Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 15:13 - “තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”

යොහන් 15:13 - “තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”

 “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.”—යොහන් 15:13, ‘නව ලොව පරිවර්තනය.’

 “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.”—යොහන් 15:13, ’පැරණි අනුවාදය.’

යොහන් 15:13 අදහස

 යේසුස්ගේ අනුගාමිකයන්ට අනිත් අය වෙනුවෙන් කොච්චර ආදරයක් තියෙන්න ඕනෙද කියලා යේසුස් පැහැදිලි කළා. ඔහු කිව්වේ අනිත් අය වෙනුවෙන් දිවි පුදන්න තරම් ආදරයක් තියෙන්න ඕනෙ කියලයි.

 ඊට කලින් පදේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මගේ ආඥාව මෙයයි. එනම් මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 15:12) ගෝලයන් ගැන යේසුස්ගේ හිතේ තිබ්බේ මොන වගේ ආදරයක්ද? යේසුස් හැම වෙලේම වැඩ කෙරුවේ අනිත් අය ගැන හිතලා. අනිත් අය වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් ආදරයක් ඔහුට තිබුණා. යේසුස් පොළොවේ හිටපු කාලෙදී තමන්ගේ ඕනෑ එපාකම්වලට වඩා හිතුවේ ගෝලයන්ගෙයි අනිත් අයගෙයි අවශ්‍යතා ගැන. ඔහු අසනීප අයව සුව කෙරුවා. දේවරාජ්‍යය ගැන ඉගැන්නුවා. a මිනිස්සු ඒ තරම් වැදගත් නැහැ කියලා සලකපු දේවලුත් නිහතමානී විදිහට කෙරුවා. (මතෙව් 9:35; ලූක් 22:27; යොහන් 13:3-5) ඒත් යොහන් 15:13 යේසුස් කතා කෙරුවේ ආදරේ පෙන්නන්න පුළුවන් ඊට වඩා උතුම් විදිහක් ගැන. ආදරේ පෙන්නන්න පුළුවන් ඒ විදිහ ගැන කියලා පැය කීපයක් යන්නත් කලින් ඔහු ඒක කරලා පෙන්නුවා. ඒක කෙරුවේ කැමැත්තෙන්ම “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා ඔහුගේ ජීවිතය පූජා කරලා.” (මතෙව් 20:28; 22:39) ඒක මොන තරම් පුදුමාකාර දෙයක්ද! යේසුස් තමන්ට වඩා අනිත් අයට ගොඩක් ආදරෙයි කියලා පෙන්නුවේ අන්න එහෙමයි.

 යේසුස් මිනිසුන්ට ආදරෙයි. හැබැයි ඔහු විශේෂයෙන්ම ආදරේ කරන්නේ ඔහුගේ ඉගැන්වීම් පිළිපදින අයට. තමන්ගේ ගෝලයන්ව යේසුස් සැලකුවේ එයාගේ කිට්ටු යාළුවන් විදිහට. මොකද එයාලා යේසුස් කියපු දේවල් පිළිපැද්දා. දුෂ්කරතා එද්දී අත්හරින්නේ නැතුව ඔහු එක්කම හිටියා. (ලූක් 22:28; යොහන් 15:14, 15) ඉතින් ඒ වගේ යාළුවන් වෙනුවෙන් ජීවිතය පුදන්න යේසුස්ට දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නැහැ.

 මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීනුත් යේසුස් උගන්නපු දේවල් හිතට ගත්තා. ඒවා පිළිපැද්දා. ඒ නිසා එයාලා අනිත් අය වෙනුවෙන් ජීවිතය දෙන්න වුණත් ලෑස්ති පිට හිටියා. (1 යොහන් 3:16) ඇත්තටම කිව්වොත් තමන් ගැනවත් හිතන්නේ නැතුව යේසුස් අනිත් අයට පෙන්නපු ඒ ආදරේම තමයි සැබෑ ක්‍රිස්තියානීන්වත් අඳුරගන්න තියෙන ප්‍රධාන ලකුණ!—යොහන් 13:34, 35.

යොහන් 15:13 අවට පද

 යේසුස් මිය යන්න පැය කීපයකට කලින් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් 11දෙනාට දුන්න උපදෙසුත් එයාලා එක්ක කරපු අන්තිම යාච්ඤාවත් යොහන් 13 සිට 17 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙනවා. 15වෙනි පරිච්ඡේදයේ යේසුස් උදාහරණයක් කිව්වා. යේසුස්ට ඕනෙ වුණේ කෙනෙක්ට ඔහුගේ ගෝලයෙක් කියලා ඔප්පු කරන්න ඕනෙ නම් ඒ කෙනා දිගටම ඔහු එක්ක එක්සත්ව බැඳිලා ඉන්න ඕනෙ කියලා පෙන්නන්නයි. ඒ උදාහරණයේ යේසුස් ඔහුගේ ගෝලයන්ව සමාන කෙරුවේ මිදිවලින් බර වෙලා තියෙන මිදි අතුවලට. ඔහු එයාලට උනන්දු කළා “දිගටම බොහෝ පල දරන්න” කියලා. (යොහන් 15:1-5, 8) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ජීවිතය වුණත් දෙන්න තරම් ආදරයක් අනිත් අයට පෙන්නන එක. ඒකට යේසුස් දේශනා කරපු “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” මිනිසුන්ට දේශනා කරන එකත් ඇතුළත්.—ලූක් 4:43; යොහන් 15:10, 17.

 යොහන් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවකට. දෙවියන් ඒ ආණ්ඩුව මාර්ගෙන් මේ පොළොව පාලනය කරලා පොළොව පුරාම ඔහුගේ කැමැත්ත ඉටු කරන්න යනවා. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) වැඩි විස්තර දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.