Skip to content

පටුනට යන්න

කුණු ගොඩේ තිබී සම්බ වූ අගනා මැණික!

කුණු ගොඩේ තිබී සම්බ වූ අගනා මැණික!

කුණු ගොඩක් ළඟට ගියොත් ඔබට මොනවා හිතෙයිද? ඒ දිහා ආපහු හැරිලා බලයිද? ඒ විතරක්ද එන ගඳ! ඒ වගේ තැනකින් මිල කරන්න බැරි මැණිකක් හම්බ වෙයි කියලා ඔබ කොහොමටවත් හිතන එකක් නෑ.

හැබැයි මීට සියවසකට කලින් වටිනා මැණිකක් කුණු ගොඩකින් හම්බ වුණා. ඒත් ඒක මැණිකක් කිව්වාට මැණිකක්ම නෙමෙයි. ඊටත් වඩා වටිනා දෙයක්. ඇත්තටම ඒක මොකක්ද? හොයාගත්ත දේ අද ඉන්න අපිට වැදගත් වෙයිද?

නොහිතුව දෙයක් හම්බ වෙයි

20වෙනි සියවසේ ආරම්භයත් එක්කම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බර්නාඩ් පී. ග්‍රෙන්ෆෙල් සහ ආතර් එස්. හන්ට් කියන ප්‍රවීණයන් දෙන්නා ඊජිප්තුවට ගියා. ඔවුන් නයිල් මිටියාවතට කිට්ටුවෙන් තිබුණ කුණු ගොඩකින් පැපිරස් කඩදාසි කෑලි ගණනාවක් හොයාගත්තා. ඔවුන් 1920දී ඒවා ලැයිස්තුගත කරන අතරේ ග්‍රෙන්ෆෙල් ඊජිප්තුවේ කැණීම්වලින් හොයාගත්ත කඩදාසි වගයකුත් ගෙන්වගත්තා. ඒවා ගෙන්වගත්තේ එංගලන්තයේ මැන්චෙස්ටර්වල ජෝන් රයිලන්ඩ්ස් පුස්තකාලයටයි. කොහොමවුණත් ඒවා ලැයිස්තුගත කරලා ඉවර වෙන්න කලින් දෙන්නාම මැරුණා.

ඒත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කොලින් එච්. රොබට්ස් කියන ප්‍රවීණයා ඒ වැඩේ නිම කළා. ඒ කඩදාසි එකින් එක වෙන් කරද්දී ඔහු දැක්කා පුංචි පැපිරස් කඩදාසි කෑල්ලක්. සෙන්ටිමීටර් 9ක් දිග 6ක් පළල ඒ කඩදාසි කෑල්ලේ ග්‍රීක් අත්අකුරින් ලියවුණු හුරු පුරුදු වචන ටිකක් තිබුණා. ඔහු ඒක දැකලා පුදුම වුණා. එක පැත්තක යොහන් 18:31-33යි අනිත් පැත්තේ 37යි, 38යි ලියලා තිබුණා. හම්බ වුණේ මිල කරන්න බැරි වස්තුවක් කියලා රොබට්ස්ට තේරුණා.

කොයි තරම් පැරණිද?

මේ පැපිරස් කඩදාසි කෑල්ල හුඟක් පරණ එකක් වෙන්න ඇති කියලා රොබට්ස් හිතුවා. ඒක කොච්චර පරණද කියලා හොයාගන්න, කාලය තහවුරු වුණ පැරණි අත්පිටපත්වල අකුරු රටා එක්ක සැසඳුවා. ඒකෙන් ඔහුට පුළුවන් වුණා ඒක ලිව්ව කාලය දළ වශයෙන් තීරණය කරන්න. ඒත් ඒක හරිද කියලා ස්ථිර කරගන්න ඔහු ඒකේ ඡායාරූප අරන් ඒවා පැරණි ලියවිලි පිළිබඳ ප්‍රවීණයන් තුන්දෙනෙකුට යැව්වා. ඔවුන්ගේ නිගමනය මොකක්ද?

කඩදාසි කෑල්ලේ තිබුණ අකුරු රටාවන් අධ්‍යයනය කරලා ප්‍රවීණයන් තුන්දෙනාම නිගමනය කළේ ක්‍රි.ව. 2වෙනි සියවසේ මුල් භාගයේ ඒක ලියන්න ඇති කියලයි. ඒ වෙද්දී යේසුස්ගේ ගෝලයෙක් වන යොහන් මිය ගිහින් වැඩි කාලයක් නැහැ. කොහොමවුණත් ඒ ක්‍රමයට කාලය නිශ්චය කළාම ඒක වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. තවත් ප්‍රවීණයෙක් කිව්වේ 2වෙනි සියවසේ කවදා හරි කාලෙක ඒක ලියන්න ඇති කියලයි. ඒත් ඒ පුංචි කඩදාසි කෑල්ල මෙතෙක් හොයාගෙන තියෙන ග්‍රීක් අත්පිටපත් කොටස්වලින් පැරණිම කොටසයි.

රයිලන්ඩ්ස් පුස්තකාලයේ තියෙන ඒ අත්පිටපතේ කොටසින් හෙළි වෙන දේ

යොහන් සුවිශේෂයෙන් හොයාගත්ත මේ කඩදාසි කෑල්ල බයිබලය අගය කරන අයට වටින්නේ ඇයි? ඒකට හේතු දෙකක්වත් තියෙනවා. එකක් තමයි මුල් සියවසේ ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිලි හුඟක් අගය කළා කියලා ඒකෙන් ඔප්පු වෙන එක.

යොහන් සුවිශේෂයෙන් හොයාගත්ත මේ කඩදාසි කෑල්ල බයිබලය අගය කරන අයට වටින්නේ ඇයි?

ක්‍රි.ව. 2වෙනි සියවසේ තිබුණ ලියවිලි වර්ග 2න් එකක් අකුළන ලියවිලි. අනිත් එක කෝඩෙක්ස් පිටපත්. අකුළන ලියවිලි හදලා තිබුණේ පැපිරස් කඩදාසි හරි සම් පදම් කරලා හදපු කඩදාසි හරි එකිනෙක අලවලා නැත්නම් මහලා. ඒක ගොඩක් දිග නිසා අවශ්‍ය වෙලාවට දිගහරින්නත් ආපහු අකුළන්නත් පුළුවන්. හුඟක් වෙලාවට ඒකේ ලිව්වේ එක පැත්තක විතරයි.

ඒත් රොබට්ස්ට හම්බ වුණ කඩදාසි කෑල්ලේ දෙපැත්තෙම ලියලා තිබුණා. ඒ නිසා ඒක බොහෝදුරට කෝඩෙක්ස් පිටපතක කොටසක්. කෝඩෙක්ස් පිටපත් හදලා තිබුණේ හම් පදම් කරලා හරි පැපිරස් කොළවලින් හරි හදපු කඩදාසිවලින්. ඒ කඩදාසි පොතක් විදිහට එකතු කරලා මහලා මැදින් දෙකට නමලා තිබුණා.

අකුළන ලියවිල්ලට වඩා කෝඩෙක්ස් පිටපතේ වාසිය මොකක්ද? මුල් ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කළ අයයි. (මතෙව් 24:14; 28:19, 20) ඔවුන් ගෙවල්වල, වෙළඳපොළවල, ප්‍රසිද්ධ ස්ථානවල වගේ මිනිසුන් ගැවසුණ ඕනම තැනකදී ශුභාරංචිය කිව්වා. (ක්‍රියා 5:42; 17:17; 20:20) ඒ නිසා ශුද්ධ ලියවිල්ල කෝඩෙක්ස් පිටපතක් විදිහට තිබුණ එක ලොකු පහසුවක් වුණා.

සභාවල් හැටියටත් පුද්ගලයන් හැටියටත් කෝඩෙක්ස් පිටපතෙන් තවත් පිටපත් තමන්ටම කියලා හදාගන්න පුළුවන් වුණා. ඒ විදිහට ශුභාරංචි පොත් කීප වතාවක්ම පිටපත් කළා. ඒක මුල් ක්‍රිස්තියානීන්ගේ ගණන වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.

රයිලන්ඩ්ස් අත්පිටපත් කොටස, ඉදිරිපස සහ පිටුපස

ඒ කඩදාසි කෑල්ල අපිට වැදගත් වන දෙවෙනි හේතුව තමයි මුල් බයිබලයේ තිබුණ පණිවිඩය ඒ විදිහටම අද අපිට ලැබිලා තියෙනවා කියලා ඒකෙන් හෙළි වෙන එක. ඒ කඩදාසි කෑල්ලේ තිබුණේ යොහන් සුවිශේෂයේ පද කීපයක් වුණත් ඒ පදවල තියෙන අදහස අද අපි පාවිච්චි කරන බයිබලයේ ඒ විදිහටම තියෙනවා. කාලයක් පුරා බයිබලය නැවත නැවත පිටපත් කරලා තිබුණත් බයිබලයේ තියෙන පණිවිඩයේ වෙනසක් වෙලා නැහැ කියලා ඒකෙන් ඔප්පු වෙනවා.

බයිබලය නිවැරදිව පිටපත් කරලා තියෙනවා කියන එකට පුරාණ අත්පිටපත් සහ ඒවාවල කොටස් දහස් ගණනක් සාක්ෂි සපයනවා. රයිලන්ඩ්ස් පුස්තකාලයේ තියෙන අත්පිටපතේ කොටස ඒකෙන් එකක් විතරයි. වර්න කෙලර් ඔහුගේ පොතේ මෙහෙම ලියලා තියෙනවා. “අද අපි පාවිච්චි කරන බයිබලයේ තියෙන තොරතුරු විශ්වසනීයද, නිවැරදිද කියලා තහවුරු කරගන්න හොඳම සාක්ෂියක් වෙන්නේ ඉපැරණි අත්පිටපත්.”—The Bible as History.

ක්‍රිස්තියානීන් ඔවුන්ගේ විශ්වාසයන් පදනම් කරගන්නේ පුරාවිද්‍යාවෙන් හොයාගත්ත දේවල් මත නෙවෙයි. ඔවුන් විශ්වාස කරනවා ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ කියලා. (2 තිමෝති 3:16) ඒත් අතීතයේදී හොයාගත්ත මැණික් වගේ අගනා දේවලින් බයිබලයේ කියන මේ දේ තහවුරු වෙනවා. “යෙහෝවා දෙවි පවසන දේ සදහටම පවතියි.”—1 පේතෘස් 1:25.