Skip to content

පටුනට යන්න

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයයි

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයයි

 ඊජිප්තුවේ කානාක් ප්‍රදේශයේ ආමූන් දෙවියා වෙනුවෙන් අතීතයේදී ඉදි කරපු දේවාලයක් තියෙනවා. ඊට ඇතුල් වෙන ස්ථානයේ අඩි 26ක් උස රූපාක්ෂර තියෙන මේ කැටයම දකින්න පුළුවන්. විශාරදයන් කියන විදිහට ඊජිප්තුවේ ෂීෂක් රජු ඊජිප්තුවේ ඊසාන පැත්තට වෙන්න තිබුණ යූදා සහ ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය ඇතුළුව අනිත් දේශයන් යටත් කරගැනීම ඒ කැටයමෙන් පෙන්වනවා.

කානාක් ප්‍රදේශයේ තියෙන කැටයම; උලුප්පලා පෙන්නලා තියෙන්නේ වහලුන්ගේ කැටයම්

 එහි කැටයම් කරලා තියෙන්නේ ආමූන් දෙවියා ෂීෂක්ට හෝ ෂිෂන්ක්ට a වහලුන් 150දෙනෙක්ට වඩා වැඩිදෙනෙක්ව ලබා දෙන විදිහයි. ඒ එක් එක් වහලාගෙන් රජ යටත් කරගත් නගර නැත්නම් ජාතීන්ව නියෝජනය වෙනවා. ඔවුන්ගේ ඇඟේ බිත්තර හැඩැති කොටසේ යටත් කරගත් නගරවල නම් කොටලා තියෙනවා. ඒ නම්වලින් හුඟක් නම් තවමත් කියවන්න පුළුවන්. ඒ සමහර නම් බයිබලය කියවන අයට හොඳින් හුරු පුරුදුයි. බෙත්-ෂෙයාන්, ගිබියොන්, මෙගිද්දෝ සහ ෂුනෙම් ඒවායින් කිහිපයක්.

 ඊජිප්තුවරුන් යූදා දේශය යටත් කරගැනීම ගැන බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජාවලිය 14:25, 26) ෂීෂක් රජුගේ ආක්‍රමණය ගැන නිශ්චිත තොරතුරු බයිබලයෙන් හොයාගන්න පුළුවන්. බයිබලයේ එක තැනක මෙහෙම කියනවා. “රෙහබෝවම් රජුගේ පස්වන අවුරුද්දේදී ඊජිප්තුවේ රජු වූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියේය. ඔහුගේ යුධ සේනාව යුධ රථ එක්දහස් දෙසියයකින්ද අසරුවන් හැටදහසකින්ද ඊජිප්තුවෙන් පැමිණි අතිවිශාල සේනාවකින්ද සමන්විත විය. . . . ෂීෂක් රජ යූදා ගෝත්‍රයට අයත් ප්‍රදේශයේ තිබූ පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරවල් යටත් කරගෙන යෙරුසලම දක්වා පැමිණියේය.”—2 ලේකම් 12:2-4.

 ෂීෂක් ඊශ්‍රායෙල් දේශය ආක්‍රමණය කළා කියන්න තියෙන එකම පුරාවිද්‍යාත්මක සාක්ෂිය කානාක් ප්‍රදේශයේ තියෙන මේ කැටයම නෙමෙයි. මෙගිද්දෝ කියන නගරයෙන් හොයාගෙන තියෙන කැඩී බිඳී ගිය ස්මාරකයක “ෂිෂන්ක්” කියන නම සඳහන් වෙනවා.

 ෂීෂක් රජු යූදා දේශය යටත් කරගැනීම ගැන බයිබලයේ සඳහන් වෙන නිවැරදි වාර්තාව බයිබල් ලේඛකයන් තොරතුරු අවංකව ලිව්වා කියන්න හොඳ සාක්ෂියක්. තමන්ගේ ජාතිය ලබපු ජයග්‍රහණ වගේම පරාජයන් ගැන ඔවුන් සත්‍යය තොරතුරු වාර්තා කළා. අතීතයේ හිටපු වෙනත් ලේඛකයන් තුළ ඒ ලක්ෂණය දකින්න නැහැ.

a බයිබලයේ සඳහන් වෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ නම ශබ්ද කරන විදිහයි. එනම් ෂීෂක්.