Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

නැවත විවාහයත් සමඟ එන අභියෝග ජය ගන්න

නැවත විවාහයත් සමඟ එන අභියෝග ජය ගන්න

මාග්‍රට්: * “මගේ මහත්තයගේ කලින් කසාදේ නෝනා එයාගේ දරුවන්ට කියලා තිබුණා මං කියන කිසිම දෙයක් අහන්න එපා කියලා. අඩු ගානේ ‘නිදාගන්න ඉස්සෙල්ලා දත් මදින්න’ කියලා මං එයාලට කිව්වොත් ඒකවත් අහන්න එපා කියලා තිබුණා.” ඒ වගේ දේවල් නිසා තමන්ගේ විවාහය තුළත් ප්‍රශ්න ඇති වෙනවා කියලා මාග්‍රට් පවසනවා.

ඔයා එක්ක සැමියගේ කලින් කසාදේ දරුවොත් ජීවත් වෙනවද? නැත්නම් නැවත විවාහ වෙලා ඉන්න ඔයා එක්ක ඔයාගේ කලින් කසාදේ දරුවෝ ජීවත් වෙනවද? * එහෙමනම් ඔයාගේ මේ අලුත් පවුලට අයිති නැති අය එක්ක කටයුතු කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. * ඒ වගේ අභියෝග කීපයක් හා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් බලමු.

1වෙනි අභියෝගය: කලින් විවාහේ සහකරු හෝ සහකාරිය සමඟ කටයුතු කිරීම

සැමියගේ කලින් විවාහේ දරුවන් සමඟ ජීවත් වෙන ජූඩත් මෙහෙම කිව්වා. “මගේ මහත්තයගේ කලින් බිරිඳ එයාගේ දරුවන්ට කියලා තිබුණා මම එයාලගේ තාත්තව බැන්දට මායි එයාලයි අතරේ කිසිම නෑකමක් නැහැ කියලා. අපිට හම්බ වෙන දරුවෝ එයාලගේ නංගිලා මල්ලිලා නෙමෙයි කියලත් එයා කියලා තිබුණා. ඒ වචන මගේ හිත ගොඩක් පෑරුවා. මොකද මං මේ ළමයිට ආදරේ කරන්නේ මගේම දරුවන්ට වගේ.”

කලින් විවාහේ සහකරු එක්ක හෝ සැමියගේ කලින් විවාහේ සහකාරිය එක්ක කටයුතු කරද්දී දැන් ගත කරන පවුල් ජීවිතය තුළ ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. හුඟක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ දරුවන්ගේ අම්මයි සුළු මවයි අතරේ. ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

විසඳුම: සාධාරණ වෙන්න. ඒත් සීමාව තේරුම්ගන්න. දරුවෙකුට ජීවිතය දුන්න අම්මටයි තාත්තටයි ඒ දරුවගේ ජීවිතේ විශේෂ තැනක් තියෙනවා. (හිතෝපදේශ 23:22, 25) ඒ නිසා දරුවගේ අම්මව හරි තාත්තව හරි එයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්න එපා. ඒක දරුවගේ මානසිකත්වයට බලපාන්න පුළුවන්. * අනිත් අතට ඔයාගේ කලින් විවාහේ සහකරුට ඔයා දැන් ගත කරන පවුල් ජීවිතේට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න ඉඩ දුන්නොත් ප්‍රශ්න ඇති වෙයි. ඒ නිසා ඔයාගේ විවාහෙට තර්ජනයක් නොවන විදිහට දරුවන්ගේ වැඩවලට එයාව හවුල් කරවගන්න වගබලා ගන්න.

දෙමාපියන්ට මඟ පෙන්වීම්

  • ඔයාගේ කලින් සහකරු එක්ක කතාබහ කරද්දී දරුවන්ගේ කාරණා ගැන විතරක් කතා කරන්න. වෙනත් දේවල් ගැන කතා කරන එක පුළුවන් තරම් අඩු කරන්න. දරුවන් ගැන මොනවා හරි ඔයාත් එක්ක කතා කරන්න තියෙනවා නම් හිතුණු හිතුණු වෙලාවට කෝල් කරන්නේ නැතුව ඒකට නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න කියලා එයාට කාරුණිකව කියන්න.

  • දරුවන්ගේ භාරකාරත්වය ඔයාට නැති වුණත් එයාලට කෝල් කරලා හරි, SMS, ඊ-මේල්, ලිපි නැත්නම් වෙනත් මාර්ගයකින් හරි දිගටම සම්බන්ධය තියාගන්න. (ද්විතීය කතාව 6:6, 7) එතකොට දරුවන් හිතන විදිහ හා එයාලට තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න ඔයාට පුළුවන්.

සුළු මවට මඟ පෙන්වීම්

  • ඔයාගේ සැමියගේ කලින් බිරිඳගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරන්න. (1 පේතෘස් 3:8) ඔයා එයාගේ දරුවන්ගේ අම්මා වෙන්න හදනවා කියන හැඟීම එයාට දෙන්න එපා. දරුවන් ගැන තොරතුරු එයාට නිතරම වගේ දැනුම් දෙන්න. එහෙම කරද්දී දරුවන්ගේ හොඳ පැති ගැන කියන්න වගබලා ගන්න. (හිතෝපදේශ 16:24) දරුවන්ට සම්බන්ධ සමහර කාරණාවලදී එයාගෙනුත් උපදෙස් ගන්න. ඒවා අගය කරන්න.

  • අම්මා ඉස්සරහ දරුවන්ට ආදරේ පෙන්නන එක පුළුවන් තරම් දුරට අඩු කරන්න. සුළු මවක් වන බෙවලි මෙහෙම කිව්වා. “මගේ සැමියගේ කලින් විවාහේ දරුවන්ට ඕන වුණා මටත් අම්මා කියලා කියන්න. අපේ ගෙදරදී එහෙම කිව්වට එයාලගේ අම්මා ඉස්සරහ නැත්නම් අම්මගේ පවුලේ අය ඉස්සරහ එහෙම කියන්න එපා කියලා අපි දරුවන්ට කිව්වා. ඒකෙන් පස්සේ සැමියගේ කලින් බිරිඳට මාත් එක්ක පෑහිලා වැඩ කරන්න පුළුවන් වුණා.”

දරුවන් එක්ක සම්බන්ධය දිගටම තියාගන්න

දෙමාපියන්ට හා සුළු මාපියන්ට මඟ පෙන්වීම්

  • කාරුණික වීමෙන් හා ගෞරවය පෙන්වීමෙන් පවුලේ සාමය රැකෙයි

    දෙමාපියන්ගේ වැරදිවත් සුළු මාපියන්ගේ වැරදිවත් දරුවා ඉස්සරහ කතා කරන්න එපා. ඒකෙන් දරුවගේ හිත පෑරෙන්න පුළුවන්. ඒ වගේම ඔයා කියන දේ දරුවා ඒ කෙනාට ආපහු කොහොම කියයිද කියලා ඔයා දන්නේ නෑ. (දේශනාකාරයා 10:20) එහෙම දරුවගේ කනට වැටුණු දෙයක් දරුවා ඇවිත් ඔයාට කිව්වා කියලා හිතන්න. ඒ වගේ වෙලාවකදී කියපු දේට අවධානය දෙන්නැතුව ඒක දරුවට කොහොම බලපායිද කියලා හිතන්න. උදාහරණයකට ඔයාට මෙහෙම කියන්න පුළුවන්. “මං ගැන ඒ වගේ දෙයක් ඔයාට අහන්න වුණු එක ගැන මට දුකයි. ඔයාගේ අම්මා ඉන්නේ මාත් එක්ක ටිකක් තරහෙන්. තරහෙන් ඉන්න කොට හිතන්නේ බලන්නේ නැතුව කතා කරන්න ඉඩ තියෙනවා.”

  • දරුවට පනවලා තියෙන නීති, කරන්න දීලා තියෙන වැඩ දරුවා ඔයා එක්ක ඉද්දිත් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. වෙනසක් කරන්න සිද්ධ වුණොත් ඒකට හේතුව දරුවට පැහැදිලි කරන්න. හැබැයි නීතිය දාපු කෙනාව හෑල්ලු කරන්න එපා. මේ උදාහරණය බලන්න.

    සුළු මව: පුතා, ඔයා පාවිච්චි කරපු මේ තෙත තුවාය වැලට දාන්න.

    පුතා: අම්මා එක්ක ඉද්දි නම් මගේ තුවාය වැලට දාන්නේ අම්මා.

    සුළු මව (කේන්තියෙන්): ඔව් ඉතින්, ඔයාගේ අම්මා ඔයාව හරියට හදන්න දන්නවායැ.

    මෙහෙම කිව්වොත් ඊට වඩා හොඳ නැද්ද?

    සුළු මව (කේන්ති ගන්නේ නැතුව): ඒ, අම්මා එක්ක ඉද්දිනේ පුතේ. මෙහෙදී අපේ වැඩ අපිම තමයි කරන්න ඕනෙ.

  • දරුවන් එක්ක කාලය ගත කරන්න ඔයාගේ කලින් සැමියා වෙලාවක් වෙන් කරගෙන තියෙනවා නම් ඒ වෙලාවෙදී දරුවන්ව වෙනත් දේවලට යොදවන්න එපා. (මතෙව් 7:12) බැරි වෙලාවත් එදාට වෙන වැඩක් යෙදුණොත් ඒ ගැන එයාට කලින්ම දැනුම් දීලා ඒ සඳහා අවසර ගන්න. ඊටපස්සේ ඒ ගැන දරුවන්ට කියන්න.

මෙහෙම කරලා බලන්න: ඔයාගේ සැමියගේ කලින් විවාහේ බිරිඳව මුණගැහුණොත් නැත්නම් ඔයාගේ කලින් සැමියගේ බිරිඳව ඔයාට මුණගැහුණොත් . . .

  1. එයාත් එක්ක හිනා වෙන්න. ඔයා එයාට අකමැතියි කියලා අඟවන විදිහට හැසිරෙන්න එපා.

  2. නම කියලා එයාට ආචාර කරන්න.

  3. කට්ටියක් එක්ක කතා කරද්දී එයාත් එතන ඉන්නවා නම් එයාවත් කතාවට හවුල් කරගන්න.

2වෙනි අභියෝගය: ගෙදරින් පිට ජීවත් වෙන වැඩිහිටි දරුවන් සමඟ කටයුතු කිරීම

“මගේ මහත්තයා නිතර එයාගේ කලින් විවාහේ දරුවන්ගේ පැත්ත ගන්නවා. එයාලා මට අකාරුණික විදිහට සලකනවා කියලා මම එයාට කිව්වට එයා ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේ වෙලාවලදී මට හොඳටම කේන්ති යනවා” කියලා එක කාන්තාවක් කිව්වා. සැමියගේ කලින් විවාහේ වැඩිහිටි දරුවන් නිසා ඔයාගේ විවාහ ජීවිතේ ඇති වෙන ගැටලු වළක්වගන්නේ කොහොමද?

විසඳුම: හැඟීම් තේරුම්ගන්න. බයිබලේ මෙහෙම කියනවා. “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.” (1 කොරින්ති 10:24) ඔයාගේ සැමියගේ හැඟීම් වගේම එයාගේ වැඩිහිටි දරුවන්ගේ හැඟීම්ද තේරුම්ගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට තමන්ගේ දෙමාපියන් නැවත විවාහ වෙද්දී එයාලගේ ආදරේ අහිමි වෙයි කියලා වැඩිහිටි දරුවන් තුළ භයක් තියෙනවා. තාත්තා නැවත විවාහ වෙන කෙනාව තමන් පිළිගත්තොත් තමන් අම්මට කරන්නේ ද්‍රෝහිකමක් කියලත් දරුවන්ට හැඟෙනවා. නැවත විවාහ වෙන දෙමාපියන් තුළත් ලොකු භයක් තියෙනවා දරුවන්ගේ වැරදි අඩුපාඩු පෙන්නුවොත් එයාලා තමන්ගෙන් ඈත් වෙයි කියලා.

ඔයාගේ සැමියගේ කලින් විවාහේ දරුවන්ගේ ආදරේ බලෙන් ගන්න හදන්න එපා. ආදරයක්, බැඳීමක් ඇති වෙන්න ඕනේ හදවතින්මයි. (සලමොන්ගේ ගීතිකාව 8:4) ඒ නිසා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන සාධාරණ වෙන්න.

දරුවන්ගෙන් ඔයාට අසාධාරණයක් වුණත් ඒ ගැන ඔයාට හැඟෙන හැම දේම එයාලට කියන්න එපා. (හිතෝපදේශ 29:11) ඒක කරන්න අමාරු නම් දාවිත් රජ වගේ ඔයාත් දෙවිට මේ විදිහට යාච්ඤා කරන්න. “යෙහෝවා දෙවියනි, මාගේ මුඛයට රැකවලෙකු පත් කරන්න. මාගේ දෙතොලින් පිට වන වදන් ගැන විමසිලිමත්ව සිටීමට උපකාර කරන්න.”—ගීතාවලිය 141:3.

ඔයා දැන් පදිංචි වෙලා ඉන්නේ ඔයාගේ සැමියා කලින් විවාහ වෙලා ඉද්දී දරුවන් එක්ක ජීවත් වුණු නිවසෙම නම් දරුවන්ට තමන් ඇතිදැඩි වුණු නිවස ගැන ලොකු හැඟීමක් තියෙනවා කියලා ඔයාට තේරෙයි. ඒ නිසා ඒ ගෙදර, විශේෂයෙන්ම එයාලා හිටපු කාමරවල වෙනස්කම් කරන එක පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් නම් හොඳම දේ වෙන නිවසක පදිංචි වෙන එකයි.

මෙහෙම කරලා බලන්න: ඔයාගේ සැමියගේ කලින් විවාහේ දරුවන් නිතරම ඔයාගේ හිත රිද්දවනවා නම් ඒ ගැන ඔයාගේ සැමියා එක්ක කතා කරන්න. ඒ වගේම එයාට හොඳින් සවන් දෙන්න. දරුවන්ව නිවැරදි කරන්න කියලා එයාට බල කරන්න එපා. දෙන්නට දෙන්නා තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔය දෙන්නා ‘එකඟතාවකින් කටයුතු කරද්දී’ විසඳුමක් හොයන්න පහසුයි.—2 කොරින්ති 13:11.

පවුලේ හැමෝටම එක විදිහට ආදරේ පෙන්නන්න

3වෙනි අභියෝගය: නෑදෑයන් හා මිතුරන් සමඟ කටයුතු කිරීම

එක මවක් මෙහෙම කිව්වා. “මගේ දෙමාපියන් අපේ පුතාට නිතරම වගේ තෑගි දුන්නා. ඒත් මගේ මහත්තයගේ කලින් කසාදේ දරුවන්ට එයාලා මුකුත් දුන්නේ නෑ. එයාලට දුකක් දැනෙන්නේ නැති වෙන්න අපි එයාලට තෑගි අරන් දුන්නා. හැබැයි ඒක නිතරම කරන්න බෑ.”

විසඳුම: දැන් ගත කරන පවුල් ජීවිතේට මුල් තැන දෙන්න. දැන් ඔයාගේ පවුලට ඇතුළත් හැම කෙනෙක්ම ඔයාට වටිනවා කියලා නෑදෑයන්ට, යාළුවන්ට කියන්න. (1 තිමෝති 5:8) එයාලා එකපාරටම ඔයාගේ අලුත් පවුලේ හැම කෙනෙක්වම පිළි අරගෙන එයාලට ආදරේ කරයි කියලා හිතන්න එපා. හැබැයි ඔයාගේ පවුලේ හැමෝටම කාරුණිකව සලකන්න කියලා එයාලට කියන්න. තව කෙනෙක්ට ලැබෙන ආදරේ, කරුණාව තමන්ට ලැබෙන්නේ නැහැ කියලා දරුවෙකුට දැනෙද්දී එයාගේ හිත කොච්චර රිදෙන්න පුළුවන්ද කියලා එයාලට පැහැදිලි කරලා දෙන්න.

ඔයාගේ කලින් විවාහේ සහකරුගේ දෙමාපියන්ට ඔයාලගේ දරුවන්ව ආශ්‍රය කරන්න, කතාබහ කරන්න අවස්ථාව දෙන්න. සූසන් මෙහෙම කියනවා. “මගේ මහත්තයා මැරිලා අවුරුදු එකහමාරකින් මං ආයේ බැන්දා. හැබැයි මගේ කලින් මහත්තයගේ දෙමාපියන්ට මුලින් එයාව පිළිගන්න අමාරු වුණා. එයාලා එක්ක හොඳ බැඳීමක් ආයේ ඇති කරගන්න අපි පවුලේ සමහර දේවලට එයාලටත් ආරාධනා කළා. එයාලට කෝල් කරන්න, එයාලා කරන උදව්වලට තැන්කියු කියන්න අපි දරුවන්ට මතක් කළා.”

මෙහෙම කරලා බලන්න: ඔයාට එච්චර කැමැත්තක් නැති නෑදෑයා හරි යාළුවා හරි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයාගේ සැමියගෙන් අහන්න.

නැවත විවාහ වෙන යුවළකට පවුල් ජීවිතය තුළ විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ඒවා ජය ගන්න පුළුවන්. “ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ” යන වදන් මොන තරම් සත්‍යයද කියලා එතකොට ඔයාට තේරෙයි.—හිතෝපදේශ 24:3.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 4 ඡේ. මේ ලිපිය නැවත විවාහ වුණු කාන්තාවකට අදාළ වෙන විදිහට ලියලා තිබුණත් මෙහි ප්‍රතිපත්ති නැවත විවාහ වුණු පුරුෂයෙකුටත් අදාළයි.

^ 4 ඡේ. ඒ වගේ පවුල් මුහුණ දෙන වෙනත් අභියෝග හා ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්න 2012 අප්‍රියෙල් පිබිදෙව්! කලාපය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 8 ඡේ. හිටපු සහකරු හෝ සහකාරිය සැරපරුෂ කෙනෙක් නම් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි සීමාවන් පනවන්න සිදු වෙයි.

මේ ගැන හිතන්න

  • මගේ සැමියගේ කලින් විවාහේ සහකාරිය එක්ක සමාදානයෙන් කටයුතු කරන්න මට පුළුවන් කොහොමද?

  • හිතාමතා නොකළත් අපේ පවුලේ බැඳීමට හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන නෑදෑයන්ව හා මිතුරන්ව දැනුවත් කරන්න පුළුවන් කොහොමද?