Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ලූක් 1:37 - “මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය”

ලූක් 1:37 - “මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය”

 “ඇත්තෙන්ම දෙවිට කළ නොහැකි දෙයක් නැහැ.”—ලූක් 1:37, ‘නව ලොව පරිවර්තනය.’

 “මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය.”—ලූක් 1:37, ‘පැරණි අනුවාදය.’

ලූක් 1:37 අදහස

 මිනිස්සුන්ට හිතාගන්න බැරි දේවල් කරන්න සියලු බලැති දෙවියන්ට පුළුවන්. ඔහු කියලා තියෙන දේවල්, පොරොන්දු වෙලා තියෙන දේවල් ඉටු වෙන එක නතර කරන්න කාටවත් බැහැ.

 මුල් භාෂාවෙන් “දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක්” කියලා කියද්දී ඒකෙන් යෙහෝවා a දෙවියන් කියන ඕනම දෙයක් වගේම ඔහු කියපු දේක ඉටු වීමකුත් අදහස් වෙන්න පුළුවන්. දෙවියන් කියන දේවල් හැම වෙලේම ඉටු වෙන නිසා ලූක් 1:37 තියෙන වචන “දෙවියන් කියපු දේවල් කවදාවත් බොරු වෙන්නේ නැහැ” කියලත් “දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැ” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන්ට ඕනම දෙයක් කරන්න බලය තියෙන නිසා ඔහු කියලා තියෙන දේවල් සහ ඔහු දීලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.—යෙසායා 55:10, 11.

 දෙවියන්ගේ පොරොන්දු ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න බයිබලයේ තියෙන හුඟක් දේවල් අපිට උදව් වෙනවා. උදාහරණයකට දරුවන් නැතුව හිටපු ආබ්‍රහම්ගේ බිරිඳ වුණ සාරාට මහලු වයසේදීම දරුවෙක් ලැබෙනවා කියලා දේවදූතයෙක් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් කිව්වා. ඒ වෙලාවේදී එයාලාගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න “යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද” කියලත් දෙවියන් ඇහුවා. (උත්පත්ති 18:13, 14) දෙවියන්ගේ නිර්මාණ ගැන ගැඹුරින් හිතපු යෝබ් අන්තිමේදී මේ නිගමනයට ආවා. එයා කිව්වා “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි” කියලා. (යෝබ් 42:2) මොන දේ කළත් දෙවියන් දෙන ගැලවීම ලබාගන්න තමන්ට බැරි වෙයි කියලා යේසුස්ගේ ගෝලයන් කියද්දී යේසුස් එයාලව මෙහෙම සැනසුවා. “දෙවිට සියල්ල කළ හැකියි.”—මතෙව් 19:25, 26. b

ලූක් 1:37 අවට පද

 ගාබ්‍රියෙල් දේවදූතයා ලූක් 1:37 තියෙන වචන කිව්වේ යුදෙව් කන්‍යාවක් වුණ මරියාට. දේවදූතයා කිව්වා “මහෝත්තම දෙවිගේ පුත්‍රයාව” මේ ලෝකෙට බිහි කරන්න තෝරගෙන තියෙන්නේ මරියාවයි කියලා. ඒ වගේම ඒ දරුවාට “යේසුස් යන නම තබන්න” කියලත් දේවදූතයා කිව්වා. ඒ ඉපදෙන දරුවා තමයි දේවරාජ්‍යයේ රජ විදිහට සදහටම පාලනය කරන්න යන්නේ.—ලූක් 1:26-33; එළිදරව් 11:15.

 ඒ වෙලාවේදී මරියා මෙහෙම ඇහුවා. “මම තවමත් පුරුෂයෙක් සමඟ එකට ජීවත් වී නැහැ. කොහොමද මට මේ වගේ දෙයක් වෙන්නේ?” (ලූක් 1:34, 35) එතකොට ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වා ඒක සිද්ධ වෙන්නේ දෙවිගේ බලය මාර්ගයෙන් කියලා. හැබැයි ඒ වෙද්දී යේසුස් හිටියේ ස්වර්ගයේ. ඒ නිසා යෙහෝවා දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා ඔහුගේ පුත්‍රයාව ආශ්චර්යවත් විදිහට මරියාගේ ගර්භාෂයේ වැඩෙන්න සැලැස්සුවා. (යොහන් 1:14; ෆිලිප්පි 2:5-7) දෙවිගේ බලය ගැන මරියාගේ හිතේ විශ්වාසය තව වැඩි කරන්න එයාගේ නෑයෙක් වුණ එලිසබෙත් වෙනුවෙන් දෙවියන් කරපු පුදුම දෙයක් ගැන ගාබ්‍රියෙල් එයාට කිව්වා. එලිසබෙත් වඳ කෙනෙක් වුණ නිසා එයාටයි, එයාගේ මහත්තයා වුණ සෙකරියාටයි දරුවෝ හිටියේ නැහැ. හැබැයි එලිසබෙත් “මහලුව සිටියත්” දෙවියන් ආශ්චර්යවත් විදිහට එයාට දරුවෙක් ලැබෙන්න සැලැස්සුවා. (ලූක් 1:36) ඒ දරුවාව තමයි යොහන් බව්තීස්ත කියලා හැඳින්නුවේ. එයා කරන්න යන සේවය ගැනත් දෙවියන් කලින්ම කියලා තිබුණා.—ලූක් 1:10-16; 3:1-6.

 ඉතින් ලූක් 1:37 තියෙන දේ ගාබ්‍රියෙල් දේවදූතයා කියන්න ඇත්තේ මරියායි, එලිසබෙතුයි දෙන්නා ගැනම හිතලා වෙන්න ඇති. හැබැයි ඒ වචන අද ඉන්න අපිටත් ලොකු ශක්තියක්. මොකද ළඟදීම දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් මේ ලෝකේ තියෙන හැම මිනිස් ආණ්ඩුවක්ම අයින් කරලා ධර්මිෂ්ඨ පාලනයක් ගේනවා. (දානියෙල් 2:44; 7:13, 14) ඒක දෙවියන්ගේ පොරොන්දුවක්. ඒ පොරොන්දුවත් කවදාවත් බොරු වෙන්නේ නැහැ කියලා ගාබ්‍රියෙල් දේවදූතයා කියපු දෙයින් ස්ථිරයි.

 ලූක් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.