Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | අල්ලස් හා දූෂණ නැති ලොවක්!

දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක්!

දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක්!

“රජයේ බලධාරීන් කියන්නෙත් රටේ පුරවැසියන්මයි. සමාජයේ ඉන්න අය අල්ලස් හා දූෂණවලට හවුල් වෙනවා නම් සමාජයේම ඉන්න බලධාරීන් ගැන වෙන මොන කතාද!” නිකරගුවාවේ විගණකාධිපති එහෙම කිව්වේ ආණ්ඩුවල දූෂණය, වංචාව සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි හේතුව ගැන කියද්දියි.

මුළු සමාජයම දූෂණය වෙලා නම් ආණ්ඩුවක දූෂණ, වංචා නැහැ කියලා හිතන්න පුළුවන්ද? එහෙනම් දූෂණය නැති ආණ්ඩුවක් මිනිස්සු අතරින් බිහි වෙන්න බැහැ. දූෂණය නැති වෙන්න නම් මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්ගේ පාලනයක් ඕනේ. ඒ වගේ පාලනයක් ගැන බයිබලයේ පැහැදිලි කරනවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ දේවරාජ්‍යය ගැන යාච්ඤා කරන්න කියලයි.—මතෙව් 6:9, 10.

දේවරාජ්‍යය, ස්වර්ගයේ පිහිටුවලා තියෙන ඇත්ත ආණ්ඩුවක්. ඒ පාලනය මගින් හැම මිනිස් ආණ්ඩුවක්ම නැති කරනවා. (ගීතාවලිය 2:8, 9; එළිදරව් 16:14; 19:19-21) ඒ වගේම ආණ්ඩුවල සිද්ධ වෙන දූෂණ, වංචාත් නැති කරනවා. ඒක සහතික කරන පැති හයක් ගැන බලමු.

1. බලය

ගැටලුව: ආණ්ඩුවකට රටේ පුරවැසියන්ගෙන් නිතරම බදු මුදල් ලැබෙනවා. මුදල් අතට ගලාගෙන එද්දී සමහර බලධාරීන් හොරකම් කරන්න පෙලඹෙනවා. තවත් අය බදු මුදල හෝ රජයට කරන්න තියෙන ගෙවීම් අඩු කරගන්න තමන් ළඟට එන අයගෙන් පගාව අරගෙන ඒක කරලා දෙනවා. ඒ පාඩුව පියවන්න ආපහු බදු මුදල් වැඩි කරන්න රජයට සිද්ධ වෙනවා. මේක දිගින් දිගටම වෙනවා. ඒ නිසා දූෂණ, වංචාවල කෙළවරක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකෙන් දුක් විඳින්නේ අවංක අයයි.

විසඳුම: දේවරාජ්‍යයට බලය ලැබෙන්නේ සියලු බලැති දෙවියන් වන යෙහෝවාගෙන්. * (එළිදරව් 11:15) ඒ පාලනය ගෙනියන්න බදු මුදල් අවශ්‍ය නැහැ. ‘අතිමහත් බලයක්’ තියෙන දෙවියන් පරිත්‍යාගශීලීයි. ඒ නිසා දේවරාජ්‍යයේ යටත්වැසියන් හැමෝගෙම අවශ්‍යතා සපුරයි  කියලා ස්ථිර වෙන්න පුළුවන්.—යෙසායා 40:26; ගීතාවලිය 145:16.

2. පාලකයා

ගැටලුව: දූෂණය නැති කරන්න නම් “පටන්ගන්න ඕන ඉහළම තැනින්” කියලා කලින් ලිපියේ සඳහන් කරපු සූසන් රෝස්ඇකමන් කිව්වා. පොලීසියේ හෝ රේගුවේ නිලධාරීන්ගේ වංචා ඉවත් කරන්න ආණ්ඩුවලින් උත්සාහ කෙරුවත් රජයේ බලධාරීන්ගේ දූෂණ, වංචාවලට ඉඩ දෙනවා නම් ආණ්ඩු කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. අනිත් අතට ප්‍රතිපත්තිගරුක පාලකයෙක් වුණත් වැරදි කරනවා. මොකද බයිබලයේ කියන්නේ “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලයි.—දේශනාකාරයා 7:20.

යේසුස්ට ලොකුම අල්ලස දෙන්න හැදුවත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා

විසඳුම: දේවරාජ්‍යයේ පාලකයා හැටියට දෙවියන් තෝරගෙන තියෙන්නේ යේසුස්වයි. වැරදි කරන්න ඔහුව පොලඹවගන්න බැහැ. උදාහරණයකට, මේ ලෝකයේ පාලකයා වන යක්ෂයා තමාට නමස්කාර කරන්න යේසුස්ව පොලඹවගන්න ‘සියලු රාජ්‍යයන් හා ඒවායේ තේජස’ දෙන්න හැදුවා. දෙන්න පුළුවන් ලොකුම අල්ලස ඒකයි. යේසුස් ඒක ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:8-10; යොහන් 14:30) වධකණුවේ ඇණ ගහලා හිටිය වෙලාවෙත් දෙවියන් ගැන තිබුණ විශ්වාසය බිඳක්වත් අඩු වෙන්න යේසුස් ඉඩ දුන්නේ නැහැ. ඒ වෙලාවේ වේදනාව අඩු කරන මත් කරවනසුලු ද්‍රව්‍යයක් දුන්නත් යේසුස් ඒක ප්‍රතික්ෂේප කළා. ඔහු ඒක ගත්තා නම් සිහිකල්පනාව අඩු වෙනවා. (මතෙව් 27:34) දෙවියන් නැවත නැඟිට්ටෙව්ව යේසුස් දැන් ඉන්නේ ස්වර්ගයේ! ඔහු දේවරාජ්‍යයේ පාලකයා වෙන්න හැම සුදුසුකමක්ම තියෙනවා කියලා ඔප්පු කරලයි තියෙන්නේ.—ෆිලිප්පි 2:8-11.

3. ස්ථාවරත්වය

ගැටලුව: හුඟක් රටවල නිතරම ඡන්ද පවත්වනවා. ඒ නිසා ඡන්දෙදී දූෂණ, වංචා කරන දේශපාලන බලවතුන් නිලයෙන් ඉවත් කරන්න මහජනයාට ඉඩ සැලසෙනවා. සංවර්ධිත රටවල පවා ඡන්දෙ කාලෙදී වංචාවන් සිද්ධ වෙනවා. තමන්ගේ මුදල් ඡන්දේ වෙනුවෙන් හරි වෙනත් දේවල් වෙනුවෙන් හරි විසි කරලා බලයේ ඉන්න අයටත් බලයට පත් වෙන අයටත් බලපෑම් කරන්න ධනවතුන්ට පුළුවන්.

ඒ වගේ බලපෑම් “රජයේ පාලන තත්වයට විතරක් නෙවෙයි රජය ගැන තියෙන විශ්වාසයටත්” තර්ජනයක් කියලා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජෝන් පෝල් ස්ටීවන්ස් ලිව්වා. එහෙනම් වැඩියෙන්ම අල්ලස් හා දූෂණ සිද්ධ වෙන්නේ දේශපාලන පක්ෂවල කියලා “ලෝකේ පුරා” ඉන්න ජනයා හිතන එක පුදුමයක්ද?

විසඳුම: දේවරාජ්‍යයේ පාලනය සදහටම පවතින එකක්. එදාට දේශපාලන ව්‍යාපාරවලින් හෝ ඡන්දවලින් සිද්ධ වෙන වංචා නැහැ. (දානියෙල් 7:13, 14) පාලකයාව තෝරන්නේ දෙවියන්මයි. ඒ නිසා මහජන ඡන්දෙකින් පාලකයෙක්ව පත් කරන්නවත් ඉවත් කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. දේවරාජ්‍යය ස්ථාවර ආණ්ඩුවක් නිසා හැම පියවරක්ම ගන්නේ ජනයාගේ යහපතට කියන එක සහතිකයි.

 4. නීති

දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන සැබෑ ආණ්ඩුවක්

ගැටලුව: අලුත් නීති පැනෙව්වා නම් තත්වය හොඳ අතට හැරෙයි කියලා ඔබට හිතෙයි. ඒත් නීති වැඩි කරද්දී හුඟක් වෙලාවට දූෂණ, වංචා සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා කියලයි හොයාගෙන තියෙන්නේ. දූෂණ, වංචා අඩු කරන්න හදලා තියෙන නීති ක්‍රියාත්මක කරන්න ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වුණත් වැඩි යහපතක් නම් වෙලා නැහැ.

විසඳුම: මිනිස් ආණ්ඩුවලින් හදන නීතිවලට වඩා දේවරාජ්‍යයේ නීති හරිම ඉහළයි. උදාහරණයකට, කරන්න හෝ නොකරන්න ඕන දේවල ලැයිස්තුවක් දෙනවා වෙනුවට යේසුස් කිව්වේ “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියලයි. (මතෙව් 7:12) ඇත්තෙන්ම දේවරාජ්‍යයේ නීති, ක්‍රියාවන්වලට වගේම සිතුවිලිවලටත් බලපානවා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා යේසුස් කිව්වා. (මතෙව් 22:39) ඒ වගේ නීති පනවන්න පුළුවන් වෙන්නේ හදවත්වල තියෙන දේ දකින දෙවියන්ට විතරයි.—1 සාමුවෙල් 16:7.

5. සිතුවිලි

ගැටලුව: දූෂණ, වංචා කරන්නේ කෑදරකම සහ ආත්මාර්ථකාමිකම නිසයි. රජයේ බලධාරීන්ටත් පුරවැසියන්ටත් හුඟක් වෙලාවට ඒ ගුණාංග තියෙනවා. කලින් ලිපියේ වෙළඳ සංකීර්ණයේ කඩා වැටීමක් ගැන කිව්වා මතකද? හොඳම අමුද්‍රව්‍යවලටයි, උසස් තත්වයේ ඉදි කිරීම්වලටයි වැඩි වියදමක් යන නිසා රජයේ බලධාරීන්ට පගාවක් දීලා වියදම අඩු කරගන්න පුළුවන් කියලා කොන්ත්‍රාත්කරුවෝ දැනගෙන හිටියා.

එහෙමනම් දූෂණ, වංචා නැති කරන්න පුළුවන් වෙන්නේ කෑදරකම හා ආත්මාර්ථකාමිකම වගේ හැඟීම් ඉවත් කෙරුවොත් විතරයි. ඒ සිතුවිලි නැති කරගන්න විදිහ මිනිසුන්ට උගන්වන්න ඕනේ. ඒත් මිනිස් ආණ්ඩුවලට ඒ වගේ දෙයක් කරන්න වුවමනාවක්වත් ඒ වගේ දෙයක් කරන්න හැකියාවක්වත් නැහැ.

විසඳුම: මිනිසුන්ට තමන්ගේ වැරදි සිතුවිලි නිවැරදි කරගන්න දේවරාජ්‍යයෙන් උගන්වනවා. එතකොට කිසිම දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. * ඒ නිසා ඔවුන්ට  “අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු” වෙන්න පුළුවන්. (එෆීස 4:23) ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් කෑදරකම, ආත්මාර්ථකාමිකම වගේ ගුණාංග අයින් කරලා සෑහීමට පත් වෙන්නත් අනිත් අය ගැන සැලකිල්ල දක්වන්නත් ඉගෙනගන්නවා.—ෆිලිප්පි 2:4; 1 තිමෝති 6:6.

6. යටත්වැසියන්

ගැටලුව: හොඳම වාතාවරණයක් තිබුණත් යහපත් ගුණාංග ගැන උපරිමයෙන් ඉගැන්නුවත් සමහර අය වංක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මිනිස් ආණ්ඩුවලට දූෂණ, වංචා නැති කරන්න බැරි වෙලා තියෙන්නේ කියලා ප්‍රවීණයන් කියනවා. ඒකෙන් පේන්නේ අල්ලස් හා දූෂණ යම් දුරකට පාලනය කරන්න ආණ්ඩුවකට පුළුවන් වුණත් ඒවා සම්පූර්ණයෙන්ම නැති කරන්න බැහැ කියලයි.

විසඳුම: දූෂණ, වංචා නැති කරන්න නම් “විශ්වාසවන්තව, අවංකව හා වගකීමක් ඇතුව” වැඩ කරන එකේ වැදගත්කම ගැන ආණ්ඩුවලින් හැමෝවම දැනුවත් කරන්න ඕනේ කියලා එක්සත් ජාතීන්ගේ සම්මේලනයකදී කිව්වා. ඒත් දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න ඒ ගුණාංග ගැන දැනුවත් වෙලා ඉන්න එක විතරක් මදි. ඒවා ක්‍රියාත්මක කරන්නත් ඕනේ. බයිබලයේ කියන්නේ ‘කෑදරකමින් ක්‍රියා කරන අයත් බොරුකාරයනුත්’ දේවරාජ්‍යය උරුම කරගන්නේ නැහැ කියලයි.—1 කොරින්ති 6:9-11; එළිදරව් 21:8.

හොඳ ගුණාංග තියෙන අය වෙන්න ඉගෙනගන්න කාටත් පුළුවන්. මුල් ක්‍රිස්තියානීන් අතරත් ඒ වගේ අය හිටියා. උදාහරණයකට, සීමොන් කියන කෙනා යේසුස්ගේ නියෝජිතයන්ගෙන් දෙවිගේ බලය සල්ලිවලට ගන්න හැදුවා. ඒ වෙලාවේ ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරලා මෙහෙම කිව්වා. “ඔබේ මේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන්න.” එතකොට ඒ වැරදි ආශාව අනතුරුදායකයි කියලා සීමොන්ට තේරුණා. ඒ නිසා ඒ ආශාව අයින් කරගන්න තමන් වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න කියලා ඔහු නියෝජිතයන්ගෙන් ඉල්ලුවා.—ක්‍රියා 8:18-24.

දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න පුළුවන් විදිහ

ඔබ මොන ජාතියකට අයිති වුණත් දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න ඔබට පුළුවන්. (ක්‍රියා 10:34, 35) ඒ කොහොමද කියලා ඒ රාජ්‍යය මගින් දෙන අධ්‍යාපනයෙන් දැනගන්න පුළුවන්. දැනටත් ලෝකේ පුරා ඒ වගේ අධ්‍යාපනික වැඩසටහනක් කෙරීගෙන යනවා. නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවක් මගින් ඔබට ඒ දැනුම දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. ඒකට ගත වෙන්නේ සතියකට විනාඩි දහයක් වගේ කාලයක් විතරයි. “දෙවිගේ රාජ්‍යය” මගින් අල්ලස් හා දූෂණ සම්පූර්ණයෙන්ම නැති කරනවා කියන “ශුභාරංචිය” ඇතුළු තවත් හුඟක් දේවල් ඉගෙනගන්න ඔබට පුළුවන්. (ලූක් 4:43) ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. එහෙම නැත්නම් www.pr418.com/si වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබ සමඟ නොමිලේ බයිබල් සාකච්ඡාවක් කරන්න කෙනෙක් එනවට කැමතිද?

^ 8 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

^ 22 ඡේ. උදාහරණයකට 2012 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “දූෂිත ලොවක අවංකව” කියන ලිපිය බලන්න.