Skip to content

දෙවියන්ට නම් කීයක් තියෙනවද?

දෙවියන්ට නම් කීයක් තියෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන්ට තියෙන්නේ එක පෞද්ගලික නමක් විතරයි. හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම ලියලා තියෙන්නේ יהוה විදිහටයි. ඒක සිංහලෙන් උච්චාරණය කරන්නේ “යෙහෝවා” කියලා. a යෙසායා කියන අනාගතවක්තෘවරයා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මාගේ නාමය යෙහෝවාය.” (යෙසායා 42:8) ඒ නම බයිබලයේ පැරණි අත්පිටපත්වල 7,000 වාරයක් විතර සඳහන් වෙලා තියෙනවා. දෙවියන්ව හඳුන්වලා තියෙන වෙන පදවි නමක්වත් වෙන කිසිම කෙනෙකුගේ නමක්වත් ඒ තරම් වාර ගණනක් බයිබලයේ සඳහන් කරලා නැහැ. b

යෙහෝවා දෙවියන්ට තවත් නම් තියෙනවද?

 බයිබලයේ දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ එක පෞද්ගලික නමකින් විතරයි. හැබැයි සමහර අවස්ථාවලදී විවිධ පදවි නම්වලිනුත් විවිධ යෙදුම්වලිනුත් ඔහුව හඳුන්වලා තියෙනවා. පහත සඳහන් වෙන්නේ ඒවායින් කිහිපයක්. ඒ හැම එකකින්ම යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වයේ විවිධ ගතිලක්ෂණ පැහැදිලි වෙන විදිහ බලන්න.

පදවි නම

බයිබල් පද

තේරුම

අල්ලාහ්

(නැහැ)

අරාබි භාෂාවෙන් “අල්ලාහ්” කියන්නේ “දෙවියන්” කියන අදහස දෙන පදවි නමක් මිසක් දෙවියන්ගේ පෞද්ගලික නම නෙවෙයි. අරාබි භාෂාව ඇතුළු තවත් භාෂාවලින් බයිබලය පරිවර්තනය කරද්දී “අල්ලාහ්” කියන යෙදුම යොදාගෙන තියෙන්නේ “දෙවියන්” කියන අදහස දෙන්නයි.

සියලු බලැති

උත්පත්ති 17:1

දෙවියන්ට අසීමිත බලයක් තියෙනවා. “සියලු බලැති දෙවියන්” කියන අර්ථය දෙන “එල්ෂඩ්ඩයි” කියන හෙබ්‍රෙව් යෙදුම බයිබලයේ හත්වතාවක් සඳහන් වෙනවා.

ඇල්ෆා හා ඔමේගා

එළිදරව් 1:8; 21:6; 22:13

“පළමුවෙනියා සහ අන්තිමයා,” “පටන්ගැන්ම සහ අවසානය.” ඒ යෙදුම්වලින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවියන්ට කලින්වත් ඔහුට පසුවවත් සියලු බලැති දෙවි කෙනෙක් නැහැ කියන එකයි. (යෙසායා 43:10) ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක් හෝඩියේ පළවෙනි සහ අන්තිම අකුරුයි.

පුරාතන තැනැත්තා

දානියෙල් 7:9, 13, 22

ඔහුට පටන්ගැන්මක් නැහැ. කිසිම කෙනෙක්වත් කිසිම දෙයක්වත් පවතින්න කලින් ඉඳන්ම ඔහු පවතිනවා.—ගීතාවලිය 90:2.

සියල්ලේ නිර්මාතෘ

1 පේතෘස් 4:19

හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහුයි.

පියාණන්

මතෙව් 6:9

ජීවිතය දුන්නේ ඔහුයි.

දෙවියන්

උත්පත්ති 1:1

නමස්කාරය සඳහා යොදාගන්න දෙයක්. ශක්තිමත් කෙනෙක්. “එලෝහිම්” කියන හෙබ්‍රෙව් බහු වචනයෙන් යෙහෝවා දෙවියන්ගේ තේජස, බලමහිමය සහ ශ්‍රේෂ්ඨත්වය පෙන්වනවා.

දෙවිවරුන්ගෙත් දෙවියන්

ද්විතීය කතාව 10:17

සමහරු නමස්කාර කරන “කිසි කමකට නැති” දෙවිවරුන්ට වඩා උසස්ම බලයක් තියෙන දෙවියන් ඔහුයි.—යෙසායා 2:8.

උදාර උපදේශකයාණන්

යෙසායා 30:20, 21

ප්‍රයෝජනවත් ඉගැන්වීම් සහ මඟ පෙන්වීම් දෙන්නේ ඔහුයි.—යෙසායා 48:17, 18.

ශ්‍රේෂ්ඨ සැදුම්කරු

ගීතාවලිය 149:2

හැම දෙයක්ම හැදුවේ ඔහුයි.—එළිදරව් 4:11.

ප්‍රීතිමත් දෙවියන්

1 තිමෝති 1:11

සතුටින්, ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්.—ගීතාවලිය 104:31.

යාච්ඤා අසන තැනැත්තාණන්

ගීතාවලිය 65:2

විශ්වාසයක් ඇතුව කරන හැම යාච්ඤාවකටම ඔහු සවන් දෙනවා.

මම යම්සේ සිටිම්ද එසේම සිටිමි

නික්මයාම 3:14, ‘පැරණි අනුවාදය’

ඔහුගේ අරමුණ ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ යෙදුම “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. (‘නව ලොව පරිවර්තනය’) නික්මයාම 3:15 සඳහන් කරලා තියෙන යෙහෝවා කියන දෙවියන්ගේ නමේ අදහස තේරුම්ගන්න ඒ විස්තරය උදව් වෙනවා.

ස්වයම් ගෞරව රක්ෂක

නික්මයාම 34:14, ‘පැරණි අනුවාදය’

තමන්ට ලැබෙන්න ඕන නමස්කාරය වෙන කෙනෙකුට දෙනවට ඔහු කැමති නැහැ. ඒ යෙදුම “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි” කියලත් පරිවර්තනය කරලා තියෙනවා.—‘නව ලොව පරිවර්තනය.’

සදාකාල රජ්ජුරුවන්

එළිදරව් 15:3

ඔහුගේ පාලනයට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.

ස්වාමීන්

ගීතාවලිය 135:5

අයිතිකරු ඔහුයි; හෙබ්‍රෙව් භාෂාවෙන් “ඇඩොන්” සහ “ඇඩොනිම්.”

සේනාවල අධිපති, සේනාවල ස්වාමීන්

යෙසායා 1:9; රෝම 9:29, ‘පැරණි අනුවාදය’

දේවදූත සේනාවලට අණ දෙන්නේ ඔහුයි. “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි” විදිහටත් පරිවර්තනය කරලා තියෙනවා.—රෝම 9:29, ‘නව ලොව පරිවර්තනය.’

මහෝත්තමයාණන්

ගීතාවලිය 47:2

උසස්ම තනතුර තියෙන්නේ ඔහුටයි.

අතිශුද්ධ තැනැත්තාණන්

හිතෝපදේශ 9:10

වෙන කිසිම කෙනෙකුට වඩා පරිශුද්ධයි. (නිර්මලයි)

කුඹල්කරු

යෙසායා 64:8

මැටි පිඩට ඕනෙම දෙයක් කරන්න කුඹල්කරුට අයිතිය තියෙනවා වගේ ඕනෙම කෙනෙක් ගැන ඕනෙම ජාතියක් ගැන ඕනෙම තීරණයක් ගන්න අයිතිය තියෙන්නේ ඔහුටයි.—රෝම 9:20, 21.

මිදුම්කරු

යෙසායා 41:14; ‘පැරණි අනුවාදය’

යේසුස්ගේ ජීවිත පූජාව ලබා දීලා මිනිස් වර්ගයාවම පාපයෙන් හා මරණයෙන් මුදවාගත්තේ ඔහුයි.—යොහන් 3:16.

පර්වතය

ගීතාවලිය 18:2, 46

හොඳම ආරක්ෂාව සපයන්නෙත් ගැලවීම ලබා දෙන්නෙත් ඔහුයි.

ගැලවුම්කරු

යෙසායා 45:21

අනතුරුවලින් හා විපත්වලින් ගලවන්නේ ඔහුයි.

එඬේරා

ගීතාවලිය 23:1

ඔහුට නමස්කාර කරන අයව රැකබලා ගන්නවා.

විශ්වයේ පාලකයාණන්

උත්පත්ති 15:2

උසස්ම අධිකාරිය තියෙන්නේ ඔහුට. හෙබ්‍රෙව් භාෂාවෙන් “ඇඩොනයි.”

අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්

දානියෙල් 7:18, 27

පාලනය කරන්න අයිතිය තියෙන එකම කෙනා.

හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් ස්ථානවල නම්

 බයිබලයේ සඳහන් සමහර ස්ථාන නම් කරලා තියෙන්නෙත් දෙවියන්ගේ නම ඇතුළත් කරලයි. ඒත් ඒවා දෙවියන්ව හඳුන්වන නම් නෙවෙයි.

ස්ථානයේ නම

බයිබල් පද

තේරුම

යෙහෝවා-යයිරෙ

උත්පත්ති 22:13, 14

“යෙහෝවා දෙවි සපයයි.”

යෙහෝවා-නිස්සයි

නික්මයාම 17:15

“මට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවිය.” (‘නව ලොව පරිවර්තනය’) ආරක්ෂාව සහ උදව් පතා යෙහෝවා දෙවියන්ගේ සෙනඟ රැස් වෙන්නේ ඔහු වටායි.—නික්මයාම 17:13-16.

යෙහෝවා-ෂාලොම්

විනිශ්චයකරුවෝ 6:23, 24

යෙහෝවා දෙවි සමාදානයයි

යෙහෝවා-ෂම්මාහ්

එසකියෙල් 48:35, ‘නව ලොව පරිවර්තනය,’ පාදසටහන

“යෙහෝවා දෙවි එහි වාසය කරයි.”

දෙවියන්ගේ නම දැනගෙන ඒක පාවිච්චි කරන්න තියෙන හේතු

  •   දෙවියන්, යෙහෝවා කියන ඔහුගේ නම සලකන්නේ හුඟක් වැදගත් දෙයක් විදිහට. ඒ නිසයි ඔහු බයිබලයේ ස්ථාන දහස් ගණනක ඔහුගේ නම සඳහන් කරලා තියෙන්නේ.—මලාකි 1:11.

  •   දෙවියන්ගේ නමේ වැදගත්කම ගැන ඔහුගේ පුතා වන යේසුස් කාවැද්දුවා. එක අවස්ථාවකදී ඔහු මෙහෙම යාච්ඤා කළා. “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”—මතෙව් 6:9; යොහන් 17:6.

  •   දෙවියන්ගේ මිතුරෙක් වෙන්න කැමති අය මුලින්ම කරන්න ඕන දේ තමයි දෙවියන්ගේ නම දැනගෙන ඒක පාවිච්චි කරන එක. (ගීතාවලිය 9:10; මලාකි 3:16) ඒ වගේ බැඳීමක් තියෙන අයට දෙවියන් දීලා තියෙන මේ පොරොන්දුව අද්දකින්න පුළුවන් වෙනවා. “ඔහු මට ප්‍රේම කරන නිසා මම ඔහුව ගලවාගන්නෙමි. ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.”—ගීතාවලිය 91:14.

  •   බයිබලයේ කියන්නේ මෙහෙමයි: “බොහෝ ‘දෙවිවරු’ සිටිති. එසේම ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ සිටින සමහරුන්ව ‘දෙවිවරුන්’ සහ ‘ස්වාමිවරුන්’ ලෙස සලකනු ලැබේ.” (1 කොරින්ති 8:5, 6) ඒත් එකම සැබෑ දෙවියන් යෙහෝවා කියලා බයිබලයේ පැහැදිලිව හඳුන්වලා තියෙනවා.—ගීතාවලිය 83:18.

a සමහර හෙබ්‍රෙව් විශාරදයන් දෙවියන්ගේ නම “යාහ්වේ” විදිහට සඳහන් කරනවාටයි වැඩියෙන්ම කැමති.

b දෙවියන්ගේ නම කෙටියෙන් “යාහ්” විදිහට මැසරටික් ලියවිලිවල 50 වතාවක් විතර සඳහන් වෙනවා. ඒවා අතරට “හලෙලූයා” කියන වචනයත් ඇතුළත්. ඒකෙන් අදහස් කළේ “දෙවිට ප්‍රශංසා කරන්න” කියලයි.—එළිදරව් 19:1, ‘නව ලොව පරිවර්තනය’ පාදසටහන.