Skip to content

හැම ආගමක්ම එක සමානද? හැම ආගමක්ම සැබෑ දෙවියන් වෙතට යොමු කරනවාද?

හැම ආගමක්ම එක සමානද? හැම ආගමක්ම සැබෑ දෙවියන් වෙතට යොමු කරනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 හැම ආගමක්ම එක සමාන නැහැ. දෙවියන්ව අසතුටු කරන ආගම් ගැන බයිබලයේ හුඟක් උදාහරණ තියෙනවා. ඒවා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

1. බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම

 බොරු දෙවිවරුන්ට නමස්කාර කරන එක බයිබලයේ පෙන්වන්නේ ‘කිසිම හරයක් නැති,’ “කිසිම වැඩකට නැති,” “නිෂ්ඵල” දෙයක් කියලයි. (යෙරෙමියා 10:3-5; 16:19, 20) යෙහෝවා a දෙවියන් පුරාණ ඊශ්‍රායෙල් සෙනඟට අණ කෙරුවේ “මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය” කියලයි. (නික්මයාම 20:3, 23; 23:24) ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරද්දී ‘යෙහෝවා දෙවියන් මහත් සේ උදහස් වුණා.’—ගණන් කතාව 25:3; ලෙවී කතාව 20:2; විනිශ්චයකරුවෝ 2:13, 14.

 ‘බොහෝ දෙවිවරුන්ට’ නමස්කාර කරන එක ගැන යෙහෝවා දෙවියන්ට අදත් තියෙන්නේ ඒ ආකල්පයමයි. (1 කොරින්ති 8:5, 6; ගලාති 4:8) ඔහුට නමස්කාර කරන්න කැමති අයට ඔහු අණ කරන්නේ බොරු ආගමික චාරිත්‍ර වාරිත්‍රවලින් ඈත් වෙන්න කියලයි. ඔහු කිව්වේ “ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න” කියලයි. (2 කොරින්ති 6:14-17) හැම ආගමක්ම එක සමාන නම්, මිනිසුන්ව සැබෑ දෙවියන් වෙතට යොමු කරනවා නම් දෙවියන් ඒ වගේ අණක් දුන්නේ ඇයි?

2. සැබෑ දෙවියන් අකමැති විදිහට නමස්කාර කිරීම

 බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගේ විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍ර යොදාගෙන ඊශ්‍රායෙල්වරු සැබෑ දෙවියන්ට නමස්කාර කෙරුවා. ඒත් සැබෑ ආගමට බොරුව මිශ්‍ර කරපු එක යෙහෝවා දෙවියන් හෙළාදැක්කා. (නික්මයාම 32:8; ද්විතීය කතාව 12:2-4) යේසුස්ගේ කාලයේ හිටපු ආගමික නායකයන් දෙවියන්ට නමස්කාර කරපු විදිහ යේසුස් හෙළාදැක්කා. ඔවුන් ආගම දහමට ළැදියි කියලා පිටතින් පෙන්නුවත් යේසුස් ඔවුන්ව හැඳින්නුවේ ‘යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති’ කුහකයන් කියලයි.—මතෙව් 23:23.

 අදත් මිනිසුන්ව යෙහෝවා දෙවියන් වෙතට යොමු කරන්නේ සත්‍යය මත පදනම් ආගමයි. සත්‍යය තියෙන්නේ බයිබලයේ. (යොහන් 4:24; 17:17; 2 තිමෝති 3:16, 17) බයිබලයට පටහැනි දේවල් උගන්වන ආගම් මිනිසුන්ව සැබෑ දෙවියන්ගෙන් ඈත් කරනවා. ත්‍රිත්වය, අමරණීය ආත්මය, සදහටම වධ විඳීම වගේ ඉගැන්වීම් බයිබලයේ තියෙනවා කියලයි හුඟක් අය හිතන්නේ. ඒත් ඇත්තටම ඒවා අරන් තියෙන්නේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගෙන්. ‘පලක් නැති’ නිෂ්ඵල ඒ ඉගැන්වීම් නිසා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහේ නමස්කාරයක් නොකර බොරු ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඈඳාගෙන තියෙනවා.—මාක් 7:7, 8.

 දෙවියන් ආගම්වල කුහකකම හෙළාදකිනවා. (තීතස් 1:16) මිනිසුන්ව දෙවියන් වෙතට ළං කරන්න නම් ආගම ඔවුන්ගේ ජීවිතයට හැමදාම බලපෑමක් කරන්න ඕනේ. චාරිත්‍ර වාරිත්‍ර කරන එකෙන් ඒක වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය. අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර මේ ලෝකයේ දේවලින් කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.” (යාකොබ් 1:26, 27) ජේම්ස් රජුගේ අනුවාදයේ කුහකකමින් තොර, පිරිසිදු නමස්කාරය හඳුන්වලා තියෙන්නේ “පවිත්‍ර ආගම” කියලයි.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.