Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න

වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න

 දෙයක් හරියට කරගන්න බැරි වුණාම ඕනෙම දරුවෙක් අධෛර්යය වෙන්න පුළුවන්. ඔයාගේ දරුවාටත් එහෙම වුණොත් එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

 දැනගන්න ඕන දේ

 අපි කොයි කවුරුත් වැටෙන අවස්ථා තියෙනවා. බයිබලයේ කියනවා ‘අප සියලුදෙනා අතින් වැරදි සිදු වෙයි’ කියලා. (යාකොබ් 3:2) දරුවන් අතිනුත් වැරදි වෙනවා. හැබැයි දරුවන් අතින් වරදක් වුණාම නැත්නම් දෙයක් හරියට කරගන්න එයාලට බැරි වුණාම ඒකෙන් හොඳ දේකුත් වෙන්න පුළුවන්. ඒකෙන් එයාලට පුළුවන් අභියෝගවලට මුහුණ දෙන විදිහ ඉගෙනගන්න. දරුවන් ඉපදෙන්නේ ඒ හැකියාව ඇතුව නෙවෙයි. ඒක එයාලා ඉගෙනගන්න ඕන දෙයක්. මවක් වන ලෝරා කියන දේ බලන්න. “දරුවෙක්ට දෙයක් හරියට කරගන්න බැරි වුණාම මුකුත් වුණේ නෑ වගේ ඉන්නවා වෙනුවට එයාගේ අඩුපාඩු අඳුරගෙන ඒවා හදාගන්න දරුවාට උදව් කරන්න ඕනේ. එහෙම කෙරුවොත් අධෛර්යය වෙන්නේ නැතුව අභියෝගවලට හොඳින් මුහුණ දෙන විදිහ එයාලා ඉගෙනගන්නවා.”

 වැරදීම් වෙද්දී ඒක හදාගන්න හුඟක් දරුවන් ඉගෙනගන්නේ නැහැ. වැරදීම් වෙද්දී ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අඩුපාඩු හදාගන්න දරුවන්ට බැරි වෙන්නේ දෙමාපියන් දරුවන්ගේ වැරදි පෙන්වලා දෙන්නේ නැති නිසයි. උදාහරණෙකට දරුවා පාසැලේ වැඩ හොඳින් කරන්න අසමත් වෙද්දී සමහර දෙමාපියන් ගුරුවරයා පිට වරද පටවනවා. දරුවාට යාළුවෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙද්දී සමහර දෙමාපියන් යාළුවා පිට වරද පටවනවා.

 ඒත් දරුවන් අතින් වැරදි වෙද්දී ඒවාවල ප්‍රතිඵල විඳින්න දෙමාපියන් දරුවන්ට ඉඩහරින්නේ නැත්නම් දරුවන් තමන් අතින් වුණු වැරදි පිළි අරන් ඒවා හදාගන්න වෑයම් කරයි කියලා හිතන්න පුළුවන්ද?

 කරන්න පුළුවන් දේ

  •   කරන හැම දේකම ප්‍රතිඵල විඳින්න වෙනවා කියලා දරුවන්ට උගන්වන්න.

     බයිබලයේ මෙහෙම කියනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

     හැම ක්‍රියාවකටම ප්‍රතිඵල අද්දකින්න වෙනවා. උදාහරණෙකට මොකක් හරි දෙයක් කැඩුණොත් ඒක හදන්න වියදමක් යනවා. අපි අතින් වරදක් වුණොත් ඒකේ නරක ප්‍රතිඵල අපිට විඳින්න වෙනවා. අපි කරන හැම දේකම ප්‍රතිඵල විඳින්න වෙනවා කියන එකත් තමන් අතින් වුණු වැරදිවලට තමන් වග කියන්න ඕනෙ කියන එකත් දරුවන්ට හොඳින් තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ නිසා දරුවන් අතින් වැරදි වෙද්දී ඒ වරද වෙන කෙනෙක් පිට පටවන්න එපා. ඒ වෙනුවට වුණු වරදේ ප්‍රතිඵල විඳින්න දරුවන්ට ඉඩහරින්න. හැබැයි දරුවන්ගේ වයසට ගැළපෙන විදිහටත් සාධාරණ විදිහටත් තමයි ඒ දේ කරන්න ඕනේ. ඒ වගේම දරුවන්ට නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ එයාලා අතින් වුණු මොන වරද නිසාද කියන දේ එයාලට පැහැදිලිව පෙන්වලා දෙන එකත් හරිම වැදගත්.

  •   ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න දරුවන්ට උදව් කරන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය. එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය.”—හිතෝපදේශ 24:16.

     දෙයක් හරියට කරගන්න බැරි වෙද්දී අපි හැමෝටම ලොකු දුකක් දැනෙයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම දේම එතනින් ඉවරයි කියලා. ඒ නිසා වුණු දේ ගැන ළත වෙවී ඉන්නවා වෙනුවට නැත්නම් තමන්ට වුණේ අසාධාරණයක් කියලා හිතනවා වෙනුවට වුණු දෙයින් පාඩමක් ඉගෙනගෙන ඇති වුණු ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න දරුවන්ට උදව් කරන්න. හිතන්න ඔයාගේ පුතා විභාගෙකින් අසමත් වුණා කියලා. එහෙමනම් කලින්ට වඩා උනන්දුවකින් පාඩම් කළොත් ඊළඟ වතාවේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක දරුවාට තේරුම් කරලා දෙන්න. (හිතෝපදේශ 20:4) ඔයාගේ දුවට යාළුවෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා කියලා හිතන්න. සමහරවිට ඒ ප්‍රශ්නේ ඇති වුණේ දුව නිසා නොවෙන්න පුළුවන්. ඒත් යාළුවාගෙන් සමාව ඉල්ලලා ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා දුවට තේරුම් කරලා දෙන්න.—රෝම 12:18; 2 තිමෝති 2:24.

  •   නිහතමානීව තමන්ගේ සීමාව හොඳින් තේරුම්ගන්න දරුවන්ට උගන්වන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය.”—රෝම 12:3.

     ඔයාගේ දරුවා අනිත් දරුවන්ට වඩා දක්ෂයි කියලා එයාගේ ඔළුවට දාන්න එපා. මොකද එහෙම කියන එකෙන් එයාට යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේම එයා හැම තිස්සෙම දක්ෂම විදිහට දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් බැහැ. මොකද හොඳට ඉගෙනගන්න පුළුවන් දරුවෙක්ට වුණත් හැම වෙලේම හොඳ ලකුණු ගන්න බැරි වෙන්න පුළුවන්. යම් ක්‍රීඩාවකට දක්ෂ දරුවෙක්ට වුණත් හැම වෙලේම දිනන්න පුළුවන් වෙන එකක් නැහැ. තමන් අතින් වරදක් වෙද්දී නැත්නම් යම් දෙයක් හරියට කරගන්න බැරි වෙද්දී අධෛර්යය නොවී ඉන්න දරුවෙක්ට පුළුවන් වෙන්නේ එයා නිහතමානීව තමන්ගේ සීමාව හොඳින් තේරුම් අරන් හිටියොත් විතරයි.

     ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙද්දී අපි තවත් ශක්තිමත් වෙනවා කියලත් අපේ විඳදරාගැනීමේ හැකියාව දියුණු වෙනවා කියලත් බයිබලයේ කියනවා. (යාකොබ් 1:2-4) ඒ නිසා දරුවා අතින් වරදක් වෙද්දී නැත්නම් එයාට දෙයක් හරියට කරගන්න බැරි වෙද්දී අධෛර්යය වෙනවා වෙනුවට ඒ දේවලින් පාඩමක් ඉගෙනගන්න දරුවන්ට උදව් කරන්න.

     අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ව පුහුණු කරන්න නම් දෙමාපියන්ට ලොකු වෑයමක් දරන්න වෙනවා. ලොකු කාලයකුත් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. හැබැයි දෙමාපියන් ඒ වෙනුවෙන් දරන වෑයමත් කැප කරන කාලයත් කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද යොවුන් වයසට ආවාම ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න ඒක දරුවන්ට උදව් වෙනවා. එක පොතක කියන දේ බලන්න. “දරුවන් අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගෙන තියෙනවා නම් යොවුන් වියට ආවාම මෝඩ තීරණ ගන්න තියෙන ඉඩකඩ අඩුයි. තත්වයන් වෙනස් වෙද්දී, බලාපොරොත්තු නොවුණු දේවල් වෙද්දී ඒ දේවල්වලට හොඳින් මුහුණ දීලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.” (Letting Go With Love and Confidence) පුංචි කාලේ ඉඳලාම අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුරුදු වුණොත් වැඩිහිටියන් වුණාට පස්සෙත් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

 යෝජනාවක්: හොඳ ආදර්ශයක් වෙන්න. අධෛර්යය වෙන දේවල් වෙද්දී ඔයා ඒවාට හොඳින් මුහුණ දෙනවා නම් ඒ දේම කරන්න දරුවනුත් ඉගෙනගනියි.