Skip to content

පටුනට යන්න

මතින් මිදෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

මතින් මිදෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

 හැම අවුරුද්දකම මත්ද්‍රව්‍යවල බලපෑම නිසා මිලියන ගාණකගේ ජීවිත නැති වෙනවා. කොරෝනා වසංගතය තියෙන මේ කාලේදී ලෝකේ පුරා අස්සක් මුල්ලක් නෑර ඒ තත්වය ඔඩු දුවලා තියෙනවා. ඔයාත් මත්ද්‍රව්‍ය කියන රකුසාගේ ගොදුරක් වෙලා ඒකෙන් ගොඩ එන්න මඟක් හොයන කෙනෙක්ද? එහෙමනම් ඒ උගුලෙන් ගැලවෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙයි. මොකද දැනටමත් ඒ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන අරන් හුඟදෙනෙක් ඒකෙන් ගොඩ ඇවිත් තියෙනවා. a

මේ ලිපියෙන්

 බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

 සමහරවිට කෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇයි කියලා බැලූ බැල්මට තේරුම්ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පර්යේෂකයන් කියනවා කෙනෙක් ඒ වගේ දේකට ඇබ්බැහි වෙන්න කාලයක් තිස්සේ මුහුණ දෙන තනිකම, පීඩනය, කනස්සල්ල, මානසික අවපීඩනය වගේ දේවල් බලපානවා කියලා. හැබැයි ඔයාට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඒ වගේ හැඟීම් එක්ක පොරබැදලා ඒකෙන් ජය ගන්න ඔයාට පුළුවන්. ඒකට බයිබලේ ඔයාට උදව් වෙනවා. මොකද දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද කියලා බයිබලේ කියලා තියෙනවා. (ගීතාවලිය 25:14) දෙවියන්ගේ උදව්වෙන් ජීවිතේටවත් නවත්තන්න බැහැ කියලා හිතපු පුරුදු අත්හරින්න ඔයාට පුළුවන් වෙයි.—මාක් 11:22-24.

 ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පියවර හතරක්

  1.  1. යෙහෝවා දෙවියන්ව හොඳින් අඳුරගන්න. b (යොහන් 17:3) දෙවියන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කළේ. අපිට හිතාගන්නවත් බැරි තරම් බලයක් ඔහුට තියෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් හරියට තාත්තා කෙනෙක් වගේ. ඔහුට ඕනෙ ඔයාව ඔහුට ළං කරගෙන ඔහුගේ බලය දීලා ඔයාට උදව් කරන්න. (යෙසායා 40:29-31; යාකොබ් 4:8) ඔයා ඒකට ඉඩ දෙනවා නම් දෙවියන් ඔයාට හරිම ලස්සන අනාගතයක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.—යෙරෙමියා 29:11; යොහන් 3:16.

  2.  2. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔයා වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා දෙවියන්ට යාච්ඤා කරන්න. එතකොට ‘ශුද්ධ, දෙවිට පිළිගන්න පුළුවන්’ ජීවිතයක් ගත කරන්න ඔහු ඔයාට උදව් කරයි. (රෝම 12:1) ඒකට දෙවියන් ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔයාට දෙනවා. (2 කොරින්ති 4:7; ලූක් 11:13) මතට තිත තියන්න අනිත් හැම දේකටම වඩා දෙවියන් දෙන ඒ බලය ඔයාට උදව් වෙයි. එතකොට දෙවියන් කැමති ගුණාංග, පුරුදු ඇති කරගෙන “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න ඔයාට පුළුවන්.—කොලොස්සි 3:9, 10.

  3.  3. දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න. (යෙසායා 55:9) බයිබලේ කියනවා “අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්න” කියලා. ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් කැමති දේවල්වලින් ඔයාගේ මනස පුරවගන්න ඕනෙ කියන එකයි. (එෆීස 4:23) ඒක කරන්න දෙවියන් ඔයාට උදව් කරයි. එතකොට ඔයාට පුළුවන් ඔයාව බැඳලා තියෙන මේ මත්ද්‍රව්‍ය කියන රැහැන් බිඳලා දාන්න. ඒත් දෙවියන් කැමති දේවල්වලින් මනස පුරවගන්නේ කොහොමද? ඒකට බයිබලය උදව් වෙනවා. ඔයා හැම දවසකම බයිබලේ කියවනවා නම් දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන්. (ගීතාවලිය 1:1-3) හැබැයි ඔයා ඒක තනියම කරන්න ගියොත් සමහරවිට ඔයාට හැම දෙයක්ම තේරෙන එකක් නැහැ. ඒක නිසා ඒ දේවල් තේරුම්ගන්න ඔයාට තව කෙනෙක්ගේ උදව් ගන්නත් වෙයි. (ක්‍රියා 8:30, 31) බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම ආසාවෙන් ඉන්නවා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙලා බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න, ඒවා ඔයාගේ ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලා දැනගන්න එයාලා ඔයාට ආරාධනා කරනවා.

  4.  4. හොඳ යාළුවන්ව තෝරගන්න. යාළුවෝ ඔයාගේ හොඳට හරි නරකට හරි බලපානවා. එයාලට පුළුවන් එක්කෝ ඔයා වැටිලා ඉන්න වළෙන් ඔයාව ගොඩට ගන්න. එහෙම නැත්නම් ඔයාව ඒ වළටම තල්ලු කරන්න. (හිතෝපදේශ 13:20) එහෙමනම් හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන් කොහෙන්ද? දෙවියන්ට නමස්කාර කරන අය අතරේ ඒ වගේ අය ඉන්නවා. එයාලව ආශ්‍රය කරලා අපි ප්‍රයෝජන ලබනවා දකින්න දෙවියන් හුඟක් ආසයි. (ගීතාවලිය 119:63; රෝම 1:12) හැබැයි අපි මේ කතා කරන්නේ මූණට මූණ හම්බ වෙලා ආශ්‍රය කරන අය ගැන විතරක් නෙවෙයි. මොකද චිත්‍රපටියක් බලද්දී, සින්දුවක් අහද්දී, පොතක් කියවද්දී ඔයා කරන්නේ ඒවාවල ඉන්න චරිත කිට්ටුවෙන් ආශ්‍රය කරනවා වගේ වැඩක්. ඒ නිසා විනෝදයට තෝරගන්න දේවල් ගැන ගොඩක් පරෙස්සම් වෙන්න. ඔයා අමාරුවෙන් එක අඩියක් ඉස්සරහට තියද්දී ඔයාව අඩි දහයක් පස්සට ඇදලා ගන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා.—ගීතාවලිය 101:3; ආමොස් 5:14.

 ඔයාට උදව් වෙන බයිබල් පද

 ගීතාවලිය 27:10: “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.”

 “මට කවදාවත් තාත්තා කෙනෙක්ගේ ආදරේ ලැබිලා නෑ. මොකද මගේ තාත්තා කවුද කියලා මං අදටත් දන්නේ නෑ. හැබැයි යෙහෝවා දෙවියන් ගැන දැනගත්තාට පස්සේ මගේ අඳුරු ජීවිතේ එළිය වුණා. මගේ ජීවිතේට අරමුණක් ලැබුණා. ස්වර්ගේ ඉන්න මගේ තාත්තා මට ගොඩක් ආදරෙයි කියලා මං දැනගත්තා. ඒ ජරා පුරුද්දෙන් ගොඩ එන්න මට උදව් වුණේ ඒ ආදරෙයි.”—හයිටිවල විල්බි.

 ගීතාවලිය 50:15: “දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න. මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”

 “මට ඕනෙ වුණේ කොහොමහරි මේ නරක පුරුද්ද නවත්තන්න. ඒත් කීප වතාවකම මං ආයේ ආයේ ඒ පුරුද්දට වැටුණා. හැබැයි මේ සටන අත්හරින්නේ නැතුව ඉන්න ඒ බයිබල් පදේ දෙවියන් දීලා තියෙන පොරොන්දුව මට උදව් වුණා. යෙහෝවා මාව අමතක කළේ නෑ. ඔහු පොරොන්දු වුණ විදිහටම මගේ උදව්වට හිටියා.”—යූක්රේනයේ සර්හි.

 හිතෝපදේශ 3:5, 6: “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”

 “මං ගැන නෙවෙයි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසේ තියලා වැඩ කරන්න ඒ බයිබල් පදේ මට උදව් වුණා. ඔහුගේ උදව් නිසා අන්තිමේදී මට පුළුවන් වුණා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න.”—ඉතාලියේ මිෂෙල්.

 යෙසායා 41:10: “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.”

 “ඉස්සර මත්ද්‍රව්‍ය ගන්න බැරි වුණොත් මට නිකං පිස්සු වගේ. මට කොච්චර පීඩනයක් දැනුණාද කියලා කියාගන්න තේරෙන්නේ නෑ. හැබැයි දෙවියන් මගේ ළඟින්ම ඉඳන් මට උදව් කරනවා කියලා තේරුම්ගන්න මට ඒ බයිබල් පදේ උදව් වුණා. පොරොන්දු වුණා වගේම ඔහු මට උදව් කළා.”—දකුණු අප්‍රිකාවේ ඇන්ඩි.

 1 කොරින්ති 15:33: “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”

 “යාළුවෝ තමයි මාව මේ පාපෙට ඇදලා දැම්මේ. අන්තිමට මටවත් නොදැනී මං ඒකට ඇබ්බැහි වුණා. පස්සේ මං ඒ යාළුවන්ගෙන් අයින් වෙලා හොඳ අයව ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒ නිසා තමයි මට ඒ පුරුද්දෙන් ගොඩ එන්න පුළුවන් වුණේ.”—කෙන්යාවේ අයිසැක්.

 2 කොරින්ති 7:1: “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.”

 “මං ඉස්සර ගොඩක් නරක දේවල්වලට ඇබ්බැහි වෙලා හිටියා. ඒවා මට කොච්චර බලපෑවාද කියනවා නම් මං මටම රිද්දගත්තා, ශරීරයට හානි කරගත්තා. හැබැයි ඒ නරක පුරුදු අත්හරින්න මං දිගටම සටන් කළා. ඒ සටන ජය අරන් පිරිසිදු ජීවිතයක් ගත කරන්න මට උදව් වුණේ ඒ බයිබල් පදෙයි.”—කොලොම්බියාවේ රෝසා.

 ෆිලිප්පි 4:13: “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”

 “මං වැටිලා හිටපු පුරුද්දෙන් මිදෙන්න මගේම තනි හයියෙන් බෑ කියලා මට තේරුණා. ඉතින් මං දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලුවා. අන්තිමේදී මට ඕනෙ කරන ශක්තිය ඔහු මට දුන්නා.”—ඉතාලියේ පැට්‍රීෂියා.

 බයිබලේ උදව්වෙන් ගොඩ ආපු තවත් අය

 ජෝසෆ් එරෙන්බෝගන් හැදුණේ වැඩුණේ හුඟක් දරුණු මිනිස්සු හිටපු පැත්තක. අරක්කු, දුම්කොළ, මරිජුවානා, හෙරොයින් කියන්නේ එයාගේ ජීවිතේ නුහුරු, නුපුරුදු දේවල් නෙවෙයි. කීප සැරයක්ම ඒවා වැඩිපුර අරගෙන එයා මැරෙන්නත් ගියා. හැබැයි එයා බයිබලෙන් කියවපු එක කොටසක් එයාගේ මුළු ජීවිතේම වෙනස් කළා. එයාගේ ජීවිත කතාව ගැන දැනගන්න “කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා” කියන ලිපිය බලන්න.

 දිමිත්‍රි කොර්ෂූනොව් කියන්නේ මත්පැන්වලට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. කීප වතාවක්ම ඒකෙන් ගොඩ එන්න උත්සාහ කළත් එයා ආයේ ආයේ ඒ පුරුද්දට වැටුණා. ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න එයාට උදව් වුණේ මොනවාද කියලා දැනගන්න “මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ” කියන වීඩියෝ එක බලන්න.

 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක බයිබලේ තහනම් කරලා තියෙනවාද?

 නැහැ. බයිබලේ කියනවා “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ” කියලා. (මතෙව් 9:12) ඒ වගේම අදහසක් තමයි එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය ගැන හොයලා බලන එක ආයතනයකුත් කියන්නේ. එයාලා මෙහෙම කියනවා. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක හරියට භයානක ලෙඩක් වගේ. කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න ආසාවක් තිබුණ පළියටම ඒක කරන්න බැහැ.” හැබැයි අපි දන්නවා දෙවියන්ගේ බලයෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒත් සමහර වෙලාවට ඒ වගේ කාරණයකදී බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන විතරක් මදි, ඒ තත්වයෙන් ගොඩ එන්න වෛද්‍ය ප්‍රතිකාරත් ගන්න ඕනෙ කියලා හුඟක් අයට තේරිලා තියෙනවා. c ඇලන් කියන දෙයින් ඒක හොඳටම පැහැදිලියි. “අරක්කු බොන එක නැවැත්තුවාට පස්සේ ඇඟපතට පුදුම වේදනාවක් දැනුණේ. මට තේරුණා බයිබලේ තියෙන මඟ පෙන්වීම අදාළ කරගන්නවා වගේම මං දොස්තර කෙනෙක්ගෙනුත් උදව් ගන්න ඕනෙ කියලා.”

 ප්‍රතිකාරයක් විදිහට මත්ද්‍රව්‍ය ගන්න එක බයිබලේ තහනම් කරලා තියෙනවාද?

 නැහැ. බයිබලේ කියනවා සමහර අසනීප සුව කරන්න, මරණාසන්නව ඉන්න කෙනෙක්ගේ වේදනාව අඩු කරන්න වේදනා නාශකයක් විදිහට මත්පැන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. (හිතෝපදේශ 31:6; 1 තිමෝති 5:23) හැබැයි ඒ වගේ අරමුණකින් පාවිච්චි කළත් සීමාව තේරුම්ගත්තේ නැත්නම් මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් මත්ද්‍රව්‍යයක් අඩංගු වෙලා තියෙන වේදනා නාශකයක් ගන්න කියලා වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වගේ එකක් ගන්න කලින් වුණත් ඒකේ අතුරු ප්‍රතිඵල මොනවාද කියලා හොඳට හොයලා බලන එක හරිම වැදගත්.—හිතෝපදේශ 22:3.

a මේ ලිපියේ මූලිකවම කතා කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න පුළුවන් විදිහ ගැනයි. ඒත් මේ ප්‍රතිපත්ති මත්පැන්වලට, දුම්කොළවලට, සූදුවට, අසභ්‍ය දර්ශන බලන එකට ඇබ්බැහි වුණ අයටත් සීමාවක් නැතුව සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසරන සහ කෑමවලට කෑදර අයටත් අදාළ කරගන්න පුළුවන්.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

c බීමට ඇබ්බැහි වෙලා ඉන්න අයට උදව් කරන්න විවිධ පුනරුත්ථාපන කඳවුරු, රෝහල් සහ වෙනත් ආයතන තියෙනවා. එක් එක් කෙනා බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට අරන් තමන් ගන්නේ මොන ප්‍රතිකාරද කියලා පෞද්ගලිකව තීරණය කරන්න ඕනේ.—හිතෝපදේශ 14:15.