Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

මාක් 1:15 - “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”

මාක් 1:15 - “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”

 “නියමිත කාලය දැන් සම්පූර්ණයි. දෙවිගේ රාජ්‍යය ළඟයි. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති බව පෙන්වන්න.”—මාක් 1:15, ‘නව ලොව පරිවර්තනය.’

 “කාලය සම්පූර්ණ විය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්න.”—මාක් 1:15, ‘පැරණි අනුවාදය.’

මාක් 1:15 අදහස

 දෙවියන්ගේ රාජ්‍යය a “සමීපයි” එහෙමත් නැත්නම් “ළඟයි” කියලා යේසුස් ක්‍රිස්තුස් කිව්වේ දේවරාජ්‍යයේ රජ වෙන්න නියමිත තැනැත්තා වන ඔහු එයාලා එක්ක හිටිය නිසයි.

 ඒ වෙද්දිත් දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් තිබුණා කියලා යේසුස් කියපු දෙයින් අදහස් කළේ නැහැ. මොකද පස්සේ කාලෙක යේසුස් ගෝලයන්ට කියපු දේවලින් පැහැදිලි වුණා දේවරාජ්‍යයේ පාලනය පටන්ගන්නේ ඉදිරියේදියි කියලා. (ක්‍රියා 1:6, 7) ඒ කොහොමවුණත් රජ වෙන්න නියමිත තැනැත්තා වන ගැලවුම්කරු පැමිණෙනවා කියලා බයිබලයේ කියලා තිබුණු අවුරුද්දේදීම යේසුස් ගැලවුම්කරු විදිහට පත් වුණා. b ඒ නිසා “නියමිත කාලය දැන් සම්පූර්ණයි” කියලා කියන්න යේසුස්ට පුළුවන් වුණා. ඔහු කියපු ඒ දෙයින් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රසිද්ධියේ දේශනා කරන්න ඔහුට නියමිත කාලය උදා වෙලා තිබුණා කියලත් පැහැදිලි වෙනවා.—ලූක් 4:16-21, 43.

 දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියෙන් ප්‍රයෝජන ගන්න නම් කෙනෙක් අනිවාර්යයෙන්ම පසුතැවෙන්න ඕන වුණා. ඒ කියන්නේ තමන් අතින් වුණු වැරදි ගැන අවංකවම දුක් වෙලා දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන එක අත්‍යවශ්‍ය වුණා. ඒ විදිහට පසුතැවුණු අය ඒකෙන් පෙන්නුවේ අනාගතයේදී පැමිණෙන්න නියමිත දේවරාජ්‍යය ගැන එයාලට ලොකු විශ්වාසයක් තිබුණා කියලයි.

මාක් 1:15 අවට පද

 අවට පද බලද්දී පැහැදිලි වෙනවා යේසුස් ඒ දේ කිව්වේ ගලීලයේදී තමන්ගේ දේවසේවය පටන්ගත්ත අවස්ථාවේදී කියලා. ඒ සිද්ධිය ගැනම සඳහන් වෙන මතෙව් 4:17 කියනවා යේසුස් “එතැන් පටන්” දේවරාජ්‍යය ගැන දේශනා කරන්න පටන්ගත්තා කියලා. යේසුස් දේශනා කරපු ප්‍රධාන පණිවිඩය වුණේ දේවරාජ්‍යයයි. සුවිශේෂ පොත් හතරේ c සිය වාරයකටත් වඩා දේවරාජ්‍යය ගැන සඳහන් වෙනවා. ඒ අතරින් වැඩි හරියකම සඳහන් වෙන්නේ යේසුස් දේවරාජ්‍යය ගැන සඳහන් කරපු අවස්ථාවනුයි. වෙන කිසිම දේකට වඩා වැඩියෙන් යේසුස් දේවරාජ්‍යය ගැන කතා කළා කියලා බයිබලයේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා.

මාක් 1වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන්, යොමු දැක්වීම්, පින්තූර සහ සිතියම් බලන්න.

a දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ දෙවියන් පොළොව සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ ඉටු කරන්න ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. (දානියෙල් 2:44; මතෙව් 6:10) වැඩි විස්තර දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

b දෙවියන්ගේ විශේෂ නියෝජිතයා වුණු ගැලවුම්කරුගේ කාර්යයට රජකම් කරන එකත් ඇතුළත් වෙන නිසා තමන්ට හිමි කාර්යය ඉටු කරන්න නම් යේසුස් අනිවාර්යයෙන්ම රජෙක් හැටියට පත් වෙන්න අවශ්‍ය වුණා. යේසුස් ගැලවුම්කරු කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් අනාවැකි ගැන දැනගන්න “ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?” කියන ලිපිය බලන්න.

c හුඟක් අය අලුත් ගිවිසුම විදිහට හඳුන්වන ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ මුල් පොත් හතර තමයි සුවිශේෂ පොත් විදිහට හඳුන්වන්නේ. ඒ පොත්වල යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන තොරතුරු සඳහන් වෙනවා.