Skip to content

පටුනට යන්න

දෙවියන්ගේ ආදරය ලබන අය අද්දකින සතුට

දෙවියන්ගේ ආදරය ලබන අය අද්දකින සතුට

යෙහෝවා දෙවියන් අපේ ශරීරය නිර්මාණය කරලා තියෙන්නේ හරිම පුදුමාකාර විදිහට. නිරෝගී කෙනෙක්ගේ ශරීරය සීරීමක්, කැපීමක් නැත්නම් වෙන හේතුවක් නිසා තුවාල වුණොත් “ඒ තුවාලය පොඩි වුණත් ලොකු වුණත් ශරීරයේම සිද්ධ වෙන අපූරු ක්‍රියාවලියක් නිසා ඒක සුව වෙනවා.” (ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලය) ඒ ක්‍රියාවලිය නිසා ලේ ගැලීම වැළකෙනවා. පටක අලුත්වැඩියා වෙලා තුවාලය සුව වෙනවා.

මේ ගැන හිතන්න. තුවාල සුව වෙන විදිහට අපේ ශරීරය නිර්මාණය කරපු දෙවියන් අපි මානසිකව වැටිලා ඉද්දී ඒකෙන් ගොඩ එන්න උදව් නොකර ඉඳියිද! බයිබලයේ මෙහෙම කියනවා. “බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.” (ගීතාවලිය 147:3) ඔයා මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ද? එහෙනම් දැනුත් අනාගතයේදීත් යෙහෝවා දෙවියන් ඔයාට මානසික සුවයක් දෙයි කියලා නිසැක වෙන්න පුළුවන් කොහොමද?

බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවියන් මෙහෙම පොරොන්දු වෙනවා. ‘භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි. කලබල නොවන්න. ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරමි. ඔබට පිහිට වෙමි.’ (යෙසායා 41:10) කෙනෙක් තේරුම් අරන් තියෙනවා නම් යෙහෝවා දෙවියන් තමන්ට ආදරෙයි කියලා සන්සුන් මනසක් ඇතුව ඕනෙම පීඩාවක් දරාගන්න එයාට පුළුවන් වෙනවා. ‘දෙවි ලබා දෙන සමාදානය’ කිසි මිනිසෙකුට වටහාගන්න බැහැ කියලත් ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ’ කියලත් පාවුල් කිව්වා.—ෆිලිප්පි 4:4-7, 9, 13.

බයිබලය උදව් වෙනවා අනාගතය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න. උදාහරණෙකට එළිදරව් 21:4, 5 උදව් වෙනවා දෙවියන් කරන්න යන දේවල් ගැනත් ඔහු ඒවා කරයි කියලා විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් තේරුම්ගන්න.

  • යෙහෝවා දෙවියන් මිනිසුන්ගේ ‘ඇස්වලින් සියලු කඳුළු පිස දමනවා.’ අපේ දුකට, කනස්සල්ලට හේතු වෙන දේවල් අනිත් අය තේරුම්නොගත්තත් දෙවියන් ළඟදීම ඒ හැම දෙයක්ම නිමා කරනවා.

  • “සිංහාසනය මත ඉඳගෙන සිටින” දෙවියන් තමයි මුළු විශ්වයේම බලවත් රජ. අනාගතයේදී දුකට හේතු වෙන කිසි දෙයක් වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. අපිට ඕන කරන උදව් ඔහු ලබා දෙනවා.

  • යෙහෝවා දෙවියන් ‘විශ්වාසවන්ත, සැබෑ’ කෙනෙක් කියන දේ මේ වෙද්දීත් ඔප්පු වෙලා තියෙනවා. ඒක පදනම් කරගෙන ඔහු අපිට සහතික වෙනවා තමන් දීපු පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා.

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත. සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය. ‘බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.’ තවදුරටත් ඔහු, ‘ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය’ කියාද පැවසුවේය.”—එළිදරව් 21:4, 5.

දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔහුගේ නිර්මාණත් බයිබලයත් උදව් වෙනවා. දෙවියන්ගේ නිර්මාණ හරියට ඔහුගේ යාළුවෙක් වෙන්න කියලා ඔහු අපිට කරන නිහඬ ආරාධනාවක් වගේ. බයිබලයේ ඒ ආරාධනාව කෙළින්ම කරලා තියෙනවා. ඒකේ කියන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලයි. (යාකොබ් 4:8) මොකද ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.’—ක්‍රියා 17:27.

දෙවියන් ගැන දැනගන්න තරමට ඔයා තේරුම්ගනියි ඔහු ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා. (1 පේතෘස් 5:7) ඒ දේ තේරුම්ගන්න එක වැදගත් ඇයි?

ජපානයේ ඉන්න ටෝරුගේ අද්දැකීම බලන්න. ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණත් එයා ප්‍රසිද්ධ මැර කල්ලියකට සම්බන්ධ වුණා. එයා මෙහෙම කියනවා. “මං හිතුවේ දෙවියන් මට වෛර කරනවා කියලා. මාත් එක්ක හිටපු අය මැරෙද්දී, විශේෂයෙන්ම මං ආදරේ කරපු අය මැරෙද්දී ඒක දෙවියන්ගෙන් මට ලැබුණු දඬුවමක් කියලයි මට හිතුණේ. ඒ නිසා මං කිසි හිතක් පපුවක් නැති කෙනෙක් විදිහට වැඩ කරන්න පටන්ගත්තා. මට ඕන වුණේ තරුණ කාලෙම මැරෙන්න. හැබැයි ඊට කලින් ප්‍රසිද්ධ කෙනෙක්ව මරලා නමක් තියන්න මට ඕන වුණා.”

ටෝරු එයාගේ බිරිඳ වන හැනා එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තාට පස්සේ වෙනස් වුණා. හැනා කියනවා “මගේ මහත්තයා මෙහෙම වෙනස් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ” කියලා. ටෝරු කිව්වේ මෙහෙමයි. “අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා දැන් මං දන්නවා. කිසිම කෙනෙක් මැරෙනවාට ඔහු කැමති නැහැ. වැරදි ගැන පසුතැවෙන අයට සමාව දෙන්න ඔහු බලාගෙන ඉන්නවා. අනිත් අයට කියන්න බැරි දේවල් වුණත් ඔහු එක්ක කියන්න අපිට පුළුවන්. වෙන කිසිම කෙනෙක්ට වඩා ඔහු අපිව තේරුම්ගන්නවා. යෙහෝවා දෙවියන් ළඟදීම අපේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා. දැනුත් හිතන්නෙවත් නැති විදිහට ඔහු අපිට උදව් කරනවා. අපි දුකින් ඉද්දී ආදරෙන් සලකලා අපිව සනසනවා.”—ගීතාවලිය 136:23.

ටෝරුගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? දෙවියන් ළඟදීම අපේ ඇස්වලින් හැම කඳුළක්ම පිහදානවා කියලා දැනන් ඉන්න එකෙන් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දැනුත් සතුටින් ජීවත් වෙන්න ඒක උදව් වෙනවා. ඔව්, දුක් කරදරවලින් පිරුණු ලෝකයක වුණත් දෙවියන්ගේ ආදරය ලබමින් සතුටින් ඉන්න ඔයාටත් පුළුවන්!