Skip to content

පටුනට යන්න

දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

යෙහෝවා දෙවියන් තමයි “යාච්ඤා අසන තැනැත්තා.” (ගීතාවලිය 65:2) ඔහුත් එක්ක අපිට ඕනම වෙලාවක, ඕනම තැනක ඉඳන්, ශබ්ද නඟා හරි හිතෙන් හරි කතා කරන්න පුළුවන්. අපි ඔහුට “පියාණෙනි” කියලා කතා කරනවාට යෙහෝවා දෙවියන් කැමතියි. ඇත්තටම අපිට ඉන්න පුළුවන් හොඳම පියා ඔහුයි. (මතෙව් 6:9) යෙහෝවා දෙවියන් අපිට ඇහුම්කන් දෙන්න නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද කියලා ඔහු අපිට ආදරෙන් උගන්වනවා.

යේසුස්ගේ නමින් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න

“ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙන්නේය.”—යොහන් 16:23.

යේසුස් කියපු දෙයින් හොඳින්ම පැහැදිලි වෙනවා පින්තූර, සාන්තුවරු, දේවදූතයන්, මළවුන් මාර්ගයෙන් යාච්ඤා කරනවා වෙනුවට යේසුස් මාර්ගයෙන් තමන්ට යාච්ඤා කරන එක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලා යේසුස් කියපු දෙයිනුත් ඒක පැහැදිලියි. (යොහන් 14:6) යේසුස්ගේ නාමයෙන් දෙවියන්ට යාච්ඤා කරන එකෙන් අපි පෙන්වන්නේ යේසුස් තමන්ගේ ජීවිතය දීලා අපි වෙනුවෙන් කරපු දේ අපි පිළිගන්නවා කියලයි.

හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න

“ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.”—ගීතාවලිය 62:8.

අපි යාච්ඤා කරද්දී ආදරණීය තාත්තා කෙනෙක් එක්ක කතා කරනවා වගේ යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න ඕනේ. පොතක් බලාගෙනවත් කටපාඩමින්වත් යාච්ඤා කරනවා වෙනුවට ගෞරවනීයව අපේ හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියන්න ඕනේ.

දෙවියන්ගේ කැමැත්තට එකඟව යාච්ඤා කරන්න

“දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන්නේය.”—1 යොහන් 5:14.

යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරන්නේ මොනවාද කියලත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් දෙවියන් බයිබලේ සඳහන් කරලා තියෙනවා. දෙවියන් අපේ යාච්ඤා පිළිගන්න නම් අපි “දෙවිගේ කැමැත්තට එකඟව” යාච්ඤා කරන්න ඕනේ. එහෙම කරන්න නම් බයිබලය අධ්‍යයනය කරලා දෙවියන් ගැන හොඳින් දැනගන්න ඕනේ. එතකොට දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට අපිට යාච්ඤා කරන්න පුළුවන් වෙනවා.

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

ඔයාගේ අවශ්‍යතා ගැන යාච්ඤා කරන්න. කෑම බීම, ඇඳුම්, ඉන්න තැනක් වගේ අපේ එදිනෙදා අවශ්‍යතා ගැන දෙවියන්ට යාච්ඤා කරන්න අපිට පුළුවන්. හරි තීරණ ගන්න ඕන කරන ප්‍රඥාව, ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න ඕන කරන ශක්තිය දෙවියන්ගෙන් ඉල්ලන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ වගේම දෙවියන්ගෙන් සමාව ඉල්ලන්නත් උදව් ඉල්ලන්නත් අපේ විශ්වාසය ශක්තිමත් කරන්න කියලා ඉල්ලන්නත් අපිට පුළුවන්.—ලූක් 11:3, 4, 13; යාකොබ් 1:5, 17.

අනිත් අය ගැන යාච්ඤා කරන්න. ආදරණීය දෙමාපියන් කැමති තමන්ගේ දරුවන් එකිනෙකා එක්ක ආදරෙන් ඉන්නවා දකින්න. ඒ වගේ යෙහෝවා දෙවියන්ගේ දරුවන් වන අපිත් එකිනෙකා ගැන සැලකිලිමත් වෙලා ආදරෙන් ඉන්නවා දකින්න දෙවියන් කැමතියි. සැමියා/බිරිඳ ගැන, පවුලේ අය ගැන, දරුවන් ගැන සහ යාළුවන් ගැන යාච්ඤා කරන්න අපිට පුළුවන්. යේසුස්ගේ ගෝලයෙක් වුණු යාකොබ් පවා කිව්වා “එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න” කියලා.—යාකොබ් 5:16.

ස්තුති කරන්න. අපේ නිර්මාතෘ අපිට “වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙන්” හුඟක් යහපත් දේවල් කරනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 14:17) දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන ඒ හැම දෙයක් ගැනම හිතද්දී යාච්ඤාවෙන් ඔහුට ස්තුති කරන්න අපි පෙලඹෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපි අගය කරනවා කියලා අපි ජීවත් වන විදිහෙන් පෙන්වන්නත් ඕනේ.—කොලොස්සි 3:15.

ඉවසීමෙන් දිගටම යාච්ඤා කරන්න

සමහර වෙලාවට අපි අවංකව කරන යාච්ඤාවලට ඉක්මනින්ම උත්තර ලැබෙන්නේ නැති වුණාම අපි හුඟක් දුක් වෙනවා. ඉක්මනින්ම උත්තර ලැබෙන්නේ නැහැ කියන්නේ දෙවියන්ට අපි ගැන කිසි ගාණක් නැහැ කියන එකද? නැහැ, එහෙම නෙමෙයි. අපි කරන්න ඕනෙ අත්හරින්නේ නැතුව දිගටම යාච්ඤා කරන එකයි. එහෙම කරපු එකෙන් ප්‍රයෝජන ලබපු තුන්දෙනෙක්ගේ අද්දැකීම් බලමු.

මුල් ලිපියේ කතා කරපු ස්ටිව් මෙහෙම කියනවා. “මං දිගටම යාච්ඤා කළේ නැත්නම් මට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ.” තත්වේ වෙනස් වුණේ කොහොමද? එයා බයිබලේ පාඩම් කරන්න ගත්තා. ඒකෙන් එයා තේරුම්ගත්තා අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න ඕනෙ කියලා. ස්ටිව් මෙහෙම කියනවා. “දෙවියන් මගේ කිට්ටු යාළුවන් හරහා ආදරෙන් මට උදව් කරපු එක ගැන මං දෙවියන්ට ස්තුති කරනවා. දැන් මං ඉන්නේ ඉස්සරටත් වඩා හුඟක් සතුටින්.”

ජෙනීට හැඟුණේ දෙවියන් එයා කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න තරම් එයා වටින්නේ නැහැ කියලයි. එයා මෙහෙම කියනවා. “මං කොහොමටවත් වටින්නේ නෑ කියලා හිතුණු වෙලාවට ඇයි මට එහෙම හිතෙන්නේ කියලා තේරුම්ගන්න උදව් කරන්න කියලා මං දෙවියන්ගෙන් අඬඅඬ ඉල්ලුවා.” ඒක එයාට උදව් වුණේ කොහොමද? “දෙවියන් එක්ක කතා කරපු එක මට උදව් වුණා මං වටින්නේ නෑ කියලා මට හිතුණාට දෙවියන්ට මාව වටිනවා කියන එක තේරුම්ගන්න. සමහර වෙලාවට හැම දේම අතහැරලා දාන්න හිතුණත් දෙවියන් මගේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා දැනුණ නිසා ඒ හැඟීම්වලින් ගොඩ එන්න මට පුළුවන් වුණා.” මොකක්ද ප්‍රතිඵලය? “යාච්ඤාව මට උදව් වුණා යෙහෝවා දෙවියන් ඇත්තටම ඉන්න, ආදරණීය, සැලකිලිමත් දෙවි කෙනෙක් කියන එක තේරුම්ගන්න. ඒ වගේම ඔහු මට තාත්තා කෙනෙක් සහ යාළුවෙක් වුණා. දෙවියන් කැමති දේ කරන්න දිගටම උත්සාහ කරද්දී ඔහු මගේ ළඟින්ම ඉඳන් මට උදව් කරනවා කියලා මට දැනෙනවා.”

ආබාධ තිබුණත් ජෙරාඩ් සතුටින් ඉන්නවා දකිද්දී “දෙවියන් මගේ යාච්ඤාවලට හොඳම උත්තරේ දීලා තියෙනවා කියන එක මට තේරෙනවා” කියලා ඉසාබෙල් කියනවා

ඉසාබෙල්ගේ අද්දැකීමත් බලන්න. එයාට ලැබෙන්න ඉන්න දරුවාට බරපතළ ආබාධ තියෙනවා කියලා වෛද්‍යවරුන් කිව්වා. ඒක එයාට දරාගන්න බැරි වුණා. සමහර අය කිව්වා බබාව නැති කරන්න කියලා. “මගේ හිතේ තිබුණ වේදනාවට පපුව පැළිලා මැරෙයි කියලා මට හිතුණා.” එයා මොකද කළේ? “මං දෙවියන්ගෙන් උදව් ඉල්ලලා දිගටම යාච්ඤා කළා” කියලා එයා කියනවා. එයාට බරපතළ ආබාධ තියෙන දරුවෙක් ලැබුණා. එයාට නම තිබ්බේ ජෙරාඩ් කියලයි. දෙවියන් එයාගේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා ඉසාබෙල්ට දැනුණාද? ඔව් එයාට දැනුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “දැන් ජෙරාඩ්ට වයස අවුරුදු 14යි. ශාරීරික ආබාධ තිබුණත් ජෙරාඩ් සතුටින් ඉන්නවා දකිද්දී දෙවියන් මගේ යාච්ඤාවලට හොඳම උත්තරේ දීලා තියෙනවා කියන එක මට තේරෙනවා. මගේ පුතා තමයි දෙවියන් මට දීපු ලොකුම තෑග්ග.”

එයාලා අවංකවම කියපු ඒ අදහස් දිහා බලද්දී ගීතිකාකරු කියපු මේ දේ ඇත්තක් කියලා හොඳින්ම පැහැදිලියි නේද? “යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය. ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය. ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.” (ගීතාවලිය 10:17) එහෙම බලද්දී අත්හරින්නේ නැතුව දෙවියන්ට දිගටම යාච්ඤා කරන්න අපිට මොන තරම් හොඳ හේතු තියෙනවාද!

යේසුස් කරපු යාච්ඤා හුඟක් බයිබලේ සඳහන් කරලා තියෙනවා. ඒ අතරින් යේසුස් ඔහුගේ ගෝලයන්ට කියලා දීපු යාච්ඤාව වැඩිදෙනෙක් දන්නවා. ඒ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?