Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

පස්කල් ජීවත් වුණේ අයිවරි කොස්ට්වල තිබුණ දුප්පත් ගමක. පුංචි කාලේ ඉඳලා එයා හීන මැව්වේ සැප පහසු ජීවිතයක් ගත කරන්නයි. බොක්සිං ක්‍රීඩාවටත් හුඟක් ආස කරපු නිසා ඒකෙන් ඉහළටම ගිහින් සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳම තැන කොහෙද කියලා එයා නිතරම කල්පනා කළා. වයස විසි ගණන්වලදී පස්කල්ට හිතුණා යුරෝපයට ගියොත් එයාගේ හීනේ සැබෑ කරගන්න පුළුවන් කියලා. ඒත් යුරෝපයට යන්න ගමන් බලපත්‍ර තිබුණේ නැති නිසා හොරෙන් එහෙ යන්න එයා සැලසුම් කළා.

1998දී පස්කල් යුරෝපයට යන්න පිටත් වුණා. මුලින්ම එයා ඝානාවටත් ඊටපස්සේ ටෝගොවලටත් එතනින් බෙනින්වලටත් ගියා. අන්තිමට එයා නයිජර් රටේ බිර්නි නිකොනි කියන නගරෙට ආවා. එයා සැලසුම් කළේ එතන ඉඳන් සහරා කාන්තාරය හරහා මධ්‍යධරණී මුහුද පැත්තට ගිහින් බෝට්ටුවෙන් යුරෝපයට යන්නයි. ඒත් එයාට ඒ අනතුරුදායක ගමන යන්න වුණේ නැහැ.

අතේ තිබුණ සල්ලි ඒ වෙනකොට වියදම් වෙලා තිබුණ නිසාත් එහෙ හිටපු පුරෝගාමි සහෝදරයෙක් එක්ක බයිබල් පාඩමක් පටන් අරන් තිබුණ නිසත් යුරෝපයට නොයන්න පස්කල් තීරණය කළා. බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් එයාගේ හිතට කොච්චර කාවැදුණද කියනවා නම් එයාට ඕනේ වුණේ සල්ලි හම්බ කරන්න නෙමෙයි, නයිජර් රටේ නතර වෙලා දෙවිට සේවය කරන්නයි. ඒ නිසා 1999 දෙසැම්බර් මාසයේ එයා බව්තීස්ම වෙලා 2001 වෙනකොට පුරෝගාමි සේවයත් පටන්ගත්තා. “දැන් මං ගත කරන්නේ හරිම තෘප්තිමත් ජීවිතයක්” කියලා පස්කල් කියනවා.

සතුට පිරුණ අප්‍රිකාවේ ජීවිතය

ඈන් රාකෙල්

සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ ජීවිතේ මුල් තැන දෙවිට දුන්නොත් විතරයි කියලා තේරුම් අරන් ඉන්න හුඟදෙනෙක් අපි අතර ඉන්නවා. යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන සහෝදර සහෝදරියන් ඒකට කදිම සාක්ෂියක්. වයස අවුරුදු 17ත් 70ත් අතරේ ඉන්න සාක්ෂිකරුවන් 65දෙනෙක් විතර බටහිර අප්‍රිකාවේ බෙනින්, බර්කිනා ෆාසෝ, නයිජර් සහ ටෝගො කියන රටවල්වලට ගිහින් සේවය කරනවා. *

ඩෙන්මාර්ක්වල ජීවත් වුණ ඈන් රාකෙල් මෙහෙම කියනවා. “මගේ දෙමව්පියන් කලින් මිෂනාරි සේවය කරලා තියෙනවා. ඒ කාලය ගැන ඒගොල්ලෝ මතක් කළේ හරිම සතුටින්. ඒ නිසා මටත් වෙනත් රටකට ගිහින් සේවය කරන්න හිතුණා.” ඈන් රාකෙල් ටෝගොවල සංඥා භාෂාව කතා කරන සභාවක සේවය කරන්න ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. සේවයෙන් එයා අද්දැකපු සතුට දැකලා එයාගේ නංගියි මල්ලිත් සේවය කරන්න ටෝගොවලට ගියා.

අල්බර්ෆට් හා ඕරෙල්

අවුරුදු 70ක් වයස ප්‍රංශ ජාතික ඕරෙල් කියන දේ බලන්න. “මීට අවුරුදු පහකට කලින් මම විශ්‍රාම ගියාම මට තීරණයන් ගන්න වුණා. ඒ තමයි පාරාදීසේ එනකම් විවේකී සුවයෙන් ප්‍රංශයේම ඉඳන් සේවය කරනවද නැත්නම් වෙනත් තැනකට ගිහින් දෙවිට වැඩි සේවයක් කරනවද කියන තීරණය.” අවුරුදු තුනකට විතර කලින් ඕරෙල් එයාගේ බිරිඳ අල්බර්ෆට් එක්ක බෙනින්වලට ගියා. “මෙහෙට ඇවිත් දෙවිට සේවය කරන්න අපි ගත්ත තීරණය තමයි හොඳම තීරණය” කියලා ඕරෙල් කියනවා. “ඒ විතරක් නෙමෙයි අපිට සේවය කරන්න තියෙන ප්‍රදේශයට වෙරළ තීරයත් අයිතියි. එහෙ ලස්සන දැක්කම අපිට හිතෙන්නේ අපි දැනටමත් ඉන්නේ පාරාදීසේ කියලයි.”

ප්‍රංශයේ ඉඳලා බෙනින්වල පදිංචියට ගිය තවත් යුවළක් තමයි ක්ලෝඩෝමිර් හා ලිස්යන්. පවුලේ අය, යාළුවෝ නැති පාළුව මුලින් ඒගොල්ලන්ට හුඟක් දැනුණා. අලුත් ජීවිතයට හුරු වෙන්න බැරි වෙයි කියන බයත් ඒ දෙන්නට තිබුණා. හැබැයි ඒ හැම දේම ටික කාලෙකින් හරි ගියා. දැන් ඒ දෙන්නා අද්දකින සතුට ගැන ක්ලෝඩෝමිර් මෙහෙම කියනවා. “අපි මෙහෙට ඇවිත් දැන් අවුරුදු 16ක් වෙනවා. ඒ හැම අවුරුද්දකම අඩුම ගානේ එක් කෙනෙක්ට හරි සත්‍යයට එන්න උදව් කරන්න අපිට පුළුවන් වුණා.”

ලිස්යන් හා ක්ලෝඩෝමිර් ඒගොල්ලෝ එක්ක බයිබලය පාඩම් කරපු කීපදෙනෙක් එක්ක

ජෝආනා හා සෙබස්ටියන්

සෙබස්ටියන් හා ජෝආනා කියන යුවළත් 2010දී ප්‍රංශයේ ඉඳලා බෙනින්වලට ගියා. “සභාවේ කරන්න ගොඩක් වැඩ තියෙන නිසා අපි දේවල් ඉක්මනට ඉගෙනගන්නවා” කියලා සෙබස්ටියන් කියනවා. සේවයෙන් ලැබෙන සතුට ගැන ජෝආනා කියන්නේ මෙහෙමයි. “බයිබලයේ තියෙන සත්‍යය දැනගන්න මෙහෙ ඉන්න හුඟදෙනෙක් හරිම ආසයි. සේවයේ යන්නේ නැති වෙලාවකදී වුණත් අපිව පාර තොටේදී දැක්කොත් මිනිස්සු අපි ළඟට ඇවිත් බයිබලේ තියෙන දේවල් ගැන අපෙන් අහනවා. කියවන්න සඟරා ඉල්ලනවා.” වැඩි සේවයක් කරන්න ගත්ත තීරණය නිසා “අපි අතර තියෙන බැඳීම දැන් තවත් ශක්තිමත් වෙලා. ජෝආනා එක්ක මුළු දවසම සේවයේ යන්න ලැබෙන එක මට හරි සතුටක්” කියලා සෙබස්ටියන් කියනවා.

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන එක ගැන තිබුණ ලිපි කියවද්දී පූර්ණකාලීනව සේවය කරන අයත් එක්ක කතා කරද්දී එරික් හා කේටි කියන යුවළටත් වෙනත් රටකට ගිහින් සේවය කරන්න ආස හිතුණා. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. එතකොට ඒ දෙන්නා හිටියේ ප්‍රංශයේ. 2005දී බෙනින්වලට යන්න ඒගොල්ලොත් තීරණය කළා. දැන් ඒදෙන්නා උතුරු බෙනින්වල එච්චර සෙනඟ නැති ප්‍රදේශවල සේවය කරනවා. “ටැන්ගුයිටා නගරේ අපි සේවය පටන්ගන්නකොට ප්‍රචාරකයන් හිටියේ නවදෙනයි. අවුරුදු දෙකකට පස්සේ දැන් ප්‍රචාරකයන් 30දෙනෙක් ඉන්නවා. ඉරිදා රැස්වීමට 50ත් 80ත් අතර දෙනෙක් එනවා.සභාව වර්ධනය වෙන විදිහ දකිද්දී අපිට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ.” එහෙම කියන්නේ එරික්.

කේටි හා එරික්

අභියෝග ආවත් ජය ගන්න පුළුවන්

බෙන්ජමින්

වෙනත් රටවලට සේවය කරන්න යන අය හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඈන් රාකෙල්ගේ සහෝදරයා වන බෙන්ජමින්ගේ අද්දැකීම බලන්න. 2000දී එයාට ටෝගොවල මිෂනාරි සේවය කරන සහෝදරයෙක්ව හම්බ වුණා. “මටත් ආසයි පුරෝගාමි සේවය කරන්න කියලා මම එයාට කිව්වම ‘ටෝගො රටට ඇවිත් ඔයාට සේවය කරන්න පුළුවන්නේ’ කියලා එයා මට කිව්වා. එතකොට මට අවුරුදු 20ක්වත් නැහැ. මගේ අක්කලා දෙන්නම ටෝගොවල සේවය කරපු නිසා ඒක හොඳ අදහසක් කියලා මට හිතුණා. හැබැයි මම ප්‍රංශ භාෂාව දැනගෙන හිටියේ නැති නිසා මුල් මාස හය මට හුඟක් අමාරු වුණා” කියලා බෙන්ජමින් කියනවා. දැන් බෙන්ජමින් බෙනින් ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

මාරි අන්යෙස් හා මිෂෙල්

එරික්ට හා කේටිටත් අභියෝග තිබුණා. “මෙහෙ හොඳ ගෙයක් හොයාගන්න එක හරිම අමාරු දෙයක්. මාස ගාණක්ම අපි හිටියේ විදුලිය, පයිප්ප වතුර නැති ගෙදරක” කියලා කේටි කියනවා. “මෙහෙ අය සිංදු දාන්නේ ගමටම ඇහෙන්න. ඒකත් රෑ වෙනකම්. ඒ වගේ දේවල් ඉවසන්නත් පළාතේ විදිහට හැඩගැහෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ” කියලා එරික් කියනවා. හැබැයි ඒ දෙන්නම කියන්නේ “ශුභාරංචිය කවදාවත් අහල නැති අයට ඒ ගැන කියලා අපි ලබන සතුට එක්ක බලද්දී ඒ අභියෝග එච්චර දෙයක් නෙමෙයි” කියලයි.

මිෂෙල් හා මාරි අන්යෙස් පනස් ගණන්වල ඉන්න යුවළක්. ඒ දෙන්නා බෙනින්වලට ඇවිත් දැන් අවුරුදු පහක් විතර වෙනවා. ප්‍රංශය අත්හැරලා අප්‍රිකාවට එන එක ගැන හිතද්දී ඒ දෙන්නටත් බයක් දැනුණා. ඒ ගැන මිෂෙල් මෙහෙම කියනවා. “සමහරු කිව්වේ අපි ගත්තේ හරිම අවදානම් තීරණයක් කියලයි. ඒත් යෙහෝවා දෙවි අපේ අතින් අල්ලගෙන අපිත් එක්ක ඉන්නවා කියන විශ්වාසේ අපිට තිබුණ නිසා ඒ අවදානම ගන්න අපි බය වුණේ නැහැ.”

කලින්ම සූදානම් වීම වැදගත්

සේවය කරන්න වෙනත් රටකට යන්න කලින් දේවල් හොඳින් සැලසුම් කරන්න, තත්වයන්ට අනුව හැඩගැහෙන්න, මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනේ. මොන දේ වුණත් යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න පුරුදු වෙන එකත් හරිම වැදගත්.—ලූක් 14:28-30.

ඒ ගැන සෙබස්ටියන් මෙහෙම කියනවා. “යන්න කලින් අපි අවුරුදු දෙකක්ම සල්ලි ඉතුරු කළා. අපි ගත්තේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. විනෝද වෙන්න කරපු දේවලුත් හුඟක් අඩු කළා. ඒකෙනුත් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණා.” ඒ දෙන්නා හැම අවුරුද්දකම මාස කීපයක් යුරෝපයට ගිහින් වැඩ කරලා සල්ලි එකතු කරගෙන ඉතුරු මාස කීපය බෙනින්වල සේවය කරනවා.

මාරි තෙරෙස්

පිට රටවලින් ආපු තනිකඩ සහෝදරියන් 20දෙනෙක් විතර බටහිර අප්‍රිකාවේ සේවය කරනවා. මාරි තෙරෙස් ඒ වගේ කෙනෙක්. ප්‍රංශයේදී එයා රැකියාව හැටියට කළේ බස් රථයක් එළවන එකයි. මුලින් එයා අවුරුද්දක් නිවාඩු දාලා පුරෝගාමි සේවය කරන්න නයිජර්වලට ගියා. ඒ සේවයට එයා කොච්චර ආස කළාද කියනවා නම් දිගටම ඒක කරන්නයි එයාට වුවමනා වුණේ. “මම ඒ ගැන මගේ බොස් එක්ක කතා කරලා අවුරුද්දට මාස කීපයක් විතරක් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට මගේ රස්සාව හදාගත්තා.”

සෆිරා

‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන’ අයට අවශ්‍ය දේවල් දෙවි සපයනවා කියලා ඒ අයට නිසැක වෙන්න පුළුවන්. (මතෙ. 6:33) සෆිරාගේ අද්දැකීම බලන්න. එයා විසි ගණන්වල ඉන්න තනිකඩ සහෝදරියක්. සෆිරා සාමාන්‍යයෙන් කරන්නේ අවුරුද්දේ මාස කීපයක් ප්‍රංශයට ගිහින් රැකියාවක් කරලා සල්ලි ඉතුරු කරගෙන ඉතුරු මාස බෙනින්වල පුරෝගාමි සේවය කරන එකයි. ඔය විදිහට අවුරුදු පහක්ම අප්‍රිකාවේ සේවය කරන්න එයාට පුළුවන් වුණා. ඊටපස්සේ අවුරුද්දේ වෙච්ච දේ සෆිරා විස්තර කරනවා. “එදා මගේ රැකියාවේ අන්තිම දවස. ඒත් ඉතුරු මාස ටිකේ මගේ වියදමට අවශ්‍ය සල්ලි ඒ වෙනකොටත් එකතු කරගන්න බැරි වෙලයි තිබුණේ. අඩුම ගාණේ තව දවස් දහයක්වත් වැඩ තිබුණා නම් ඒ සල්ලි ටික හොයාගන්න තිබුණා. ඒ ගැන කියලා මම යාච්ඤා කළා. ටික වෙලාවකට පස්සේ එක ආයතනයකින් කතා කරලා මගෙන් ඇහුවා නිවාඩු යන කෙනෙක් වෙනුවෙන් සති දෙකකට වැඩ කරන්න කැමතිද කියලා. එතන වැඩට ගියාම මට අදහගන්න බැරුව ගියා. නිවාඩු යන කෙනා සහෝදරියක්. පුරෝගාමි පාසැලට යන්න සති දෙකක් නිවාඩු ඉල්ලුවම එයාගේ වැඩ කරන්න කෙනෙක්ව හම්බ වුණොත් විතරයි නිවාඩු දෙන්නේ කියලා බොස් කියලා තිබුණා. ඒ නිසා ඒ සහෝදරියත් එයාගේ ප්‍රශ්නේ ගැන කියලා දෙවිට යාච්ඤා කරලා. දෙවි අපි දෙන්නගෙම අවශ්‍යතාව ඉටු කරපු විදිහ ඇත්තටම පුදුමයි.”

ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්න නම් . . .

යුරෝපයෙන් වගේම වෙනත් රටවලින් ආපු සහෝදර සහෝදරියනුත් බටහිර අප්‍රිකාව තමන්ගේ නිවහන කරගෙන අවුරුදු ගාණක් පුරා සේවය කරනවා. තවත් සමහරුන් අවුරුදු කීපයක් සේවය කරලා දැන් තම රටට ගිහින් තියෙනවා. මේ හැම කෙනෙක්ම පිළිගන්න දෙයක් තමයි ජීවිතයේ නියම සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් විතරයි කියන එක.

^ 6 ඡේ. ප්‍රංශ භාෂාව කතා කරන මේ රටවල් හතරෙම දේශනා කිරීමේ වැඩකටයුතු බලාගන්නේ බෙනින් ශාඛා කාර්යාලයයි.