Skip to content

‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?

‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?

 ‘නව ලොව පරිවර්තනයේ’ පළවෙනි කොටස මුදාහැරියේ 1950දියි. එදා ඉඳන්ම සමහරු ඒ බයිබලය අගය කරනවා. හැබැයි තවත් සමහරු ඒකේ නිවැරදි බව ගැන ප්‍රශ්න කරනවා. ඒකට හේතුව සමහර බයිබල්වලට වඩා මේ බයිබලයේ වෙනස්කම් තියෙන නිසයි. ‘නව ලොව පරිවර්තනය’ අනිත් පරිවර්තනවලට වඩා වෙනස් වෙන්න හේතු කිහිපයක් බලමු.

  •   නිවැරදියි. ‘නව ලොව පරිවර්තනයට’ පාවිච්චි කරලා තියෙන්නේ ඉතාමත්ම පැරණි අත්පිටපත්. ඒ අත්පිටපත්වල තියෙන තොරතුරු ඉතාමත්ම නිවැරදියි කියලා විශාරදයන් තහවුරු කරලත් තියෙනවා. ඒත් 1611දී මුදාහැරපු “කිං ජේම්ස් වර්ෂන්” කියන බයිබලය පරිවර්තනය කරන්න පාවිච්චි කරලා තියෙන අත්පිටපත්, ඒ තරම් පරණ ඒවාවත් සීයට සීයක්ම නිවැරදි ඒවාවත් නෙවෙයි.

  •   විශ්වාසවන්තයි. දෙවියන් විසින් ලබා දුන්න පණිවිඩයේ කිසිම වෙනසක් නොකර ඒක ඒ විදිහටම ‘නව ලොව පරිවර්තනයට’ දාලා තියෙනවා. (2 තිමෝති 3:16) ඒත් සමහර බයිබල් පරිවර්තනවල මිනිසුන්ගේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ පණිවිඩය ඒ විදිහටම මිනිස්සුන්ට ලබා දීලා නැහැ. උදාහරණයකට යෙහෝවා කියන දෙවියන්ගේ නාමය වෙනුවට දෙවියන්වහන්සේ හෝ ස්වාමීන්වහන්සේ වගේ යෙදුම් භාවිත කරලා තියෙනවා.

  •   අත්පිටපත්වලට සමානයි. සමහර පරිවර්තකයන් මුල් භාෂාවේ තියෙන අදහස දානවා වෙනුවට තමන් කැමති විදිහට පරිවර්තනය කරලා තියෙනවා. එහෙම කරන එකෙන් වෙන්නේ අත්පිටපත්වල තියෙන සමහර වැදගත් අදහස් අයින් වෙන එක, එහෙම නැත්නම් අමතර අදහස් එකතු වෙන එකයි. ඊට වෙනස්ව අත්පිටපත්වල තියෙන අදහස ඒ විදිහටම ‘නව ලොව පරිවර්තනය’ කියන බයිබලයේ පරිවර්තනය කරලා තියෙනවා.

‘නව ලොව පරිවර්තනයේ’ තියෙන වෙනස්කම් මොනවාද?

 අමතර පොත් නැහැ. රෝමානු කතෝලික පල්ලිය සහ නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලිය ඔවුන්ගේ බයිබල්වලට අමතර පොත් කිහිපයක් එකතු කරලා තියෙනවා. නමුත් ඒ එකතු කරපු පොත් යුදෙව්වන්ගේ සම්මත පොත් සමූහයට අයිති නැහැ. බයිබලයේ කියන්නේ “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන් භාර දෙනු ලැබුවේ ඔවුන්ටය” කියලයි. (රෝම 3:1, 2) හැබැයි ‘නව ලොව පරිවර්තනය’ සහ තවත් බයිබල් පරිවර්තනවලට ඇතුළත් කරලා තියෙන්නේ යුදෙව්වන්ගේ සම්මත පොත් සමූහය විතරයි.

 අමතර බයිබල් පද නැහැ. අත්පිටපත්වල නැති බයිබල් පද ‘නව ලොව පරිවර්තනයට’ සහ වෙනත් අලුතෙන් කරන බයිබල් පරිවර්තනවලට ඇතුළත් කරලා නැහැ. සමහර ඒවා ඇතුළත් කළත් ඒවා මුල් පිටපත්වලින් හොයාගන්න බැරි බව සඳහන් කරලා තියෙනවා. a ඒත් සමහර බයිබල් පරිවර්තනවලට අමතර බයිබල් පද සහ අදහස් එකතු කරලා තියෙනවා.

 සරල භාෂා ශෛලියක්. වචනයට වචනය පරිවර්තනය කරන්න ගියාම හුඟක් වෙලාවට අදහස වරදිනවා, එහෙම නැත්නම් පැහැදිලි නැහැ. උදාහරණයකට මතෙව් 5:3 යේසුස් කියපු දේ ගොඩක් බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ මෙහෙමයි. “සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය.” (මතෙව් 5:3, ‘පැරණි අනුවාදය’) ගොඩක් අයට මේ පදයේ අදහස පැහැදිලි මදියි. තවත් සමහරු, එතන කියන්නේ යටහත්පහත්කම ගැන නැත්නම් දුප්පත්කම ගැන කියලා වැරදියට තේරුම්ගන්නවා. නමුත් යේසුස් කියන්න හැදුවේ ඒ වගේ දෙයක් නෙවෙයි. ඇත්තටම යේසුස් කියන්නේ තමන්ට දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියලා තේරුම්ගන්න අය සන්තෝෂවත් කියලයි. ඒ නිසා ‘නව ලොව පරිවර්තනයේ’ ඒ අදහස නිවැරදිව දාලා තියෙන්නේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි.—මතෙව් 5:3. b

‘නව ලොව පරිවර්තනයට’ විශාරදයන්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර

  •   විශාරදයෙක් සහ බයිබල් පරිවර්තකයෙක් වෙන එඩ්ගර් ජේ. ගුඩ්ස්පීඩ් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ ගැන, 1950 දෙසැම්බර් 8වෙනිදා ලියපු ලිපියක මෙහෙම සඳහන් කළා. “ඕගොල්ලෝ කරන වටිනා සේවය මම ඇත්තටම අගය කරනවා. විශේෂයෙන්ම ‘නව ලොව පරිවර්තනය.’ ඒක හරිම පැහැදිලියි, විශ්වාසවන්තයි. ඒකේ තියෙන තොරතුරු හොඳට හොයලා බලලා ඇතුළත් කරලා තියෙන නිසා ඒ පරිවර්තනය නිවැරදියි කියලා විශ්වාස කරන්න පුළුවන්.”

    එඩ්ගර් ජේ. ගුඩ්ස්පීඩ්

  •   චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙන ඇලන් වික්ග්‍රාන් සඳහන් කළේ, ‘නව ලොව පරිවර්තනයේ’ පාවිච්චි කරලා තියෙන්නේ හරිම සරල භාෂා ශෛලියක් කියලයි. ඒ වගේම ඒ බයිබලය අනිත් පරිවර්තනවලට වඩා වෙනස් කියලත් ඒක හරිම නිවැරදි පරිවර්තනයක් කියලත් ඔහු සඳහන් කළා.—The Interpreter’s Bible, 1වෙනි වෙළුම, 99වෙනි පිටුව.

  •   ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ ගැන බ්‍රිතාන්‍ය ජාතික බයිබල් විවේචක ඇලෙක්සැන්ඩර් තොම්සන් කියපු දේ බලන්න. “ග්‍රීක භාෂාවේ අදහස් පුළුවන් උපරිමයෙන්ම නිවැරදිව පරිවර්තනය කරන්න මේ පරිවර්තකයන් උත්සාහ කරලා තියෙනවා කියලා මට පේනවා. ඇත්තටම මේ බයිබලය, දක්ෂ විශාරදයන් සකස් කරපු පොතක් කියලා පැහැදිලියි.”—1952 අප්‍රියෙල්, The Differentiator, 52වෙනි පිටුව.

  •   චාල්ස් ෆ්‍රැන්සස් පොටර් කියන කතුවරයා මෙහෙම කිව්වා. “මේ බයිබලය පරිවර්තනය කරපු අය හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලිවල අදහස් හරිම නිවැරදිව සහ දක්ෂ විදිහට පරිවර්තනය කරලා තියෙනවා.”—The Faiths Men Live By, 300වෙනි පිටුව.

  •   ‘නව ලොව පරිවර්තනය’ වෙනත් බයිබල් පරිවර්තනවලට වඩා හුඟක් වෙනස් කියලත් ඒක සාර්ථක පරිවර්තනයක් කියලත් දැක්ක රොබට් එම්. මැකෝයි මෙහෙම කිව්වා. “මේ පරිවර්තනයෙන් පැහැදිලි වෙන දෙයක් තමයි බයිබලය පරිවර්තනය කරද්දී මතු වෙන ප්‍රශ්න බුද්ධිමත්ව හසුරුවන්න පුළුවන් පිරිසක් මේක පරිවර්තනය කරලා තියෙනවා කියන එක.”—1963 ජනවාරි, Andover Newton Quarterly, 31වෙනි පිටුව.

  •   මහාචාර්ය එස්. මැක්ලීන්ස් ගිල්මෝ ‘නව ලොව පරිවර්තනයේ’ සමහර අදහස්වලට එකඟ නොවුණත් ඔහු මෙහෙම කිව්වා. “ග්‍රීක භාෂාවෙන් තියෙන අදහස් හරිම දක්ෂ විදිහට මේ බයිබලයේ පරිවර්තනය කරලා තියෙනවා.”—1966 සැප්තැම්බර්, Andover Newton Quarterly, 26වෙනි පිටුව.

  •   ග්‍රීක ලියවිලි වචනෙන් වචනේ පරිවර්තනය කරලා තියෙන ‘නව ලොව පරිවර්තනයේම’ කොටසක් වන “ද කින්ඩම් ඉන්ටර්ලීනිය ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ග්‍රීක් ස්ක්‍රිප්චර්ස්” කියන පරිවර්තනය ගැන මහාචාර්ය තෝමස් එන්. වින්ටර් අදහස් දැක්වූවේ මෙහෙමයි. “මේ පරිවර්තනයේ තියෙන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන භාෂා ශෛලියක්. ඒ වගේම ඒක සීයට සීයක්ම නිවැරදියි.”—1974 අප්‍රියෙල්-මැයි, The Classical Journal, 376වෙනි පිටුව.

  •   හෙබ්‍රෙව් භාෂාව ගැන විශාරදයෙක් වෙන මහාචාර්ය බෙන්යමින් කෙඩාර්-කොප්ස්ටයින් 1989දී මෙහෙම කිව්වා. “හෙබ්‍රෙව් ලියවිලි වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරලා තියෙන විදිහ අධ්‍යයනය කරන්න මම නිතරම පාවිච්චි කරන්නේ ‘නව ලොව පරිවර්තනයයි.’ ඒකේ තියෙන තොරතුරු ඉතාමත් නිවැරදිව පරිවර්තනය කරන්න ලොකු මහන්සියක් දරලා තියෙනවා කියලා මට පේනවා.”

  •   ආගමික අධ්‍යාපන සහයක මහාචාර්යවරයෙක් වෙන ජේසන් ඩේවිඩ් බිඩූන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ප්‍රධාන බයිබල් නවයක් අධ්‍යයනය කළා. ඔහු සඳහන් කළේ මෙහෙමයි. “අනිත් බයිබල් පරිවර්තනවලට වඩා ‘නව ලොව පරිවර්තනය’ නිවැරදියි.” සමහර බයිබල් විශාරදයන් වගේම සාමාන්‍ය ජනයා හිතන්නේ ‘නව ලොව පරිවර්තනය’ වෙන බයිබල් පරිවර්තනවලට වඩා වෙනස් වෙන්නේ, ඒක පරිවර්තනය කරපු අය තමන්ගේ ආගමික විශ්වාසයන් මත්තෙම හිටපු නිසා කියලයි. නමුත් බිඩූන් මේ වගේ දෙයක් කිව්වා. “‘නව ලොව පරිවර්තනයේ’ ඒ වගේ වෙනස්කම් තියෙන්න හේතුව එය වචනයෙන් වචනයට අර්ථ දක්වමින් හරිම පරෙස්සමින් කරපු පරිවර්තනයක් නිසයි.”—Truth in Translation, 163, 165 පිටු.

a උදාහරණයකට, “නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්” සහ “නිව් ජෙරූසලම් බයිබල්” කියන බයිබල්වල මේ අමතර පද ඇතුළත් කරලා නැහැ. මතෙව් 17:21; 18:11; 23:14; මාක් 7:16; 9:44, 46; 11:26; 15:28; ලූක් 17:36; 23:17; යොහන් 5:4; ක්‍රියා 8:37; 15:34; 24:7; 28:29 සහ රෝම 16:24. ඊට අමතරව ත්‍රිත්වය ඇත්තක් කියලා ඔප්පු කරන්න සමහර බයිබල්වල (King James Version සහ Douay-Rheims Version) 1 යොහන් 5:7, 8 කියන පදවලට අමතර අදහසක් එකතු කරලා තියෙනවා. ඒ අදහස එකතු කරලා තියෙන්නේ බයිබලය ලියලා අවුරුදු සිය ගාණකට පස්සෙයි.

b ‘නව අනුවාදයෙත්’ ඒ පදය පරිවර්තනය කරලා තියෙන්නේ “බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය” කියලයි.