Skip to content

පටුනට යන්න

බයිබලය ස්වහීලී භාෂාවෙන්

බයිබලය ස්වහීලී භාෂාවෙන්

ස්වහීලී යන වචනය ඇසුණු සැණින් බොහෝදෙනෙකුට මතකයට එන්නේ සුන්දර වන සතුන්ගෙන් පිරුණු අප්‍රිකාවයි. නමුත් ස්වහීලී භාෂාව ගැනත් එම භාෂාව කතා කරන මිනිසුන් ගැනත් අප දැන ගත යුතු තවත් බොහෝ දේ තිබෙනවා.

ස්වහීලී භාෂාව කියන්නේ මධ්‍යම හා නැඟෙනහිර අප්‍රිකානු රටවල් 12ක පමණ සිටින මිලියන 100දෙනෙක් පමණ කතා කරන භාෂාවක්. * කෙන්යාව, ටැන්සානියාව සහ උගන්ඩාව වැනි රටවල්වල ප්‍රධාන භාෂාව වන්නේත් එයයි. ඒ අවට ඇති රටවල් බොහොමයක ඉන්න අයත් ස්වහීලී භාෂාව හොඳින් දන්නවා. එය ව්‍යාපාර කටයුතුවලටත් අදහස් හුවමාරුවටත් මහත් රුකුලක් වී තිබෙනවා.

නැඟෙනහිර අප්‍රිකානු රටවල සිටින මිනිසුන් විවිධ භාෂා කතා කරන අය වුණත් ඔවුන් ස්වහීලී භාෂාව දන්නා නිසා එකමුතුව වැඩ කිරීමට එය ඔවුන්ට මහත් උපකාරයක් වී තිබෙනවා. උදාහරණයකට ටැන්සානියාවේ පමණක් භාෂාවන් 114ක් පමණ කතා කරනවා. මොහොතකට මෙසේ සිතන්න. ඔබ කිලෝමීටර් 40-80ක් පමණ දුරක් ගමන් කරන විට ඔබට හමුවන මිනිසුන් කතා කරන්නේ ඔබට නොතේරෙන භාෂාවක්. එපමණක් නොවෙයි ගමින් ගමට ඔවුන් කතා කරන භාෂාවත් වෙනස්. ඔබට ඒ ගැන කොහොම හැඟෙයිද? හැමෝම දන්නා භාෂාවක් තිබීම මොන තරම් ප්‍රයෝජනවත්ද කියා ඔබ සිතනවාට කිසිම සැකයක් නැහැ.

ස්වහීලී භාෂාවේ ඉතිහාසය

ස්වහීලී භාෂාව කතා කිරීමට පටන්ගෙන තිබෙන්නේ දහවෙනි සියවසේදී පමණ කියා සිතන්න පුළුවන්. එය ලිඛිත භාෂාවක් වී තිබෙන්නේ 16වන සියවසේදියි. එතැන් පටන් බොහෝ කාලයක් පුරා ස්වහීලී භාෂාව ලිවීමට වැඩිහරියක් යොදාගැනුණේ අරාබි වචන. එයට හේතුව එම භාෂාව කතා කරද්දී ඉන් සියයට විස්සක්ම තිබෙන්නේ අරාබි වචන වීමයි.

නමුත් අද ස්වහීලී භාෂාවේ වචන ලියන්නේ ඉංග්‍රීසි අකුරුවලින්. ඒ ඇයි? එය තේරුම්ගැනීමට 19වන සියවසේදී සිදු වූ දෙයක් ගැන අප දැනගත යුතුයි. ඒ කාලයේදී නැඟෙනහිර අප්‍රිකාවේ සිටි මිනිසුන්ට බයිබලයේ සඳහන් තොරතුරු ගැන කියා දීමට යුරෝපයේ සිට මිනිසුන් එරටට පැමිණ තිබුණා.

දෙවිගේ වචනය නැඟෙනහිර අප්‍රිකාවට

වර්ෂ 1499දී පෘතුගාලයේ සිට පැමිණි පිරිසක් නැඟෙනහිර අප්‍රිකාවේ සිටි මිනිසුන්ට කතෝලික ආගම ගැන පහදා දුන්නා. ඔවුන් එම වැඩකටයුතු දියත් කළේ සැන්සිබාර් යන ප්‍රදේශයේ සිටයි. නමුත් වසර 200කට පසුව රට තුළින් පැමිණි පීඩා නිසා පෘතුග්‍රීසීන්ට එම රටෙන් පලා යෑමට සිදු වුණා. ඒ නිසා කතෝලික ඉගැන්වීම් තවදුරටත් එම රටේ පැවතුණේ නැහැ.

එතැන් පටන් වසර 150ක් ගත වීමට පෙර ජර්මනියේ සිට නැඟෙනහිර අප්‍රිකාවට පැමිණි යොහාන් ලූට්වික් ක්රාෆ් බයිබලයේ සඳහන් දේවල් ගැන මිනිසුන්ට කියා දීමට පටන්ගත්තා. ඔහු 1844දී කෙන්යාවේ මොම්බාසාවලට පැමිණි විට නැඟෙනහිර අප්‍රිකාවේ වෙරළාසන්නව ප්‍රධාන ආගම ලෙස පැවතියේ ඉස්ලාම් ආගමයි. නමුත් රටේ මැදට වෙන්න සිටි බොහෝ අය ස්වභාවධර්මය දෙවියෙක් ලා සැලකුවා. ඒ මිනිසුන්ට බයිබලය ඔවුන්ගේම භාෂාවෙන් තිබුණොත් කොතරම් අගනේද කියා ක්රාෆ් සිතුවා.

ඒ නිසා ඔහු හැකි විගස ස්වහීලී භාෂාව ඉගෙනගැනීමට පටන්ගත්තා. වැඩි කාලයක් යෑමට කලින් ඔහු බයිබලය ස්වහීලී භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය ඇරඹුවා. නමුත් ඔහු නොසිතූ දෙයකට ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. ඔහුගේ ආදරණීය බිරිඳ මිය ගියා. ඉන් දින කිහිපයකට පසු අලුත උපන් දියණියත් මිය ගියා. එය ඔහුව මහත් සේ දුකට පත් කළ බවට සැකයක් නැහැ. ඒ වුණත් ඔහු ඇරඹූ පරිවර්තන කාර්යය ඔහු දිගටම කරගෙන ගියා. ප්‍රතිඵලයක් ලෙස 1847දී බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද තුන ප්‍රකාශයට පත් කිරීමට ඔහු සමත් වුණා. ස්වහීලී භාෂාවෙන් ප්‍රකාශයට පත් වූ මුල්ම ප්‍රකාශනය වූයේද එයයි.

නමුත් ක්රාෆ් බයිබලයේ කොටස් පරිවර්තනය කිරීමේදී අරාබි අකුරු යොදාගන්නවා වෙනුවට ඉංග්‍රීසි අකුරු යොදාගත්තා. එලෙස ඉංග්‍රීසි අකුරු යොදාගෙන ස්වහීලී භාෂාව ලියූ පළමුවැන්නා වූයේ ඔහුයි. අරාබි වචන යොදා නොගැනීමට හේතුව ගැන ඔහු මෙසේ පැවසුවා. ‘ස්වහීලී භාෂාව අලුතින් ඉගෙනගනිමින් සිටි යුරෝපයේ වැසියන්ට අරාබි භාෂාවේ අකුරු ඉගෙනගැනීම පහසු නැහැ. නමුත් ස්වහීලී භාෂාව ඉංග්‍රීසි අකුරුවලින් ඇති නිසා එම භාෂාව ඉතා පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්.’ ඒ වෙනස ගැන වෙනත් රටවලින් ඒ රටට පැමිණ තිබූ අය සහ ස්වහීලී භාෂාව ඉගෙනගනිමින් සිටි අය බෙහෙවින් සතුටු වෙන්න ඇති. කොහොමවුණත් අරාබි අකුරුවලින් ස්වහීලී භාෂාව ලිවීම යම් කාලයක් යනතුරු පැවතුණා. ඇතැම් අය ඒ කාලයේදීත් බයිබලයේ කොටස් පරිවර්තනය කිරීමට අරාබි අකුරු යොදාගෙන තිබෙනවා.

බයිබලය ස්වහීලී භාෂාවෙන් පරිවර්තනය කිරීමේ අඩිතාලම දමනවාට අමතරව ක්රාෆ් පරිවර්තකයන්ට උපකාරවත් වන තවත් දෙයක් කළා. ඔහු මුල්ම වතාවට ස්වහීලී භාෂාවේ ව්‍යාකරණ පොතක් සහ ඒ භාෂාවේ ශබ්දකෝෂයක්ද නිකුත් කළා.

ස්වහීලී භාෂාවෙන් දෙවිගේ නම

ක්රාෆ් ස්වහීලී භාෂාවට පරිවර්තනය කළ උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද තුනේ දෙවිගේ නම තිබූ තැන්වලට දමා තිබුණේ “සර්වබලධාරී දෙවි” කියායි. ස්වහීලී භාෂාවෙන් බයිබලය පරිවර්තනය දිගටම කරගෙන යෑමට 19වන සියවස අගභාගයේදී තවත් පිරිසක් නැඟෙනහිර අප්‍රිකාවට පැමිණියා. ඒ අය අතර ජොහාන් රෙබ්මන්, විලියම් ටේලර්, හැරී බින්ස්, එඩ්වඩ් ස්ටර්, ෆ්‍රැන්සින් හොග්සන් සහ ආතර් මඩන් වැනි අය සිටියා.

ඔවුන් කළ පරිවර්තන සමහරක දෙවිගේ නම සඳහන් වී තිබෙනවා. මුළු හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම දෙවිගේ නම ඇතුළත් පරිවර්තන කිහිපයක්ම ඒ අතර තිබීම සුවිශේෂී දෙයක්. සැන්සිබාර් ලෙස හැඳින්වූ ප්‍රදේශයේ සිට පරිවර්තනය කළ අය දෙවිගේ නම යොදා තිබුණේ “යාහුවා” ලෙසයි. මොම්බාසා ලෙස හැඳින්වූ ප්‍රදේශයේ සිට පරිවර්තනය කළ අය එය “ජෙහෝවා” ලෙස යොදා තිබුණා.

වර්ෂ 1895 වන විට සම්පූර්ණ බයිබලයම ස්වහීලී භාෂාවෙන් පරිවර්තනය වී තිබුණා. පසු කාලයේදී බයිබලයේ තවත් පරිවර්තන කිහිපයක්ම එළිදැක්වූවත් ඒවාට වැඩි ඉල්ලුමක් තිබුණේ නැහැ. විසිවන සියවසේ මුල් කාලයේදී නැඟෙනහිර අප්‍රිකාවේ ස්වහීලී භාෂාව සම්බන්ධයෙන් නිශ්චිත ව්‍යාකරණ රීති සෑදීමට පියවර ගත්තා. වර්ෂ 1952දී ප්‍රකාශයට පත් කළ හැමෝම කියවීමට ප්‍රිය කළ ස්වහීලී බසින් යුත් බයිබලයට (Swahili Union Version ) පදනම සැපයූවේ එයයි. එම පරිවර්තනයත් සමඟම දෙවිගේ නම “යෙහෝවා” ලෙස උච්චාරණය කිරීමට ස්වහීලී භාෂාව කතා කළ අය හුරු වුණා.

නමුත් කණගාටුදායක ලෙස එම පරිවර්තකයන්ගේ අභාවයත් සමඟම දෙවිගේ නම බයිබල්වලින් ඉවත් වෙන්න පටන්ගත්තා. ඉන්පසුව සිටි පරිවර්තකයන් අතරින් සමහරදෙනෙක් බයිබලයෙන් සම්පූර්ණයෙන්ම දෙවිගේ නම ඉවත් කළා. තවත් පරිවර්තකයන් දෙවිගේ නම ඇතුළත් කළේ බයිබලයේ තැන් කිහිපයක පමණයි. උදාහරණයකට දෙවිගේ නාමය 15 වතාවක් පමණක් සඳහන් වී තිබූ බයිබල් පරිවර්තනයක් තිබුණා. (Union Version) එය 2006දී නැවත සංශෝධනය කළ පසුව දෙවිගේ නාමය එහි සඳහන් වුණේ 11 වතාවක් පමණයි.

බයිබලය පරිවර්තනය කරද්දී දෙවිගේ නම ඉන් සම්පූර්ණයෙන්ම ඉවත් කළත් එහි මුල් පිටුවක දෙවිගේ නම යෙහෝවා බව පැහැදිලිව සඳහන් වී තිබුණා. දෙවි ගැන ඉගෙනගන්න අවංක ආශාවක් තිබූ අයට දෙවිගේ නාමය තමන්ගේම බයිබලයෙන් දැකගැනීමට ඒ නිසා අවස්ථාව ලැබුණා.

ස්වහීලී බසින් සිදු කළ බයිබල් පරිවර්තන කටයුතු එතැනින් අවසන් වූයේ නැහැ. බයිබලයේ ග්‍රීක ලියවිලිවල එනම් මතෙව් සිට එළිදරව් දක්වා ඇති කොටසේ නව ලොව පරිවර්තනය 1996දී ස්වහීලී භාෂාවෙන් මුදාහැරුණා. එම භාෂාවෙන් දෙවිගේ නාමය 237 වතාවක් සඳහන් වූ මුල්ම පරිවර්තනය වූයේ එයයි. ඉන්පසුව 2003දී ස්වහීලී භාෂාවෙන් සම්පූර්ණ බයිබලයේ නව ලොව පරිවර්තනය මුදාහැරුණා. එදා මෙදා තුර එහි පිටපත් 9,00,000ක් මුද්‍රණය වී තිබෙනවා.

එතැන් පටන් දෙවිගේ නාමය මිනිසුන්ගෙන් සැඟවී තිබුණේ නැහැ. අවංක හදවත් ඇති අය නව ලොව පරිවර්තනය ස්වහීලී භාෂාවෙන් කියවන විට ඔවුන් තව තවත් දෙවිට ළං වෙනවා. එයට හේතුව එහි දෙවිගේ නාමය 7,000 වතාවක් සඳහන් වී තිබීමයි.

සෑම කෙනෙකුටම තේරුම්ගැනීමට පහසු සරල භාෂාවකින් එය පරිවර්තනය කිරීමට එහි පරිවර්තකයන් වග බලාගෙන තිබෙනවා. වෙනත් බයිබල් පරිවර්තනවල සිදු වී තිබෙන වැරදි මෙහි දක්නට නැහැ. එමනිසා අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි පැවසූ “සත්‍ය වචන” එලෙසම එහි සඳහන් වෙනවා යන නිසැකකම ඇතුව එය කියවීමට මිනිසුන්ට හැකි වී තිබෙනවා.—දේශනාකාරයා 12:10.

ස්වහීලී භාෂාවෙන් පල වූ නව ලොව පරිවර්තනය බොහෝ අය අගය කරනවා. යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන 21ක් හැවිරිදි වෙසෙන්ට් ඒ ගැන පැවසුවේ මෙසේයි. “දෙවිගේ නම සඳහන් කරලා මේ තරම් සරල විදිහට පරිවර්තනය කරපු බයිබලයක් කියවන්න ලැබුන එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්.” තිදරු මවක් වන ෆ්‍රීඩා පැවසුවේ මිනිස්සුන්ට බයිබලයේ තියෙන තොරතුරු හරිම ලේසියෙන් කියලා දෙන්න මේ පරිවර්තනය ලොකු උදව්වක් කියායි.

යේසුස් පොළොවේ සිටි කාලයේදී මිනිසුන්ට දෙවිගේ නාමය ගැන දැනුම් දුන්නා. (යොහන් 17:6) ඒ හා සමානව අද නැඟෙනහිර අප්‍රිකාවේ සිටින ස්වහීලී භාෂාව කතා කරන සාක්ෂිකරුවන් 76,000කටත් වඩා වැඩිදෙනෙක් නව ලොව පරිවර්තනය භාවිත කරමින් මිනිසුන්ට දෙවිගේ නාමය ගැන දැනුම් දෙනවා.

^ 3 ඡේ. ස්වහීලී භාෂාව කතා කරන විදිහ රටෙන් රටට වෙනස්