

සමහර තෑගි වටින්නේ අධිකාරියක් තියෙන කෙනෙක් ඒක දුන්න නිසයි. මිල අධික නැති වුණත් තවත් තෑගිවලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ ඒක පවුලේ කෙනෙක්ගෙන්, හොඳ යාළුවෙක්ගෙන් ලැබුණු නිසයි. කලින් ලිපියේ සඳහන් කරපු ජෝඩ්න්ට රසල් දීපු තෑග්ග ඒ තරම්ම වටිනා දෙයක් වුණෙත් ඒ නිසයි. ඒ දේ යේසුස්ගේ ජීවිත පූජාව කියන තෑග්ගට අදාළ වෙන්නේ කොහොමද?

දෙවියන් ‘තම එකම පුත්‍රයාව මෙලොවට එව්වේ අපට ජීවනය ලබාගැනීම සඳහායි’ කියලා බයිබලයේ තියෙනවා. (1 යොහන් 4:9) එහෙනම් යේසුස්ගේ ජීවිත පූජාව ඒ තරම්ම වටිනා තෑග්ගක් වෙන්න බලපාන එක හේතුවක් තමයි ඒක දෙවියන්ගෙන් ලැබිලා තියෙන එක. දෙවියන් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” (ගීතාවලිය 83:18) අපිට තෑග්ගක් දෙන්න පුළුවන් ඊටත් වඩා උසස් අධිකාරියක් තියෙන කෙනෙක් තවත් නැහැ.

ඒ විතරක් නෙවෙයි ඔහු අපි හැමෝගෙම ‘පියාණන්.’ (යෙසායා 63:16) ඔහු තමයි අපිට ජීවිතය දුන්නේ. තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ කරනවා වගේ දෙවියනුත් අපිට හුඟක් ආදරෙයි. තමන්ගේ සෙනඟ අතරේ හිටිය සමහර අයව එෆ්‍රායිම් කියන නමින් හඳුන්වලා දෙවියන් මෙහෙම කිව්වා. ‘එෆ්‍රායිම් මාගේ වටිනා පුත්‍රයෙකු නොවේද? මා ඔහුව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළේ නැද්ද? ඔහු නිසා මාගේ හදවත කම්පා වන්නේය. එබැවින් මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි.’ (යෙරෙමියා 31:20) අදටත් දෙවියන්ට තමන්ගේ සේවකයන් ගැන හැඟෙන්නේ ඒ විදිහටමයි. සියලු බලැති ඔහු අපිව හදපු කෙනා විතරක් නෙවෙයි අපේ තාත්තත් අපේ හොඳම යාළුවත් ඔහුයි. ඒ නිසා ඔහුගෙන් ලැබුණු තෑග්ගක් තරම් වටිනා තෑග්ගක් අපිට තියෙන්න පුළුවන්ද?

තෑග්ග දුන්නේ ඇයි?

දෙන්න බැඳිලා ඉන්න නිසා වෙනුවට ආදරේ නිසා තෑග්ගක් දෙද්දී ඒකේ වටිනාකම වැඩියි. ආදරේ නිසා තෑග්ගක් දෙන කෙනෙක් ඒ වෙනුවෙන් තව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

දෙවියන් ඔහුගේ පුතාව අපි වෙනුවෙන් දුන්නේ ඒ දේ කරන්න ඔහු බැඳිලා හිටිය නිසාද? නැහැ. ඔහු ඒ දේ කළේ අපිට තියෙන ආදරේ නිසයි. බයිබලයේ කියනවා “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි” කියලා. ප්‍රතිඵලයක් විදිහට ‘යේසුස් මාර්ගයෙන් අපිට ජීවනය’ ලැබෙනවා. (1 යොහන් 4:9) “යේසුස්ගේ ජීවිත පූජාව” ලබා දීමෙන් ‘දෙවියන්ගේ මහත් කරුණාව’ මොන තරම්ද කියලා පැහැදිලි වෙනවා.—රෝම 3:24.

ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය. දෙවි අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.’ (රෝම 5:8) දුර්වල, අසරණ, පව්කාර මිනිසුන් වෙනුවෙන් දෙවියන් ඒ දේ කළේ ආදරේ නිසයි. ඒ තරම් ආදරයක් ලබන්න අපි වටින්නේ නැහැ. ඒ වෙනුවෙන් ආපහු දෙවියන්ට දෙයක් දෙන්නත් අපිට කවදාවත් බැහැ. ඒ තරම් වටිනා තෑග්ගක් අපිට දීලා දෙවියන් පෙන්වපු ආදරේ තරම් ආදරයක් වෙන කිසිම කෙනෙක් පෙන්වලා නැහැ.

තෑග්ග දෙන්න කරපු කැප කිරීම මොකක්ද?

සමහර තෑගි හුඟක් වටින්නේ ඒක දීපු කෙනා ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරපු නිසයි. කෙනෙක් ලොකු කැප කිරීමක් කරලා තමන්ට හුඟක්ම වටින දෙයක් අපි වෙනුවෙන් දෙනවා නම් අපි ඒක අගය නොකර ඉඳියිද?

දෙවියන් ඔහුගේ “එකම පුත්‍රයාව” අපි වෙනුවෙන් දුන්නා. (යොහන් 3:16) අපි වෙනුවෙන් දෙන්න ඊටත් වඩා වටින කෙනෙක් ඔහුට නැහැ. දෙවියන් මේ විශ්වය නිර්මාණය කරද්දී යේසුස් දෙවියන් එක්ක වැඩ කළා. දෙවියන් විශේෂයෙන්ම ප්‍රීති වුණේ යේසුස් ගැන. (හිතෝපදේශ 8:30) යේසුස් තමයි දෙවියන්ගේ ‘ප්‍රේමණීය පුත්‍රයා. නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නෙත් ඔහු තුළින්.’ (කොලොස්සි 1:13-15) ඒ දෙන්නා අතරේ තිබුණා වගේ කිට්ටු බැඳීමක් වෙන කිසිම කෙනෙක් අතරේ තිබිලා නැහැ.

ඒත් දෙවියන් වැඩියෙන්ම ආදරය කරපු ‘ඔහුගේ පුත්‍රයාව’ අපි වෙනුවෙන් දුන්නා. (රෝම 8:32) ඔව්, ඔහු අපි වෙනුවෙන් දුන්නේ ඔහුට වැඩියෙන්ම වටින කෙනාවයි.

ඕනම කරපු තෑග්ගක්

සමහර තෑගි වටින්නේ ඒක අපිට ඕනම කරන වෙලාවේ ලැබුණු නිසයි. හිතන්න, ඔයාගේ ජීවිතේ බේරගන්න මිල අධික ප්‍රතිකාරයක් ගන්න වෙනවා කියලා. ඒකට ඔයා ළඟ සල්ලි නැහැ. හැබැයි කෙනෙක් ඒ මුදල ගෙව්වොත් ඔයා එයාට කොච්චර ස්තුති කරයිද?

‘ආදම් නිසා සියලුදෙනාම මිය යනවා. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබෙනවා.’ (1 කොරින්ති 15:22) අපි හැමෝම ආදම්ගෙන් පැවතෙන අය නිසා අපි ‘මිය යනවා.’ අපිට අපේම හැකියාවෙන් අසනීපවලින් මරණයෙන් ගැලවෙන්නවත් දෙවි එක්ක සමාදාන වෙන්නවත් දෙවියන් ඉදිරියේ නිදොස් අය වෙන්නවත් බැහැ. “ජීවනය” ලබාගන්නවත් අනිත් අයට “ජීවනය” ලබා දෙන්නවත් අපිට බැහැ. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවාගැනීමටවත් ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. ඒ වන්දිය කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය.’ (ගීතාවලිය 49:7, 8) යේසුස්ගේ ජීවිත පූජාව අපිට ලැබුණේ නැත්නම් පාපයෙන් ගැලවෙන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ.

අපිට ආදරේ නිසා අපිව බේරගන්න ඕන දේ යෙහෝවා දෙවියන් අපිට දුන්නා. යේසුස් මාර්ගයෙන් ‘සියලුදෙනාටම ජීවනය ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ’ ඒ නිසයි. යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපිට ජීවනය ලැබෙන්නේ කොහොමද? ‘යේසුස්ගේ රුධිරය අපව සියලුම පාපවලින් පවිත්‍ර කරනවා.’ ඔව්, යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරන අයට පව්වලට සමාව ගන්නත් සදාකාල ජීවනය අත් කරගන්නත් පුළුවන් වෙනවා. (1 යොහන් 1:7; 5:13) ඔහුගේ ජීවිත පූජාව නිසා අපිට මිය ගිය අය ගැනත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු [යේසුස්] මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ.”—1 කොරින්ති 15:21. *

විශ්වයේ උසස්ම අධිකාරියක් තියෙන ඇත්තටම අපිට ආදරේ කරන දෙවියන් අපිට දීපු යේසුස්ගේ ජීවිත පූජාව තරම් වටින තෑග්ගක් දෙන්න වෙන කාටවත්ම බැහැ. යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරපු තරම් කැප කිරීමක් වෙන කිසිම කෙනෙක් කරලා නැහැ. පාපයෙනුත් මරණයෙනුත් අපිව ගලවගන්න ඕනම කරලා තිබුණු ඒ ජීවිත පූජාවෙන් කරන්න පුළුවන් වුණු දේ, වෙන කිසිම දේකින් කරන්න බැහැ. ඇත්තෙන්ම යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම අපිට වචනවලින් විස්තර කරන්න බැහැ.

 

^ 19 ඡේ. මිය ගිය අය වෙනුවෙන් දෙවියන් කරන්න යන දේ ගැන තවත් විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. www.pr418.com/si වෙබ් අඩවියෙන් ඒක කියවන්න පුළුවන්.