Skip to content

හොඳ තීරණ ගන්න මට පුළුවන් කොහොමද?

හොඳ තීරණ ගන්න මට පුළුවන් කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 හොඳ තීරණ ගන්න උදව් වෙන හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලේ. “ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න” ඒකේ තියෙන උපදෙස් අපිට උදව් වෙනවා. (හිතෝපදේශ 4:5) සමහර කාරණා ගැන අපි ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා බයිබලේ කෙළින්ම කියලා තියෙනවා. හැබැයි තවත් සමහර කාරණාවලදී හොඳ තීරණයක් ගන්න උදව් වෙන උපදෙස්, මඟ පෙන්වීම් ඒකේ තියෙනවා.

මේ ලිපියෙන්

 හොඳ තීරණයක් ගන්න උදව් වෙන දේවල්

  •   හදිස්සි වෙන්න එපා. බයිබලේ මෙහෙම කියනවා. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) ඔයා තීරණයක් ගන්න හදිස්සි වුණොත් සමහර වැදගත් පැති ගැන හිතලා බලන්න ඔයාට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා කාලේ අරන් ඔයා ගන්න ඕනෙ මොන තීරණයද කියලා හොඳට හිතලා බලන්න.—1 තෙසලෝනික 5:21.

  •   හැඟීම්වලට වහල් වෙන්න එපා. හැම වෙලේම අපි අපේ හිත කියන විදිහට වැඩ කරන එක මෝඩ දෙයක් කියලා බයිබලේ අපිට අනතුරු අඟවනවා. (හිතෝපදේශ 28:26; යෙරෙමියා 17:9) උදාහරණෙකට අපි කේන්තියෙන්, දුකෙන්, මහන්සියෙන් ඉන්න වෙලාවට එහෙම නැත්නම් අධෛර්යය වෙලා හරි කලබලෙන් හරි ඉන්න වෙලාවට තීරණ ගත්තොත් ඒ තීරණ වරදින්න තියෙන ඉඩකඩ වැඩියි.—හිතෝපදේශ 24:10; 29:22.

  •   ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. (යාකොබ් 1:5) ඒ වගේ යාච්ඤා අහන්න දෙවියන් ගොඩක් ආසයි. ආදරණීය තාත්තා කෙනෙක් විදිහට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ අපි අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙනවා දකින්න. ඒ නිසා අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් ඔහු අනිවාර්යයෙන්ම අපේ යාච්ඤාවට ඇහුම්කන් දෙනවා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.” a (හිතෝපදේශ 2:6) දෙවියන් ඔහුගේ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් ලබා දෙන්න පාවිච්චි කරන ප්‍රධානම විදිහ තමයි බයිබලය.—2 තිමෝති 3:16, 17.

  •   හැම තොරතුරක් ගැනම හොයලා බලන්න. හරි තීරණයක් ගන්න නම් අපිට හරි තොරතුරු තියෙන්න ඕනේ. “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 1:5) ඒත් විශ්වාසවන්ත තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද?

     මුලින්ම බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. අපිව නිර්මාණය කළේ දෙවියන්. ඒ නිසා අපි කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා ඔහු දන්නවා. ඔහුගේ වචනය වන බයිබලේ තියෙන මඟ පෙන්වීම්, උපදෙස් පිළිපැද්දොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. (ගීතාවලිය 25:12) සමහර කාරණා ගැන අපි ගන්න ඕනෙ තීරණය නීතියක් විදිහට බයිබලේ කෙළින්ම දීලා තියෙනවා. (යෙසායා 48:17, 18) හැබැයි තවත් හුඟක් කාරණා ගැන බයිබලේ කෙළින්ම නීතියක් දීලා නැහැ. ඒ වෙනුවට හරි තීරණයක් ගන්න උදව් වෙන මඟ පෙන්වීම් නැත්තම් ප්‍රතිපත්ති ඒකේ දීලා තියෙනවා. ඒවා සලකලා බැලුවාට පස්සේ තමන්ට ගැළපෙන විදිහට තීරණ ගන්න එක් එක් කෙනාට නිදහස තියෙනවා. අපේ වෙබ් අඩවියේ තියෙන ලිපි, ප්‍රකාශන අධ්‍යයනය කළොත් ඔයා හොයන කාරණය ගැන බයිබලේ තියෙන තොරතුරු දැනගන්න ඔයාට පුළුවන්. b

     සමහර තීරණ ගන්න කලින් තවත් විශ්වාසවන්ත මූලාශ්‍රවලින් තොරතුරු හොයලා බලන්නත් ඔයාට සිද්ධ වෙයි. හිතන්න, ඔයා ටිකක් ලොකු ගාණක් දීලා මොකක් හරි භාණ්ඩයක් ගන්න යනවා කියලා. ඒක ගන්න කලින් ඒ භාණ්ඩය ගැන, ඒක නිෂ්පාදනය කරපු ආයතනය ගැන හොයලා බලන එක හොඳ දෙයක්. ඒ වගේම ඒ භාණ්ඩයේ තිබුණ පලුද්දක් නිසා එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා ඒක ආපහු බාර දෙන්න ඔයාට සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් තියෙන කොන්දේසි ගැනත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයා මේ ගන්න යන භාණ්ඩයෙන් ඔයාට ඕනෙ දේ ඇත්තටම වෙනවාද කියලා හොයලා බලන එකත් හරිම වැදගත්.

     “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 15:22) හිතන්න, ඔයාට මොකක් හරි ප්‍රතිකාරයක් ගැන තීරණයක් ගන්න වෙනවා කියලා. ඔයා අනිවාර්යයෙන්ම ඊට කලින් ඒ ගැන දොස්තර කෙනෙක්ගෙන් අහලා බලනවා නේද? (මතෙව් 9:12) ඒකෙන් තේරෙනවා තීරණයක් ගන්න කලින් විශ්වාසවන්ත අයගෙන් ඒ ගැන අහලා බලන එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. සමහර අවස්ථාවලදී ඔයා මුහුණ දෙන දේටම මුහුණ දීපු අය එක්ක කතා කරන එකත් හොඳ තීරණයක් ගන්න ඔයාට උදව් වෙයි. හැබැයි මේ දේ මතක තියාගන්න. කාගෙන් මොන උපදෙස ගත්තත් තීරණේ ගන්න ඕනෙ ඔයායි. මොකද ලැබෙන ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙන්නේ ඒ අයට නෙවෙයි, ඔයාටමයි.—ගලාති 6:4, 5.

  •   තොරතුරු හොඳට කිරලා මැනලා බලන්න. ඔයා තොරතුරු එකතු කරගත්තාට පස්සේ ඔයාට ගන්න පුළුවන් මොන වගේ තීරණද කියලා ලැයිස්තුවක් හදන්න. ඒ හැම තීරණයකම වාසි, අවාසි ලියන්න. ඊටපස්සේ ඔයා ඒ තීරණ ගත්තොත් මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ දේවල්වලටද කියලත් අවංකව හිතලා බලන්න. (ද්විතීය කතාව 32:29) උදාහරණෙකට ඒ එක් එක් තීරණය ඔයාට, ඔයාගේ පවුලේ අයට සහ අනිත් අයට කොහොම බලපායිද කියලා හිතලා බලන්න ඔයාට පුළුවන්. (හිතෝපදේශ 22:3; රෝම 14:19) ඒ දේවල් ගැන වගේම බයිබල් ප්‍රතිපත්ති ගැනත් ඔයා හොඳට හිතලා බලනවා නම් ඥානවන්ත, හැමෝටම හොඳක් වෙන තීරණයක් ගන්න ඔයාට පුළුවන් වෙයි.

  •   තීරණය ගන්න. සමහර වෙලාවට අපි ගන්න යන තීරණය ඇත්තටම හොඳම එකද කියලා අපේ හිතට බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ තීරණය ගන්න එක කල් දාන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ලැබෙන්න තිබුණ වටිනා අවස්ථාවක් අපිට මඟ ඇරෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් හිතපු නැති විදිහේ නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්නත් ඉඩ තියෙනවා. තීරණයක් ගන්න කල් දාන එකත් හරියට මෝඩ තීරණයක් ගත්තා වගේම තමයි. ඒ නිසයි බයිබලේ මෙහෙම කියලා තියෙන්නේ. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.” (දේශනාකාරයා 11:4) ඒකෙන් පැහැදිලි වෙනවා තීරණයක් ගන්න කල් දාන එකෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ කියලා.

 සමහර වෙලාවට අපි කොච්චර හොඳට හිතලා බලලා තීරණයක් ගත්තත් ඒක සීයට සීයක් හරි යන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හිතපු නැති දේවල්වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. (දේශනාකාරයා 9:11) සමහර වෙලාවට ඒ තීරණය සාර්ථක කරගන්න අපේ පැත්තෙන් කැප කිරීම් කරන්නත් වෙයි. ඒ නිසා තීරණයක් ගන්න කලින් හොඳට තොරතුරු හොයලා බලන්න. එතකොට සාර්ථක වෙන්න වැඩි ඉඩකඩක් තියෙන තීරණය ගන්න ඔයාට පුළුවන් වෙයි.

 ගත්ත තීරණයක් වෙනස් කරන්න වුණොත් මොකද කරන්නේ?

 අපි ගන්න හැම තීරණයක්ම අවසාන තීරණය නොවෙන්න පුළුවන්. මොකද සමහරවිට තත්වයන් වෙනස් වෙනවා. අනිත් අතට ගත්ත තීරණය නිසා සමහරවිට හිතපු නැති විදිහේ දේවලටත් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවක ගත්ත තීරණය ගැන ආයෙත් හිතලා බලලා ඒ තීරණය වෙනස් කරන්න අපිට සිද්ධ වෙයි.

 ඒත් කවදාවත් වෙනස් කරන්න බැරි තීරණත් තියෙනවා. (ගීතාවලිය 15:4) විවාහය ඒකට හොඳ උදාහරණයක්. යුවළක් විවාහ වෙද්දී දෙන පොරොන්දුව ඒ විදිහටම ජීවිත කාලේ පුරාම රකියි කියලා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. c (මලාකි 2:16; මතෙව් 19:6) ඒ නිසා ප්‍රශ්න එද්දී විවාහක යුවළක් කරන්න ඕනෙ දික්කසාද වෙන එක නෙවෙයි, ඒ වෙනුවට ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවා විසඳගන්න උත්සාහ කරන එකයි.

 ගත්ත වැරදි තීරණයක් වෙනස් කරන්න බැරි නම් . . .

 අපි ඕනෙම කෙනෙක් වැරදි තීරණ ගන්න පුළුවන්. (යාකොබ් 3:2) ඒ වගේ වෙලාවට ලොකු දුකක්, කලකිරීමක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. (ගීතාවලිය 69:5) එහෙම හිතන එකෙන් ප්‍රයෝජනයකුත් තියෙනවා. මොකද රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතුව ඉන්න ඒක අපිට උදව් වෙනවා. (හිතෝපදේශ 14:9) හැබැයි ඕනාවට වඩා දුක් වෙන්න ගියොත් නම් ඒකෙන් අපි අධෛර්යය වෙන්න පුළුවන්, හොඳට හිතලා බලලා දේවල් කරන්නත් බැරි වෙන්න පුළුවන්. (2 කොරින්ති 2:7) d බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය” කියලා. (ගීතාවලිය 103:8-13) ඒ නිසා ගත්ත වැරදි තීරණය ගැන ඕනාවට වඩා දුක් වෙන්න එපා. ඒ වෙනුවට වැරදුණු තැනින් පාඩමක් ඉගෙනගන්න. ඒ වගේම වෙච්ච වරද නිසා ලැබුණ නරක ප්‍රතිඵල අඩු කරගන්න ඔයාට කරන්න පුළුවන් උපරිම දේ කරන්න.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 83:18.

b ඔයා හොයන විෂයට අදාළ වචනයක් නැත්නම් වාක්‍ය කාණ්ඩයක් jw.org වෙබ් අඩවියේ ‘සොයන්න’ කියන තැන ටයිප් කළොත් ඒකට අදාළ තොරතුරු හොයාගන්න ඔයාට පුළුවන්. හුඟක් විෂයන් ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒ වගේම කැමති වචන පාවිච්චි කරලා ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ තියෙන තොරතුරු හොයාගන්න බයිබලේ තියෙන “සූචිය” ඔයාට උදව් වෙයි.

c විවාහක යුවළක් එයාලා ජීවත් වෙන තාක් කල් එකිනෙකාට විශ්වාසවන්තව ඉඳියි කියලා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන්න කෙනෙක්ට අවසර තියෙන්නේ දෙන්නාගෙන් කෙනෙක් අනාචාරයේ යෙදුණොත් විතරයි. (මතෙව් 19:9) ඔයාගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාර්ථක විසඳුම් බයිබලෙන් හොයාගන්න ඔයාට පුළුවන්.

d වැඩි විස්තර දැනගන්න “මගේ හිත වධ දෙනවා නම් බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?” කියන ලිපිය බලන්න.