Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

කයිරෝ දෙවියන්ට සේවය කරන්නේ ඇස්වලින්!

කයිරෝ දෙවියන්ට සේවය කරන්නේ ඇස්වලින්!

ඔයාගේ අනිත් අවයව හරියට වැඩ කරන්නේ නැතුව ඇස් දෙක විතරක් නම් හොඳට වැඩ කරන්නේ ඔයාට කොහොම හැඟෙයිද? මගේ අයියා ඉන්නෙත් ඒ වගේ තත්වයක. ඒත් එයා ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්. ඒ ගැන කියන්න කලින් එයාගේ කතාව කියලා ඉන්නම්.

ඉපදෙද්දිම අයියාට මොළයේ ආබාධිත තත්වයක් (cerebral palsy) තිබුණා. * ඒ නිසා එයාගේ අවයව පාලනය කරගන්න අමාරු වුණා. මොළයෙන් මාංශ පේශිවලට හරි පණිවිඩ යන්නේ නැහැ. අයියාට තියෙන්නේ දරුණුම තත්වයක් (spastic quadriplegia) නිසා අත් පා ඇඹරෙන එක පාලනය කරගන්න එයාට බැහැ. හිටි හැටියෙම එයාව ගැස්සෙන හින්දා එයාටම හානි වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවලදී ළඟපාත ඉන්න අය අවධානයෙන් හිටියේ නැත්නම් ඒ අයටත් අනතුරු වෙනවා. ඒ අනතුරු වළක්වන්න ඕන හින්දා හුඟක් වෙලාවට එයාගේ අත් පා රෝද පුටුවට බැඳලයි තියෙන්නේ.

වැඩිහිටි වියට පා නැඟුවේ වේදනාවෙන්

මාස තුනේදී අයියාව ගැහිලා ගැහිලා සිහි නැති වෙලා තියෙනවා. එතකොට එයා මැරිලා කියලා හිතලා අම්මා එයාව තුරුල් කරගෙන ඉක්මනින්ම ඉස්පිරිතාලෙට අරගෙන ගිහින්. පුංචි කාලේ ඉඳලාම අයියා වේදනා වින්දා.

වෙලාවකට එයාගේ අවයව දරදඬු වෙනවා ආයෙත් ලිහිල් වෙනවා. ඒ නිසා එයාගේ අත් පා විකෘති වුණා. වයස අවුරුදු 16දී එයාගේ උකුල් ඇටය පැන්න නිසා ලොකු සැත්කමක් කරන්න වුණා. ඒ දවස්වලදී අයියා හැමදාම රෑට වේදනාවෙන් කෑගහලා අඬපු විදිහ මට තාමත් මතක් වෙනවා.

ඒ දරුණු තත්වය නිසා එයාට කන්න, අඳින්න, ඇඳට යන්න වගේ පුංචි දේවල් පවා කරගන්න තනියම කරගන්න බැරි වුණා. ගොඩක් වෙලාවට උදව් කෙරුවේ අම්මායි තාත්තායි. අයියා අනිත් අයගේ උදව්වෙන් ජීවත් වුණත් අම්මායි තාත්තායි නිතරම මතක් කරලා දුන්නා එයාගේ ජීවිතය රැඳිලා තියෙන්නේ දෙවියන් මත කියලා.

අදහස් හුවමාරු කරන්න අලුත් ක්‍රමයක්

අපේ දෙමව්පියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා පුංචි කාලේ ඉඳලම කයිරෝට ඇහෙන්න බයිබල් කතන්දර කියෙව්වා. කෙනෙක්ට දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම් ජීවිතය අර්ථවත් වෙනවා කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. දුර්වල ශරීරයක් තිබුණත් අනාගතය ගැන දීප්තිමත් බලාපොරොත්තුවක් තියාගන්න අයියාට පුළුවන්. ඒත් බයිබලයේ තියෙන දැනුම තේරුම්ගන්න අයියාට පුළුවන්ද කියන එක ගැන ඒ අය කල්පනා කළා.

පුංචි කාලෙදී දවසක් තාත්තා අයියාට කිව්වා “කයිරෝ, මාත් එක්ක කතා කරන්නකෝ. ඇත්තටම ඔයා මට ආදරෙයි නම් මාත් එක්ක කතා කරනවා” කියලා. එක වචනයක් හරි කතා කරන්න කියලා තාත්තා ඇවිටිලි කළාම එයාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙන්න පටන්ගත්තා. හැඟෙන දේ එයා කියන්න හැදුවත් පිට වුණේ අපැහැදිලි ශබ්දයක් විතරයි. අයියාව ඇඬෙව්ව එක ගැන තාත්තාට හරියට දුක හිතුණා. ඒත් ඒකෙන් තාත්තාට තේරුණා එයා කිව්ව දේ අයියා තේරුම්ගත්තා කියලා. ප්‍රශ්නේ වුණේ අයියාට කතා කරගන්න බැරි වුණ එක විතරයි.

ඊට ටික දවසකට පස්සේ අයියා මොනවද කියන්න හදනවා වගේ ඇස් දෙක එහාට මෙහාට කරනවා අම්මායි තාත්තායි දැක්කා. එයා කියන්න හදන දේ අනිත් අයට තේරුම්ගන්න අමාරුයි කියලා දැනුණාම එයා කලකිරුණා. ඒත් ඇස්වලින් කරන සංඥා තේරුම්ගන්න අම්මලාට පුළුවන් වුණාට පස්සේ එයාට අවශ්‍ය දේවල් දුන්නා. එතකොට එයාගේ මුහුණේ ලොකු හිනාවක් ඇඳුණා. එයා ස්තුතියි කියලා කිව්වේ ඒ විදිහටයි.

අයියාට කතා කරන්න පුහුණු කරන කාන්තාව අදහස් හුවමාරු කරන්න හොඳ විදිහක් කිව්වා. එයාගෙන් ඔව්ද නැද්ද කියලා අහන්න නම් අපි අත් දෙක උස්සලා අපි අහන ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් දකුණු අත දිහා බලන්නත් නැහැ නම් වම් අත දිහා බලන්නත් කියන්න ඕනේ. එතකොට හරි අත දිහා බලලා එයාට උත්තර දෙන්න පුළුවන්.

කයිරෝගේ ජීවිතයට සැබෑ වෙනසක්

සාක්ෂිකරුවන් අවුරුද්දකට තුන් වතාවක් පවත්වන සමුළුවල බයිබල් දේශන අහන්න ලොකු පිරිසක් රැස් වෙනවා. ඒ සමුළුවලදී බව්තීස්ම වෙන අයට දෙන දේශනය අයියා අහන්නේ හරිම ආසාවෙන්. අයියාට වයස අවුරුදු 16දී තාත්තා ඇහුවා “ඔයා බව්තීස්ම වෙන්න කැමතිද” කියලා. එකපාරටම අයියා තාත්තාගේ දකුණු අත දිහා බලලා කැමතියි කියලා ඇඟෙව්වා. ඊටපස්සේ තාත්තා ඇහුවා “හැමදාටම සේවය කරනවා කියලා දෙවියන්ට ඔයා යාච්ඤා කරලා පොරොන්දු වුණාද” කියලා. ආපහු අයියා තාත්තාගේ දකුණු අත දිහා බැලුවා. ඒ වෙනකොටත් අයියා යෙහෝවා දෙවියන්ට එයාගේ ජීවිතේ කැප කරලා!

බව්තීස්ම වෙන එකේ වැදගත්කම අයියා තේරුම් අරන් හිටියා කියලා බයිබල් සාකච්ඡා කීපයකට පස්සේ පැහැදිලි වුණා. ඒ නිසා 2004දී එයාගෙන් වැදගත්ම ප්‍රශ්නය ඇහුවා. “ඔයා දෙවියන්ගේ කැමැත්ත කරන්න ජීවිතය කැප කරලාද තියෙන්නේ?” ඔව් කියලා අඟවන්න අයියා එක පාරටම ඇස් උඩට යැව්වා. ඒ උත්තරේ දෙන්න එයා ලෑස්ති වෙලයි හිටියේ. අවුරුදු 17දී එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

ඇස් යොමු කළේ දෙවියන්ට සේවය කරන්නයි

අලුත්ම විදිහකට අදහස් හුවමාරු කරන්න කයිරෝට 2011දී අවස්ථාව ලැබුණා. ඒ වගේ ආබාධිත අයට හදලා තියෙනවා ඇස්වලින් ක්‍රියා කරවන්න පුළුවන් කොම්පියුටරයක්. ඒක වැඩ කරන්නේ ඇහේ කළු ඉංගිරියාවේ චලන අනුවයි. කයිරෝට අදහස් හුවමාරු කරන්න පුළුවන් විදිහට එයාගේ කොම්පියුටරයට දත්ත කවලා තියෙනවා. එයා ස්ක්‍රීන් එකේ තියෙන සංකේතවලින් එකක් දිහා බලාගෙන ඉද්දී, එහෙම නැත්නම් ඒ දිහා බලලා ඇස් පිල්ලම් ගහද්දී ඒකට අදාළ වචනය හරි වාක්‍ය ඛණ්ඩය හරි කොම්පියුටරයෙන් ඇහෙනවා.

බයිබලය ගැන දැනුම වැඩි වෙද්දී අනිත් අයට ඒ ගැන කියන්න අයියාට ආසාවක් ඇති වුණා. පවුලක් හැටියට සතිපතා කරන බයිබල් පාඩමේදී එයා කොම්පියුටරය දිහා බලලා මා දිහා බලනවා. එහෙම කරන්නේ, ක්‍රිස්තියානි රැස්වීමේ ප්‍රශ්නෝත්තර වැඩසටහන්වලදී එයා කියන්න අදහස් කරන දේ ලියාගන්න කියලා මට කියන්නයි.

රැස්වීමේදී උත්තර දෙන්න එයා හෙමින් සීරුවේ ඇස් දෙක අවශ්‍ය සංකේතයට යොමු කරනවා. එතකොට කොම්පියුටරයෙන් පිට වෙන හඬෙන් එයාගේ උත්තරය ඇහෙනවා. ඒ විදිහට සභාවේ ඉන්න අයව දිරිගන්වන හැම වෙලාවෙම එයා සතුටු වෙනවා. අයියාගේ යාළුවෙක් තමයි ඇලෙක්ස්. එයා කිව්වේ “බයිබලයේ තියෙන දෙයක් ගැන කයිරෝ අදහස් දක්වනවා ඇහෙද්දී මට ලොකු සතුටක් දැනෙනවා” කියලයි.

ඇස්වලින් පාලනය කරන, හඬ නිකුත් වෙන කොම්පියුටරය යොදාගෙන කයිරෝ රැස්වීම්වලදී උත්තර දෙනවා. අනිත් අයට බයිබලය ගැනත් උගන්වනවා

අයියා එයාගේ විශ්වාසය ගැනත් ඇස්වලින් අනිත් අයට කියනවා. එයා ඒක කරන්නේ මෙහෙමයි. කොම්පියුටරයේ එක සංකේතයක් දිහා බලාගෙන ඉන්නවා. ඒකේ තියෙන්නේ සත්තුයි එක එක ජාතිවල මිනිස්සුයි ඉන්න ලස්සන උයනක පින්තූරයක්. ඒක දිහා බලාගෙන ඉන්නකොට කොම්පියුටරයෙන් බයිබලයේ එළිදරව් 21:4 තියෙන අදහස ඇහෙනවා. “බයිබලයේ දීලා තියෙන පොරොන්දුවක් තමයි පොළොව පාරාදීසයක් වෙලා ලෙඩ දුක් හා මරණය නැති වෙනවා කියන එක.” ඒක අහගෙන ඉන්න කෙනා උනන්දුවක් දක්වනවා වගේ පෙනුණොත් තවත් සංකේතයකට එයාගේ ඇහැ යොමු කරනවා. එතකොට ඇහෙන්නේ “ඔයා කැමතිද මාත් එක්ක බයිබලය පාඩම් කරන්න” කියලයි. අපේ සීයා ඒකට කැමති වුණා. අයියා තවත් සාක්ෂිකරුවෙක්ගේ උදව්වෙන් සීයාට බයිබලය ගැන ටිකෙන් ටික කියලා දුන්නා. කොච්චර සතුටක්ද කියනවා නම් 2014 අගෝස්තුවල මැඩ්රිඩ් නගරයේ තිබුණ තුන්දින සමුළුවේදී සීයා බව්තීස්ම වුණා.

අයියාට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා එයාගේ පාසැලේ ගුරුවරුන් දැක්කා. එයාට කථික පුහුණුව දෙන රොසාරියෝ මේ විදිහට කිව්වා. “මට කවදාහරි ආගමක් අදහන්න හිතුණොත් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙනවා. කයිරෝට කොච්චර අපහසුතා තිබුණත් එයාගේ ආගම නිසා එයාට දීප්තිමත් අරමුණක් ලැබිලා තියෙනවා.”

“කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.” (යෙසායා 35:6) බයිබලයේ තියෙන මේ පොරොන්දුව මම අයියාට ඇහෙන්න කියවද්දී එයාගේ ඇස් දීප්තිමත් වෙනවා. එයා අධෛර්යය වෙන වෙලාවල් තිබුණත් හුඟක් වෙලාවට ඉන්නේ ප්‍රීතියෙන්. එහෙම ඉන්නේ දෙවියන් එක්කයි අනිත් සාක්ෂිකරුවන් එක්කයි කිට්ටු බැඳීමක් තියෙන නිසා. දරුණු ආබාධිත තත්වයක් තිබුණත් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා නම් ඒ ජීවිතය වටිනා එකක් වෙනවා. අනාගතය ගැන අයියාට තියෙන හොඳ බලාපොරොත්තුවෙන් හා ශක්තිමත් විශ්වාසයෙන් ඒක පැහැදිලි වෙනවා.

^ 5 ඡේ. මේ ආබාධය නිසා මුළු ඇඟම ගැහෙන්නත් ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති වෙන්නත් කතා කිරීමේ අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. දරුණුම තත්වයේදී අත් පා වගේම බෙල්ල පාලනය කරගන්නත් බැරි වෙනවා.