Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

මතෙව් 11:28-30 - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”

මතෙව් 11:28-30 - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”

 “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.”—මතෙව් 11:28-30, ‘නව ලොව පරිවර්තනය.’

 “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.”—මතෙව් 11:28-30, ‘පැරණි අනුවාදය.’

මතෙව් 11:28-30 අදහස

 යේසුස් ඔහුට ඇහුම්කන් දීපු අයට ආරාධනා කළා ඔහු වෙතට එන්න කියලා. ඔහු උගන්වන දේවල් පිළිපැද්දොත් සහනය, සැනසීම අද්දකින්න පුළුවන් වෙනවා කියලත් ඔහු කිව්වා.

 “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න.” යේසුස් මේ ආරාධනය කළේ “බරින් පීඩිත” වෙලා හිටපු අයට. මොකද ඒ කාලේ හිටපු ආගමික නායකයන් මිනිස්සු හදාගත්ත නීතිරීතිවලින් සෙනඟව පාගගෙන හිටියේ. (මතෙව් 23:4; මාක් 7:7) ඒ විතරක් නෙමෙයි එදා වේල හොයාගන්න මිනිස්සුන්ට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වුණා. ඒ නිසා එයාලා හිටියේ ලොකු පීඩනයකින්.

 “ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.” යේසුස් කරපු මේ කාරුණික ආරාධනාව පිළිගන්න අයට සහනයක් ලබා දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා. යේසුස් ඒ සහනය ලබාගන්න මිනිස්සුන්ට උදව් කළේ කොහොමද? දෙවියන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න උදව් කරලයි. (මතෙව් 7:24, 25) යේසුස් උගන්වපු දේවල් මිනිස්සුන්ට උදව් වුණා බොරු ආගමික ඉගැන්වීම්වලට තවත් වහල් වෙලා ඉන්නේ නැතුව ඒවාවලින් නිදහස් වෙන්න. (යොහන් 8:31, 32) යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න මිනිස්සුන්ට මහන්සි වෙන්න සිද්ධ වුණත් ඒවා පිළිපැද්දොත් ඊටත් වඩා සහනයක් අද්දකින්න එයාලට පුළුවන් වෙනවා.

 “මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.” ඒ කාලේ මිනිස්සු ලොකු බරක් ගෙනියන්න වියගස් පාවිච්චි කළා. වියගහ කියන්නේ බරක් කර ගහන් යන්න මිනිස්සු හදපු ලීයකට. “වියගහ” කියද්දී කෙනෙක්ගේ අධිකාරියට, මඟ පෙන්වීම්වලට යටත් වෙනවා කියන එක අදහස් වෙනවා. (ලෙවී කතාව 26:13; යෙසායා 14:25; යෙරෙමියා 28:4) “මගෙන් ඉගෙනගන්න” කියද්දී මගේ ගෝලයෙක් වෙන්න නැත්නම් ශිෂ්‍යයෙක් වෙන්න කියන අදහසත් දෙනවා. ඉතින් යේසුස්ට සවන් දුන්න අයට යේසුස් දිරිගැන්නුවේ ඔහුගේ මඟ පෙන්වීම් පිළිගන්නත් ඔහුව ආදර්ශයට ගන්නත් කියලයි.—යොහන් 13:13-15; 1 පේතෘස් 2:21.

 “ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.” මිනිස්සු විඳපු පීඩා, දුක් කරදරවලට ක්ෂණික සහනයක් ලබා දෙනවා කියලා යේසුස් කිව්වේ නැහැ. ඒ වෙනුවට සහනයක්, බලාපොරොත්තුවක් ලබාගන්න උදව් කරනවා කියලයි යේසුස් කිව්වේ. (මතෙව් 6:25-32; 10:29-31) යේසුස් උගන්නපු දේවල් පිළි අරගෙන ඔහුගේ ගෝලයන් වුණ අය අද්දැක්කේ මොනවාද? දෙවියන්ට සේවය කරන එක බරක් නෙමෙයි කියලත් සැබෑ සතුට ලැබෙන්නේ ඔහුට නමස්කාර කරන එකෙන් කියලත් එයාලා අද්දැක්කා.—1 යොහන් 5:3.

 “මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.” යේසුස් එදා හිටපු සැරපරුෂ ආගමික නායකයන් වගේ නෙමෙයි. (යොහන් 7:47-49) ඔහු හරිම නිහතමානී, කාරුණික, මෘදු කෙනෙක්. ඕන කෙනෙක්ට ඔහු ගාවට ගිහිල්ලා කතා කරන්න පුළුවන් වුණා. ඔහු සාධාරණ කෙනෙක්. ඒ නිසා කරන්න බැරි දේවල් ගෝලයන්ගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. (මතෙව් 7:12; මාක් 6:34; ලූක් 9:11) යේසුස් දෙවියන්ගේ දයාව නිසා මිනිසුන්ට ලැබෙන ප්‍රයෝජන ගැනත් දෙවියන්ට සේවය කරද්දී නිදොස් හෘදය සාක්ෂියක් තියෙන එකෙන් ලැබෙන සහනය ගැනත් පෙන්නලා දුන්නා. (මතෙව් 5:23, 24; 6:14) යේසුස්ට තිබුණ ඒ ගුණාංග නිසා මිනිස්සු ඔහු ළඟට ඇදිලා ආවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ වියගහ පිළි අරන් කැමැත්තෙන්ම ඔහුගේ ගෝලයන් වුණා.

මතෙව් 11:28-30 අවට පද

 යේසුස් මතෙව් 11:28-30 තියෙන දේ කිව්වේ ක්‍රි.ව. 31 ගලීල ප්‍රදේශයේ සේවය කරද්දී. සුවිශේෂ පොත් ලියපු අයගෙන් මතෙව් විතරයි යේසුස් කරපු මේ ආරාධනාව වාර්තා කරලා තියෙන්නේ. මතෙව් කියන්නේ කලින් බදු එකතු කරන්නෙක් සහ යුදෙව් ජාතිකයෙක් වුණ එක ඒකට හේතුව වෙන්නත් පුළුවන්. එයා හොඳටම දැනගෙන හිටියා රෝම ආණ්ඩුවෙන් කොච්චර බදු බරක් මිනිස්සු පිට පටවලා තියෙනවාද කියලා. ඒ වගේම යුදෙව් ආගමික නායකයන් කොච්චර දුෂිතයිද කියලත් ඒ නිසා ආගම මිනිස්සුන්ට කොච්චර බරක් වෙලා තිබුණාද කියලත් එයා දැනන් හිටියා. ඉතින් යේසුස් ඔහුගේ පියා වන යෙහෝවා a දෙවියන්ගෙන් ලැබුණ අධිකාරිය පාවිච්චි කරලා පීඩනයට පත් වෙලා හිටපු නිහතමානී මිනිස්සුන්ට මා වෙතට එන්න කියලා යේසුස් කරපු ආරාධනාව එයාටත් දිරිගැන්වීමක් වෙන්න ඇති.—මතෙව් 11:25-27.

 පොරොන්දු වුණ ගැලවුම්කරු සහ දේවරාජ්‍යයේ රජ වන යේසුස්ට කොච්චර ලස්සන, හිත් ඇදගන්න ගුණාංග තියෙනවාද කියලා මතෙව් පොත කියවද්දී අපිට දැනගන්න පුළුවන්.—මතෙව් 1:20-23; යෙසායා 11:1-5.

 මතෙව් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.