Skip to content

යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් අධ්‍යාපනයට දෙන්නේ කොයි වගේ තැනක්ද?

යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් අධ්‍යාපනයට දෙන්නේ කොයි වගේ තැනක්ද?

 අධ්‍යාපනයට දෙන්න ඕනෙ මොන වගේ තැනක්ද කියලා අපි තීරණය කරන්නේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති සැලකිල්ලට අරගෙනයි. අපි එක් එක් කෙනා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරලා තියෙන අපේ හෘදය සාක්ෂියට අනුව මේ ලිපියේ සඳහන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන කල්පනා කරනවා. a

 අධ්‍යාපනය අත්‍යවශ්‍යයි

 කෙනෙක්ට ‘ප්‍රඥාව සහ සිතීමේ හැකියාව’ දියුණු කරගන්න අධ්‍යාපනය උදව් වෙනවා. (හිතෝපදේශ 2:10, 11; 3:21, 22) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වෙත් ‘මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න මිනිසුන්ට උගන්වන්න’ කියලයි. (මතෙව් 28:19, 20) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම දෙයක් ගැනම හොඳින් ඉගෙනගන්නවා. කියවන්න, ලියන්න, අදහස් හුවමාරු කරගන්න b අපි ඉගෙනගන්නවා. ඒ වගේම අනිත් ආගම් සහ සංස්කෘතීන් ගැනත් අපි ප්‍රමාණවත් දැනුමක් ලබාගන්නවා.—1 කොරින්ති 9:20-22; 1 තිමෝති 4:13.

 අධ්‍යාපනය ලබාගන්න එකේ තියෙන වටිනාකම රජයෙන් තේරුම් අරන් තියෙන නිසා දරුවන් මූලික අධ්‍යාපනය ලබාගත යුතුයි කියලා නීති පනවලා තියෙනවා. “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි” කියන ආඥාවට අපි යටත් වෙන නිසා රජය ඇති කරලා තියෙන ඒ සැලැස්මට අපි කීකරු වෙනවා. (රෝම 13:1) උඩින් පල්ලෙන් ඉගෙනගන්නේ නැතුව පාසැලේදී හොඳ අවධානයක් දීලා හොඳින් ඉගෙනගන්න කියලත් ලැබෙන පැවරුම් හොඳින් ඉටු කරන්න කියලත් අපි දරුවන්ව දිරිගන්වනවා. c මොකද බයිබලයේ කියන්නේ “ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න” කියලයි.—කොලොස්සි 3:23.

 පවුලේ අයව හොඳින් බලාගන්න අධ්‍යාපනය උදව් වෙනවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 5:8) ඒ කියන්නේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න අපිට යුතුකමක් තියෙනවා. අධ්‍යාපනය ලබලා තියෙන එක ඒ යුතුකම හරියට ඉටු කරන්න උදව් වෙනවා. එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “රටේ ආර්ථිකයට දායක වෙන, සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කරන එක අධ්‍යාපනයේ මූලික අරමුණක්.” (The World Book Encyclopedia) තමන්ගේ පවුලේ අයව හොඳින් බලාගන්න, එයාලට අවශ්‍ය දේවල් සපයන්න අධ්‍යාපනය ලබලා නැති අයට වඩා අධ්‍යාපනය ලබලා තියෙන අයට පහසුයි.—හිතෝපදේශ 22:29.

 පවුලේ අයට අවශ්‍ය දේවල් සපයනවා කියද්දී දෙමාපියන් තමන්ගේ දරුවන්ව හොඳ වැඩිහිටියන් වෙන්න සූදානම් කරන එකත් ඒකට ඇතුළත්. ඒකට එයාලව පාසැල් යවන එක අත්‍යවශ්‍යයි. (2 කොරින්ති 12:14) යම් රටවල, ප්‍රදේශවල ඒ වගේ අධ්‍යාපනයක් ලබා දෙන එක ලේසි පහසු කාර්යයක් නොවෙන්න පුළුවන්. පාසැල්වලට නැත්නම් අධ්‍යාපන ආයතනවලට ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක සංස්කෘතියට පටහැනි දෙයක් වෙන්න පුළුවන්. d ඒත් ඒ මොන බාධාව තිබුණත් දරුවන්ට පාසැල් අධ්‍යාපනය ලබා දෙන්න කියලා අපි දෙමාපියන්ව දිරිගන්වනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී දෙමාපියන්ට උදව් වෙන යෝජනාත් අපි ලබා දෙනවා. e

 විවෘත මනසකින් බලන්න

 අධ්‍යාපනය ගැන තීරණයක් ගද්දී හැම පැත්තක් ගැනම හිතලා බලනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 14:15) මූලික අධ්‍යාපනය ලැබුවාට පස්සේ, ඒ කියන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ අමතර අධ්‍යාපනයක් ලබාගන්න එක ගැන කල්පනා කරද්දී අපි මේ ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා. අමතර අධ්‍යාපනයක් ලබන්නේ මොන ක්ෂේත්‍රයේද, ඒකට කොච්චරක් වියදම් වෙනවාද, ඒකෙන් ජීවිතේට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද වගේ දේවල් අපි සලකා බලනවා. උදාහරණෙකට වෘත්තීය පුහුණුවක් ලබන එක කෙනෙක්ගේ ජීවිතේට හුඟක් ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙමෙයි අවුරුදු ගාණක් වැය කරන්නේ නැතුව කෙටි කාලයක් ඇතුළත කරන්න පුළුවන්, අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත් වෘත්තීය පුහුණු පාඨමාලා තියෙනවා.

 පාසැල් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැති ප්‍රයෝජන බයිබලයේ සඳහන් දේවල් ඉගෙනගන්න එකෙන් ලැබෙනවා. දෙවියන් ගැන ඉගෙනගන්න එක ජීවිතේ රැකගන්න අපිට උදව් වෙනවා. ඒ දැනුම අපිට ලබාගන්න පුළුවන් බයිබලයෙන් විතරයි. (යොහන් 17:3) බයිබලයේ සඳහන් දේවල් ගැන අධ්‍යාපනය ලබද්දී කෙනෙක් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඉගෙනගන්නවා. ‘යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන හොඳ අවබෝධයක්’ බයිබලය මාර්ගයෙන් ඒ කෙනාට ලැබෙනවා. (හිතෝපදේශ 2:9) යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක්. අද කාලේ විශ්වවිද්‍යාලයකින් ලැබෙන අධ්‍යාපනය හා සමාන අධ්‍යාපනයක් ඔහු ලබාගෙන තිබුණා. එත් ‘ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ ලබාගත් දැනුම කොතරම් අනර්ඝද‘ කියලා එයා තේරුම්ගත්තා. (ෆිලිප්පි 3:8; ක්‍රියා 22:3) ඒ වගේ අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක් හොඳින් අධ්‍යාපනය හදාරලා තියෙන අය. ඒත් වැඩියෙන්ම වටින්නේ බයිබලයේ සඳහන් දේවල් ගැන ලබපු අධ්‍යාපනයයි කියලා එයාලා පිළිගන්නවා. f

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න එක හොඳ ගුණාංග වර්ධනය කරගන්න උදව් වෙනවා

 උසස් අධ්‍යාපනය නිසා දෙවියන්ගේ උසස් ප්‍රමිති කැඩෙන්න පුළුවන්

 “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) සමහර විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන්න ගියොත් තමන් අතින් සදාචාර ප්‍රමිති කැඩෙන්නත් තමන්ට දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ඒ වගේ තැන්වල අධ්‍යාපනය හදාරන්නේ නැතුව ඉන්නත් තමන්ගේ දරුවන්ව ඒ වගේ තැන්වලට යොමු නොකර ඉන්නත් තීරණය කරලා තියෙනවා. ඒ වගේ විශ්වවිද්‍යාලවලදී වැරදි මත දරුවන්ගේ මනස්වලට දානවා කියලා එයාලා තේරුම් අරන් තියෙනවා. ඒකට උදාහරණ කිහිපයක් බලමු.

  •   වැරදි මතය: සතුටින් පිරි සුරක්ෂිත අනාගතයක් ලැබෙන්නේ හොඳට සල්ලි තිබ්බොත් විතරයි

     ලොකු පඩියක් ලැබෙන රැකියාවක් හොයාගන්න නම් උසස් අධ්‍යාපනය හදාරන්න ඕනෙ කියලා සමාජයේ මතයක් තියෙනවා. වැඩිදෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගන්න යොමු වෙන්නේ ඒ නිසයි. සමහරු හිතන්නේ සතුට සහ සුරක්ෂිතබව ලැබෙන්නේ පොහොසත් වුණොත් විතරයි කියලයි. ඒත් ඒ සිතුවිල්ල කොයි තරම් නිෂ්ඵලයිද කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 5:10) ඒ වගේම සල්ලිවලට තියෙන ආසාව නිසා “බොහෝ වේදනා අද්දැකීමට” සිද්ධ වෙනවා කියලා බයිබලයේ තියෙනවා. (1 තිමෝති 6:10) ‘ධනය පසුපස ගොස් මුළා නොවී ඉන්න’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අතින්ම වෑයම් දරනවා.—මතෙව් 13:22.

  •   වැරදි මතය: සමාජයේ තැනක් හදාගන්න නම් උසස් අධ්‍යාපනය ලබන්නම ඕනේ

     උදාහරණයකට ජෝර්ජියාවේ හිටපු අගමැතිවරයෙක් වන නීක ගලාරි ඒ රටේ ජනතාවට තිබුණ මතයක් ගැන මෙහෙම ලිව්වා. “සමාජයේ පිළිගත් කෙනෙක් වෙන්න නම් උපාධියක් ලබාගන්නම ඕනෙ කියලා ජෝර්ජියාවේ අය හිතනවා. . . . උපාධියක් ලබාගත්තේ නැති දරුවන් පවුලට අගෞරවයක් විදිහටයි එයාලා සැලකුවේ.” g ඒත් බයිබලයේ කියන්නේ සමාජයේ තැනක් දිනාගන්න, ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්න එපා කියලයි. යේසුස්ගේ කාලයේ හිටපු තමන්ටම ගෞරවය දිනාගන්න උත්සාහ කරපු ආගමික නායකයන්ට යේසුස් මෙහෙම කිව්වා. “එකිනෙකාගෙන් ගෞරවය ලබන්නයි ඔබ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබට මා ගැන විශ්වාසයක් ඇති වන්නේ කොහොමද?” (යොහන් 5:44) විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක් තුළ දෙවියන් ප්‍රතික්ෂේප කරන ඒ වගේ උඩඟු ආකල්ප ඇති වෙන්න ඉඩකඩ තියෙනවා.—හිතෝපදේශ 6:16, 17; 1 පේතෘස් 5:5.

  •   වැරදි මතය: හරි දේ සහ වැරදි දේ මොකක්ද කියලා තමන්ටම තීරණය කරන්න පුළුවන්

     යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතේට අදාළ කරගන්නේ හරි වැරැද්ද ගැන දෙවියන් පිහිටුවලා තියෙන ප්‍රමිති. (යෙසායා 5:20) විශ්වවිද්‍යාලයේ ඉන්න සිසුන්ගේ පෙලඹීම නිසා “කෙනෙක් කලින් වැරදියි කියලා හිතාගෙන හිටපු දෙයක් වුණත් කරන්න පෙලඹෙන්න පුළුවන්” කියලා එක පොතක සඳහන් වුණා. h ඒ අදහස බයිබලේ තියෙන “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියන අදහසට එකඟයි. (1 කොරින්ති 15:33) විශ්වවිද්‍යාල ඇතුළේ සීමාව ඉක්මවලා මත්පැන් පානය කරන එක, මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික දුරාචාරය වගේ දෙවියන් පිළිකුල් කරන දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා කරන්න අනිත් අයට අනුබල දෙනවා.—1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1.

  •   වැරදි මතය: මේ ලෝකය තවත් දියුණු තැනක් කරන්න නම් උසස් අධ්‍යාපනය හදාරන එක අත්‍යවශ්‍යයි

     ධන සම්පත්, ප්‍රසිද්ධිය ලබාගන්න අරමුණින් උසස් අධ්‍යාපනය හදාරන අය හිටියත් ඇත්තටම තමන්ගේ දියුණුව සහ රටේ දියුණුව වෙනුවෙන් උසස් අධ්‍යාපනය හදාරන අයත් ඉන්නවා. ඒක හොඳ දෙයක්. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ආකල්පය දරන්නේ නැහැ. යේසුස් වගේ අපිත් විශ්වාස කරන්නේ මේ ලෝකය හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන් දෙවියන්ගේ රාජ්‍යයට විතරයි කියලයි. (මතෙව් 6:9, 10) ඒත් එහෙමයි කියලා අපි කිසිම දෙයක් නොකර දෙවියන්ගේ රාජ්‍යය එන කල් ඔහේ ඉන්නේ නැහැ. ඒ වෙනුවට අපි යේසුස් වගේ දෙවියන්ගේ “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය” ලෝකය පුරාම දේශනා කරලා දහස් සංඛ්‍යාත මිනිසුන්ට තමන්ගේ ජීවිතේ හොඳ අතට හරවාගන්න උදව් කරනවා. iමතෙව් 24:14.

a දෙමාපියන් යටතේ ඉන්න, යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණයක් ගද්දී බයිබල් ප්‍රතිපත්තියක් කඩ නොවෙන තාක් කල් තම දෙමව්පියන් සපයන මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරනවා.—කොලොස්සි 3:20.

b කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරගන්න උදව් වෙන ප්‍රකාශන සම්පාදනය කරලා ඒවාවල පිටපත් මිලියන 11කට වඩා අපි මුද්‍රණය කරලා තියෙනවා. ලෝකය පුරාම භාෂා 120කින් අපි නොමිලේ කියවන්න සහ ලියන්න උගන්වන පන්ති පවත්වනවා. වර්ෂ 2003ත් 2017ත් අතර කාලයේදී අපි 70,000 දෙනෙක්ට විතර කියවන්න සහ ලියන්න උගන්වලා තියෙනවා.

d 2003 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ “මගේ දරුවා පාසැල් යා යුතුද?” කියන ලිපිය බලන්න.

f jw.org එකේ ඇති “නොදුටු පැත්ත හෙළි වෙයි” කියන කොටස බලන්න.

g එම පොත Practical Economics: Economic Transformation and Government Reform in Georgia 2004​—2012, 170 පි.

h එම පොත Journal of Alcohol and Drug Education. වෙළුම 61, අංක 1, 2017 අප්‍රියෙල්, 72 පි.

i jw.org එකේ තියෙන “ජීවිත වෙනස් කළ පොතක්” කියන කොටස බලන්න. දෙවියන්ගේ වචනය සහ ඒකේ සඳහන් ශුභාරංචිය නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වුණ විදිහ දැනගන්න.