Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

 ඔයාගේ දරුවා ඉස්කෝලේ යන්න ආස නැද්ද? ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නේ නැද්ද? පොතක් අතින් අල්ලන්නේ නැද්ද? ඒක දරුවාගේ අධ්‍යාපනයට විතරක් නෙමෙයි එයා හිතන පතන විදිහටත් අයහපත් බලපෑමක් ඇති කරනවා. ඉස්කෝලේ වැඩ උනන්දුවෙන් කරලා ලකුණු වැඩියෙන් ගන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

 දැනගන්න ඕන දේ

 හැම තිස්සෙම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ගියොත් වැඩේ වැරදෙයි. හැම තිස්සේම පාඩම් කරන්න, පාඩම් කරන්න කියලා කියන්න ගියොත් ඉස්කෝලේදී වගේම ගෙදරදීත් දරුවාට ලොකු පීඩනයක් දැනෙයි. කොහොමහරි ඒකෙන් බේරෙන්න ඕනෙ නිසා දරුවා ඔයාට බොරු කියයි. එයා ඇත්තටම ගත්ත ලකුණු ඔයාගෙන් හංගයි. රිපෝට් කාඩ් එකේ ඔයාගේ අත්සන හොරට ගහයි. නැත්නම් කට්ටි පනියි. පාඩම් කරන්න කියලා දරුවාට කරදර කළොත් වෙන්නේ ප්‍රශ්නේ තවත් දරුණු වෙන එක විතරයි.

 තෑගි දෙන එකෙනුත් ඔයා හිතන දේ නොවෙන්න පුළුවන්. ඇන්ඩෘට දුවෙක් ඉන්නවා. එයා මෙහෙම කියනවා. “පන්තියේදී වැඩියෙන් ලකුණු ගන්න දුවව උනන්දු කරන්න ඕනෙ නිසා අපි එයාට කිව්වා ලකුණු වැඩියෙන් ගත්තොත් එයා ආස දෙයක් අරන් දෙනවා කියලා. ඒකෙන් වුණේ එයා ලකුණු අඩු වුණ එක ගැන දුක් වෙනවා වෙනුවට, තෑග්ග ලැබුණ නැති එක ගැන දුක් වුණ එකයි.”

 ගුරුවරුන්ට දොස් කියන්න එපා. ලකුණු අඩු වුණේ ටීචර්ස්ලා හරියට උගන්නලා නැති නිසා කියලා ඔයා දොස් කිව්වොත් දරුවා ඉගෙනගන්න මහන්සි වෙන එකක් නැහැ. ලකුණු අඩු එකේ වරද එයා ටීචර්ස්ලා පිට පටවන්න පටන්ගනියි. එහෙම වුණාම ටිකෙන් ටික එයා අතින් වෙන වැරදිවලටත් වග කියන්න ඕනෙ අනිත් අය, එයාගේ ප්‍රශ්න විසඳන්න ඕනෙත් අනිත් අය කියලා දරුවා හිතන්න පටන්ගන්නවා. දරුවා වැඩිහිටියෙක් වුණාම එයාට ඒක නරක විදිහ බලපානවා.

 කරන්න පුළුවන් දේ

 කතා කරන්න ඉක්මන් වෙන්න එපා. දරුවාගේ ලකුණු අඩු නිසා කේන්ති ගිය වෙලාවක එයාට ඒ ගැන කතා කරන්න යන්න එපා. තරහා නිවෙන කල් ඉන්න. බ්‍රෙට් මෙහෙම කියනවා. “මායි බිරිඳයි සන්සුන්ව, ආදරෙන් දරුවා එක්ක කතා කරපු නිසා එයා දැන් උනන්දුවෙන් ඉගෙනගන්නවා.”

 බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

 ඇයි ලකුණු අඩු වෙන්නේ කියලා හොයලා බලන්න. ඔයාගේ දරුවා කම්මැළියි කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද චන්ඩි ළමයි ඉස්කෝලේදී කරදර කරන නිසා, ඉස්කෝල මාරු කරන නිසා, විභාගවලට තියෙන බය නිසා, දෙමාපියන් අතරේ ඇති වෙන ප්‍රශ්න නිසා, නින්ද අඩු නිසා, කාලසටහනකට වැඩ කරන්නේ නැති නිසා, උගන්වන දේ උනන්දුවෙන් අහගෙන ඉන්නේ නැති නිසා සහ ඒ වගේ තවත් හේතු නිසා ලකුණු අඩු වෙන්න පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.” —හිතෝපදේශ 16:20.

 වටපිටාව සකස් කරන්න. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න, පාඩම් කරන්න කාලසටහනක් හදන්න. TV, ෆෝන් වගේ දේවල්වලින් බාධා ඇති වෙන්නේ නැති තැනක් එයාට පාඩම් කරන්න ලෑස්ති කරලා දෙන්න. එක දිගට පැය ගාණක් පාඩම් කරනවා වෙනුවට අතරින් පතර දරුවාට පොඩි විවේකයක් ගන්න දෙන්න. එතකොට පාඩම් කරන දේට හොඳට මනස යොමු කරන්න එයාට පුළුවන්. තාත්තා කෙනෙක් වන හෙක්ටර් ඉන්නේ ජර්මනියේ. එයා මෙහෙම කියනවා. “අපි විභාගේ කට උඩට එනකල් ඉන්නේ නැතුව එදා දවසේ ඉගෙනගත්ත දේවල් එදාම පාඩම් කරන්න දරුවාට උදව් කරනවා.”

  බයිබල් ප්‍රතිපත්තිය: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

 ඉගෙනගන්න උනන්දු කරන්න. දරුවා ඉගෙනගන්න දේවල් එයාගේ ජීවිතේට දැන් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා ඔයා පැහැදිලි කරන තරමට පාඩම් කරන්න එයාට තියෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණෙකට ගණිතය හොඳට ඉගෙනගන්න එක සල්ලි අරපිරිමැස්මෙන් වියදම් කරන්න උදව් වෙනවා.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න. ප්‍රඥාව ඉතා උසස් කොට සලකන්න.’—හිතෝපදේශ 4:5, 8.

 යෝජනාවක්: ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න දරුවාට උදව් කරන්න. ඒත් ඔයා ඒවා කරලා දෙන්න එපා. ඇන්ඩෘ මෙහෙම කියනවා. “අපේ දුව අපි උත්තරේ කියලා දෙනකල් බලාගෙන හිටියා. උත්තරේ හොයාගන්න එයා මහන්සි වුණේ නැහැ.” තනියෙම ගෙදර වැඩ කරන විදිහ දරුවාට කියලා දෙන්න.