Skip to content

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන කවුද? බයිබලයේ කියන්නේ ඒක දෙමව්පියන්ගේ වගකීමක් කියලයි. ඒක කරන්න පහත සඳහන් කරුණු බොහෝ දෙමව්පියන්ට උදව් වෙලා තියෙනවා.

  •   ලැජ්ජා වෙන්න එපා. ප්‍රජනන ඉන්ද්‍රියයන් සහ ලිංගික කාරණා ගැන බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඔවුන් අතර සිටින ‘කුඩා දරුවන්ටත්’ ඒ කාරණා ගැන කියලා දෙන්න කියලයි. (ද්විතීය කතාව 31:12; ලෙවී කතාව 15:2, 16-19) ඒ නිසා ප්‍රජනන ඉන්ද්‍රියයන් සහ ලිංගික කාරණා ගැන දරුවන්ට කියලා දෙද්දී ගෞරවනීය වචන පාවිච්චි කරන්න.

  •   ක්‍රමානුකූලව කියලා දෙන්න. දරුවන් වැඩිවියට පත් වෙන වයසේදී දේශනයක් දෙනවා වගේ එකපාර හැම දේම කියලා දෙන්න එපා. දරුවන්ගේ තේරුම්ගැනීමේ හැකියාව අනුව ක්‍රමානුකූලව දේවල් කියලා දෙන්න.—1 කොරින්ති 13:11.

  •   හරි වැරැද්ද කියලා දෙන්න. පාසැලේදී දරුවන්ට ප්‍රජනන ඉන්ද්‍රියයන් ගැන යම් මූලික අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් ලිංගික කාරණා සම්බන්ධයෙන් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා දරුවන්ව දැනුවත් කිරීමේ වැඩි වගකීම තියෙන්නේ දෙමව්පියන්ටයි.—හිතෝපදේශ 5:1-23.

  •   දරුවන්ට ඇහුම්කන් දෙන්න. දරුවන් ලිංගික කාරණා ගැන ප්‍රශ්නයක් ඇහුවාම, දරුවා වැරදි අදහසකින් ඒක අහනවා කියලා හිතලා එකපාරටම ඇඟට කඩා පනින්න එපා. “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියලා බයිබලයේ කියනවා.—යාකොබ් 1:19.

කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්නේ කොහොමද?

ඔයාගේ පුංචි දරුවාට කාමාතුරයන්ගේ උගුල්වලින් බේරෙන්න උගන්වන්න

  •   ඔබ දැනුවත් වී සිටින්න. කාමාතුරයන්ගේ කූට උපායන් ගැන දැනුවත් වී සිටින්න.—හිතෝපදේශ 18:15; ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්, 1වන පොත’ 32වෙනි පරිච්ඡේදය බලන්න.

  •   නිතරම දරුවන් ගැන සොයා බලන්න. දරුවාව බලාගන්න භාර දෙන කෙනා ගැන ස්ථිර විශ්වාසයක් නැත්නම් දරුවාව ඒ වගේ කෙනෙක්ගේ භාරයේ තියන්න එපා. ‘දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩ තියන්නත් එපා.’—හිතෝපදේශ 29:15.

  •   හැම වැඩිහිටියෙක්ම කියන කියන දේ කරන්න එපා කියලා උගන්වන්න. දරුවන් අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ. (කොලොස්සි 3:20) ඒත් හැම වැඩිහිටියෙක්ටම කීකරු වෙන්න ඕන කියලා ඉගැන්නුවොත් දරුවන් කරදරයකට වැටෙන්නත් ඉඩ තියෙනවා. දරුවාට මෙහෙම උගන්වන්න. “දෙවියන් එපා කියලා තියෙන දෙයක් කරන්න කියලා කවුරු හරි ඔයාට කිව්වොත් ඒක කරන්න එපා.”—ක්‍රියා 5:29.

  •   ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රම දරුවන්ට කියලා දෙන්න. ඔබ දරුවා ළඟ නැති වෙලාවක අතවරයක් කරන්න කවුරු හරි ආවොත් කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා දරුවාට උගන්වන්න. ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් මොනවාද කියලා රඟපාලා පෙන්වන්න. එතකොට දරුවාගේ හිතේ බය නැති වෙන නිසා කවුරු හරි කරදරයක් කරන්න ආවොත් “මම ඔයා ගැන අම්මටයි තාත්තටයි කියනවා” කියලා එතැනින් ඉක්මනට අයින් වෙන්න එයා පෙලඹෙයි. දරුවන්ට හරි ඉක්මනට අමතක වෙන නිසා මේ වගේ දේවල් නිතර නිතර මතක් කරන්න.—ද්විතීය කතාව 6:7.