Skip to content

ගිනිවිල කියන්නේ මොකක්ද? පාතාලය සහ ගෙහෙන්නාව කියන්නෙත් ගිනිවිලටමද?

ගිනිවිල කියන්නේ මොකක්ද? පාතාලය සහ ගෙහෙන්නාව කියන්නෙත් ගිනිවිලටමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ගිනිවිල කියන්නේ සංකේතයක්. ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ විනාශයයි. ගෙහෙන්නාව යොදාගන්නෙත් සම්පූර්ණ විනාශය සංකේතවත් කරන්නයි. ඒත් පාතාලයෙන් අදහස් කරන්නේ මිනී වළයි.

ඇත්ත විලක් නෙවෙයි

 “ගිනිවිල” ගැන සඳහන් වෙන මේ බයිබල් පද පහෙන් පැහැදිලි වෙන්නේ ඒක සංකේතයක් මිසක් ඇත්ත විලක් නෙවෙයි කියන කාරණයයි. (එළිදරව් 19:20; 20:10, 14, 15; 21:8) බයිබලයේ කියන විදිහට ගිනිවිලට දාන්නේ කාවද?

සදාකාල විනාශය සංකේතවත් කරයි

 බයිබලයේ කියන්නේ ‘ගිනිවිලෙන් නියෝජනය වෙන්නේ දෙවෙනි මරණය’ කියලයි. (එළිදරව් 20:14; 21:8) ඒ කියන්නේ පළවෙනි මරණය කියලත් එකක් තියෙනවා. ආදම්ගෙන් අපිට උරුම වුණේ ඒ පළවෙනි මරණයයි. ඒ මරණය උරුම වෙන අයට නැවතත් ජීවිතය දෙන්න දෙවියන්ට පුළුවන්. ඒ වගේම මරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—1 කොරින්ති 15:21, 22, 26.

සංකේතවත් ගිනිවිලට හෙළන අයට කිසිම බලාපොරොත්තුවක් නැහැ

 හැබැයි ගිනිවිලට හෙළන අයට අත් වෙන්නේ දෙවෙනි මරණයයි. බයිබලයේ කියන විදිහට ඒ වගේ අයට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් නැහැ. “මරණයේද පාතාලයේද යතුරු” යේසුස්ට තියෙනවා කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 1:18; 20:13, ‘පැරණි අනුවාදය’) ඒ කියන්නේ ආදම්ගෙන් උරුම වුණ පාපය නිසා මිය යන අයට නැවත ජීවිතය දෙන්න යේසුස්ට බලය තියෙනවා කියන එකයි. හැබැයි ගිනිවිලට ගිය කෙනෙකුට නැවත ජීවිතය දෙන්න කිසිම කෙනෙකුට බලය නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ ගිනිවිලෙන් අදහස් කරන්නේ සම්පූර්ණ විනාශය කියන එකයි.—2 තෙසලෝනික 1:9.

ගෙහෙන්නාවට සමානයි

 ගෙහෙන්නාව (ග්‍රීක භාෂාවෙන් “ගෙහෙන්නා”) කියන වචනය බයිබලයේ 12 වාරයක් සඳහන් වෙලා තියෙනවා. ගිනිවිලෙන් වගේම මේකෙනුත් අදහස් කරන්නේ සදාකාල විනාශයයි. සමහර බයිබල් පරිවර්තනවල ගෙහෙන්නාව කියන වචනය වෙනුවට “පාතාලය” (හෙබ්‍රෙව් භාෂාවෙන් “ෂෙයෝලය,” ග්‍රීක භාෂාවෙන් “හේදීසය”) කියන වචනය පාවිච්චි කළත් ඒකෙන් අදහස් කරන්නේ වෙනස් දෙයක්.

හින්නොම් නිම්නය

 “ගෙහෙන්නා” කියන වචනයේ තේරුම “හින්නොම් නිම්නය” කියන එකයි. ඒක පිහිටලා තිබුණේ යෙරුසලම නගරයෙන් පිටතයි. ඒ කාලයේදී එතන පාවිච්චි කළේ කැළි කසළ පුලුස්සා දමන ස්ථානයක් විදිහටයි. එතන තිබුණ ගින්න දිගටම ඇවිළෙමින් තිබුණා. ගින්නට අහු වුණේ නැති කැළි කසළ පණුවන් විනාශ කළා.

 ගෙහෙන්නාව කියන වචනය යේසුස් පාවිච්චි කළෙත් සම්පූර්ණ විනාශයක් ගැන විස්තර කරන්නයි. (මතෙව් 23:33) “ගෙහෙන්නාවේ තිබෙන ගින්න නිවී යන්නේවත් එහි සිටින පණුවෝ නසින්නේවත් නැහැ” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (මාක් 9:47, 48) ඒක කියද්දී යේසුස්ගේ මනසේ තියෙන්න ඇත්තේ යෙසායා 66:24 කියන මේ දේ වෙන්න ඇති. “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය. ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය.” යේසුස් අදහස් කළේ සදහටම වධ දීමක් ගැන නෙවෙයි. ඒ වෙනුවට සම්පූර්ණ විනාශයක් ගැනයි. ගින්නෙන් සහ පණුවන් නිසා විනාශ වුණේ කැළි කසළ සහ මළ සිරුරු මිසක් පණ තියෙන මිනිසුන් නෙවෙයි.

 බයිබලයේ කියන විදිහට ගෙහෙන්නාවට යන අයට නැවත නැඟිටීම ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ ‘ගිනිවිලෙන්’ වගේම ‘ගෙහෙන්නාවෙන්’ සංකේතවත් කරන්නෙත් සදාකාලික විනාශය කියන එකයි.—එළිදරව් 20:14, 15; 21:8; මතෙව් 18:9.

“සදාකාලයටම දිවා රෑ දෙකෙහිම වධ විඳීමට” සිදු වෙන්නේ කොහොමද?

 ගිනිවිල කියන්නේ සංකේතයක් නම් යක්ෂයාටත් මෘගයාටත් බොරු අනාගතවක්තෘවරයාටත් “සදාකාලයටම දිවා රෑ දෙකෙහිම වධ විඳීමට” සිදු වෙන්නේ කොහොමද? (එළිදරව් 20:10) ඒකට තියෙන්නෙත් සංකේතවත් අදහසක්. එහෙම කියන්න තියෙන හේතු හතරක් බලමු.

  1.   යක්ෂයාට සදාකාලයටම දඬුවම් කරන්න නම් ඔහුට සදාකාලයටම ජීවත් වෙන්න ඉඩ දෙන්න වෙනවා. හැබැයි බයිබලයේ කියන්නේ ළඟදීම යක්ෂයාව නැති කරනවා කියලයි.—හෙබ්‍රෙව් 2:14.

  2.   සදාකාල ජීවනය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් මිසක් දඬුවමක් නෙවෙයි.—රෝම 6:23.

  3.   මෘගයා සහ බොරු අනාගතවක්තෘවරයා කියන්නේ සංකේත නිසා ඒවාට වධ දෙන්න බැහැ.

  4.   යක්ෂයාට වධ දෙනවා කියලා බයිබලයේ සඳහන් තැන්වල අවට පාඨ සම්බන්ධය දිහා බලද්දී ඒවාවලින් පැහැදිලි කරන්නේ යක්ෂයාගේ සම්පූර්ණ විනාශයක් ගැනයි.

 ග්‍රීක භාෂාවට අනුව “වධ විඳීම” නැත්නම් ‘වධ දීම’ කියද්දී යම් සිරගත කිරීමක් හෝ සීමා පැනවීමක් අදහස් වෙනවා. උදාහරණයකට මතෙව් 18:34හි සඳහන් “වධකයන්” කියන ග්‍රීක වචනය සමහර බයිබල් පරිවර්තනවල “සිරගෙයි භාරකරුවන්” කියලා සඳහන් කිරීමෙන් එය පැහැදිලි වෙනවා. ඒ වගේම මතෙව් 8:29හි සඳහන් වාර්තාවේ ‘වධ දෙනවා’ කියන එක ලූක් 8:30, 31හි සඳහන් කරලා තියෙන්නේ ‘අගාධයට දානවා’ කියලයි. ‘අගාධයට දානවා’ කියන එකෙන් අදහස් කරන්නේ අක්‍රියාශීලී තත්වයක්. එහෙමනම් ඒ වචන දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයයි. (රෝම 10:7; එළිදරව් 20:1, 3) එළිදරව් පොතේ හුඟක් තැන්වල ‘වධ දෙනවා,’ ‘වධ විඳිනවා’ වගේ යෙදුම් පාවිච්චි කරලා තියෙන්නේ සංකේතවත් අර්ථයකිනුයි.—එළිදරව් 9:5; 11:10; 18:7, 10.