Skip to content

පටුනට යන්න

දෙවි අගයන ගුණාංගයක්!

දෙවි අගයන ගුණාංගයක්!

ජපානයේ ශුභාරංචිය දේශනා කරන්න වෙනත් රටකින් වැඩිහිටි පුරුෂයෙක් ආවා. ඔහුට ජපන් භාෂාව දක්ෂ ලෙස හසුරුවන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු ඉතා කාරුණික කෙනෙක්. ඔහු බයිබලය ගැන ඉගෙනගන්න උනන්දුවක් දැක්වූ යෞවනයෙකුට බයිබලයේ සඳහන් ඉගැන්වීම් කියා දීමට සෑම සතියකම ඔහුගේ නිවසට ගියා. එම යෞවනයා වැල නොකැඩී ඇසූ ප්‍රශ්නවලට ඔහු බොහෝ ඉවසීමෙන් කාරුණිකව මිත්‍රශීලීව පිළිතුරු දුන්නා.

එය එම යෞවනයාගේ සිතට තදින්ම බලපෑවා. ඔහු මෙසේ සිතුවා. ‘බයිබලයේ තියෙන දේවල් නිසා කෙනෙකුට මෙච්චර කාරුණික කෙනෙක් වෙන්න පුළුවන් නම් මමත් ඒක ඉගෙනගෙන බලන්න ඕනේ.’ ඔහු දිගින් දිගටම බයිබලයේ සඳහන් දේවල් ඉගෙනගන්න පෙලඹුණේ එම වැඩිහිටියා දැක්වූ කරුණාවන්තකම නිසයි. ඇත්තෙන්ම වචන දහසකට වඩා එක් කාරුණික ක්‍රියාවකින් කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.

දෙවි සතු ගුණාංගයක්

අපිට කිට්ටු අයට කරුණාවන්තව සලකන්න අපි පෙලඹෙන්නේ නිතැතින්මයි. කරුණාවන්තකම දෙවි සතු ගුණාංගයක්. ඔහු තමන්ට ආදරය කරන අයට විතරක් නෙවෙයි ‘කෙළෙහි ගුණ නොදක්වන අයටත් කාරුණිකව සලකනවා.’ ඒ නිසා කාරුණික වීම සම්බන්ධයෙන් දෙවිව අනුකරණය කරන්න කියා බයිබලයේ අපට උනන්දු කර තිබෙනවා.—ලූක් 6:35; මතෙව් 5:48; නික්මයාම 34:6.

දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ගුණාංග ඇතුව නිසා අන් අයට කරුණාව පෙන්වන්න අපිටත් පුළුවන්. (උත්පත්ති 1:27) අපි දෙවිව අනුකරණය කරනවා නම් අකාරුණික අයටත් කාරුණිකව සලකන්න අපි පෙලඹෙනවා. බයිබලයේ කරුණාවන්තකම විස්තර කරලා තියෙන්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වන ගුණාංගයක් විදිහට. (ගලාති 5:22) ඒ නිසා කෙනෙක් දෙවි ගැන ඉගෙනගෙන ඔහුට කීකරු වෙද්දී කරුණාවන්තකම තවත් වැඩියෙන් විදහා පෙන්වන්න පුළුවන් වෙනවා.

අපි කාරුණිකව ක්‍රියා කරයි කියා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. “එකිනෙකාට කරුණාව” පෙන්වන්න කියා දෙවිම අපට පවසා තිබෙන්නේ ඒ නිසයි. (එෆීස 4:32) ඒ වගේම “ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න” කියාත් බයිබලයේ අපට උනන්දු කර තිබෙනවා.—හෙබ්‍රෙව් 13:2.

අද අපි ජීවත් වෙන්නේ අකාරුණික, ස්තුතිවන්ත නොවන මිනිසුන් සිටින සමාජයක. එවැනි අයට කාරුණිකව සලකමින් ආගන්තුක සත්කාර පෙන්වන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන සොයා බැලීම වැදගත් වෙන්නේ ඇයි?

දෙවි අගය කරනවා

බයිබලයේ ආගන්තුක සත්කාරය ගැන සඳහන් කරද්දී “සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට පවා සංග්‍රහ කළා” කියාත් සඳහන් වෙනවා. එලෙස දේවදූතයන්ට සංග්‍රහ කරන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ පුරුද්දක් ලෙස ඔවුන් ආගන්තුක සත්කාර කළ නිසයි. අපිත් අන් අයට කාරුණිකව සලකන්නත් ආගන්තුක සත්කාර කරන්නත් පුරුදු වී සිටියොත් අපිටත් බලාපොරොත්තු නොවූ ආශීර්වාද ලැබෙයි.

හරස් යොමු සටහන් ඇති බොහෝ බයිබල් පරිවර්තනවල එම බයිබල් පදය උත්පත්ති 18 සහ 19 පරිච්ඡේදවලට යොමු දක්වා තිබෙනවා. එහි සඳහන් වෙන්නේ ආබ්‍රහම් සහ ලොත් සම්බන්ධ සිද්ධීන් දෙකක් ගැනයි. ඒ අවස්ථා දෙකේදීම දේවදූතයන් ඔවුන්ට යම් පණිවිඩ රැගෙන ආවා. ආබ්‍රහම්ට පුතෙක් ලබා දීමට දෙවි පොරොන්දු වී තිබෙන බව දැන්වූ දේවදූතයන් ලොත්ට පැවසුවේ සොදොම් සහ ගොමෝරා නගර විනාශ කිරීමට දෙවි තීරණය කර තිබෙන නිසා ඉන් බේරීමට ඒ නගරයෙන් පලා යන්න කියායි.—උත්පත්ති 18:1-10; 19:1-3, 15-17.

ආබ්‍රහම් සහ ලොත් ඔවුන්ට ආගන්තුක සත්කාරය දැක්වූයේ ඔවුන් එම ප්‍රදේශවලට පැමිණි අමුත්තන් නිසයි. ඒ කාලයේදී දන්නා හඳුනන අයට මෙන්ම අමුත්තන්ටත් ආගන්තුක සත්කාරය පිරිනැමීම සිරිතක් වුණා. අනික් අතට විදේශිකයන් ගැනත් සැලකිලිමත් වෙන්න කියා ඔවුන්ට මෝසෙස් මාර්ගයෙන් දී තිබූ නීතියේ සඳහන් වී තිබුණා. (ද්විතීය කතාව 10:17-19) ආබ්‍රහම් සහ ලොත් ජීවත් වුණේ එම නීතිය ලැබීමට බොහෝ කාලයකට කලින් වුණත් ඔවුන් තමන්ගේ උපරිමයටත් වඩා වැඩියෙන් අමුත්තන්ට සංග්‍රහ කළා. ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට බොහෝ ආශීර්වාද කළා.

ආබ්‍රහම් කාරුණිකව ක්‍රියා කළ නිසා ඔහුට මෙන්ම අපටත් ආශීර්වාද ලැබී තිබෙනවා. එසේ පැවසිය හැක්කේ ඇයි? එයට හේතුව ඔහුගේ පුත්‍රයා වූ ඊසාක්ගේ පෙළපතෙන් දෙවි පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණීමයි. ඒ වගේම ඔවුන් දෙවිට විශ්වාසවන්තව ක්‍රියා කළ ආකාරයෙන් දෙවි මිනිසුන්ව ගලවාගැනීම සඳහා මොන තරම් කාරුණික ලෙස ක්‍රියා කරනවාද යන්න ගැන හොඳ අවබෝධයක් ලබාගන්නත් අවස්ථාව ලැබුණා.—උත්පත්ති 22:1-18; මතෙව් 1:1, 2; යොහන් 3:16.

දෙවි තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියාත් අන් අයට කාරුණිකව සැලකීම ඔහු මොන තරම් අගය කරනවාද කියාත් අපි බැලූ සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා. කාරුණිකව ක්‍රියා කිරීම දෙවි සලකන්නේ අත්‍යවශ්‍ය දෙයක් ලෙසයි.

කාරුණික වීමෙන් දෙවිට ළං වෙන්න

අපි ජීවත් වන මේ කාලයේ ‘මිනිසුන් ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති අය ලෙස’ හැසිරෙන බව බයිබලයේ අනතුරු අඟවා තිබෙනවා. (2 තිමෝති 3:1-3) දිනපතාම අපට ඔවුන් සමඟ ජීවත් වෙන්න සිදු වුණත් අන් අයට කාරුණිකව නොසලකා සිටීමට එය නිදහසට කරුණක් වන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ අපව දිරිගන්වා තිබෙන්නේ “කාටවත් නපුරට නපුර නොකරන්න. සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න” කියායි.—රෝම 12:17.

තව තවත් කාරුණික වෙන්න උත්සාහ කරන්න අපිට පුළුවන්. අපි කාරුණිකව ක්‍රියා කරන විට ඉන් පෙන්වන්නේ අපි අන් අයට ප්‍රේම කරන බවයි. ‘ප්‍රේම කරන සෑම කෙනෙක්ටම දෙවි පිළිබඳ දැනුමක් ලැබෙන බව’ බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 4:7; 1 කොරින්ති 13:4) ඉන් අදහස් කරන්නේ කුමක්ද? එනම් අපි අන් අයට කාරුණිකව සලකන තරමට අපිට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වගන්න අවස්ථාව ලැබෙන බවයි. එය අපේ සතුටටත් හේතු වෙනවා. “දයාවන්ත අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි” කියා යේසුස් පැවසූ දෙයින් එය තවත් පැහැදිලි වෙනවා.—මතෙව් 5:7, 8.

කිව යුත්තේ හෝ කළ යුත්තේ කුමක්ද කියා ඔබ හරියටම දන්නේ නැත්නම් කළ යුතු හොඳම දෙය වන්නේ කාරුණික දෙයක් කීම හෝ කිරීමයි

ජපානයේ වෙසෙන දෙදරු මවක් වන ආකීගේ අද්දැකීම බලන්න. ඇයගේ මව හිටි හැටියේම මිය ගියා. ඒ ගැන ආකී බොහෝ සේ දුක් වූ අතර එය ඇයට ලොකු පීඩනයක් වුණා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඇය වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත්තා. ඒ කාලේදීම වගේ වෙනත් ප්‍රදේශයක සිටි පවුලක් ඇගේ නිවස අසල පදිංචියට ආවා. ඒ පවුලේ පුංචි දරුවන් පස්දෙනෙක් සිටි අතර ඔවුන්ගේ පියා මිය ගොස් තිබුණා. ආකීට ඔවුන් ගැන ලොකු දුකක් ඇති වුණු නිසා ඇය තමන් සතුව තිබුණු කෑම, ඇඳුම් ඔවුන්ට ලබා දෙමින් හැකි උපරිමයෙන් ඔවුන්ව සනසන්න උත්සාහ කළා. එසේ කිරීම නිසා ඇය සිටි මානසික පීඩනයෙන් ගොඩ එන්නත් ඇයට හැකි වුණා. එලෙස බයිබලයේ සඳහන් ලෙස “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙන” බව ඇය අද්දැක්කා. (ක්‍රියා 20:35) ඔබත් මානසිකව වැටී සිටින අවස්ථාවලදී කළ යුතු සුදුසුම දෙය වන්නේ අන් අයට කාරුණිකව සැලකීමයි.

දෙවිට ණයට දෙනවා වගේ

අන් අයට කරුණාව පෙන්වීමට බොහෝ දේවල් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා විශේෂ හැකියාවන් අත්‍යවශ්‍යත් නැහැ. පුංචි උදව්වක්, පුංචි තෑග්ගක් හෝ සමහර අවස්ථාවලදී අවංක සිනහවකින් වුණත් අන් අයට කරුණාව පෙන්වන්න පුළුවන්. යම් කාර්යයක් සඳහා ඔබ පෝළිමේ සිටිද්දී ඔබට වඩා අවශ්‍යතාව වැඩි කෙනෙකුට ඔබේ ස්ථානය දීමත් කාරුණික ක්‍රියාවක්. කෙනෙක් දුකෙන් සිටින වෙලාවකදී කිව යුත්තේ හෝ කළ යුත්තේ කුමක්ද කියා ඔබ හරියටම දන්නේ නැත්නම් කළ යුතු හොඳම දෙය වන්නේ කාරුණික දෙයක් කීම හෝ කිරීමයි. මේ ලිපියේ මුලින් සඳහන් කළ වැඩිහිටි පුරුෂයාව ඔබට මතකද? ඔහුට ජපන් භාෂාව හොඳින් කතා කිරීමට නොහැකි වුණත් ඔහු දැක්වූ කාරුණික සැලකිල්ල ඔහු කතා කළ යෞවනයාගේ සිතට තදින්ම කාවැදුණා. අන් අයට කරුණාවන්තව සලකමින් “ප්‍රේමයෙන් කටයුතු කරන්න” කියා දෙවි අපෙන් ඉල්ලා සිටින්නේ හොඳ හේතු ඇතුව බව පැහැදිලි වන්නේ නැද්ද!—මීකා 6:8.

එක කාරුණික ක්‍රියාවකින් ලොකු වෙනසක් කිරීමට හැකි වෙනවා. අපි යම් ක්‍රියාවක් කරන්නේ හොඳ චේතනාවකින් නම් සහ දෙවිව සතුටු කිරීමේ අදහසින් නම් ඉන් බොහෝ ප්‍රයෝජන අත් වෙනවා. සමහරවිට ඔබ කරන දේ අන් අය එතරම් අගය කරන එකක් නැහැ. නමුත් යෙහෝවා දෙවි එය බොහෝ සෙයින් අගය කරනවා. අවශ්‍යතාව තියෙන අයට “කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 19:17) අපත් අන් අයට කාරුණිකව සලකන්න තිබෙන අවස්ථාවන් ගැන සොයා බලා ඒ වෙනුවෙන් අපට කළ හැකි දේවල් කිරීම මොන තරම් වටිනවාද!