Skip to content

පටුනට යන්න

අලීසා

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය

මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න නොකරපු දෙයක් නැහැ. (මතෙ. 24:14) සමහරු වෙනත් රටවලට පවා ගියා. පාවුල් ඒ වගේ කෙනෙක්. එයා ගිය මිෂනාරි ගමන්වලදී දැන් තුර්කිය කියලා හඳුන්වන ප්‍රදේශය පුරාම ශුභාරංචිය දේශනා කළා. * පාවුල් ඒ සේවය කරලා අවුරුදු 2,000කට විතර පස්සේ ඒ කියන්නේ 2014දී තුර්කියේ ශුභාරංචිය දේශනා කරන්න විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. එහෙම කළේ ඇයි? ඒකට හවුල් වුණේ කවුද?

“මොකද මේ වෙන්නේ?”

තුර්කියේ ප්‍රචාරකයන් 2,800කට වඩා ඉන්නවා. ඒත් එහේ ජනගහනය මිලියන 79යි. ඒ කියන්නේ අනුපාතයක් විදිහට එක ප්‍රචාරකයෙක් 28,000දෙනෙක්ට විතර ශුභාරංචිය කියන්න ඕනේ. එහේ ජනගහනයෙන් හරිම සුළු පිරිසකට විතරයි ශුභාරංචිය අහන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසයි ඒ විශේෂ වැඩසටහන සංවිධානය කළේ. එයාලට ඕනෙ වුණේ කෙටි කාලයක් ඇතුළත පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය කියන්න. ඒ වැඩසටහනට සහය දෙන්න වෙන රටවල ඉන්න තුර්කි භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් 550දෙනෙක් විතර ආවා. එයාලා තුර්කියේ සහෝදරයන් එක්ක උරෙන් උර ගැටී කරපු සේවයෙන් ලැබුණ ප්‍රතිඵල මොනවාද?

හුඟදෙනෙක්ට සාක්ෂි දැරුවා. ඉස්තාන්බුල් නගරයේ තියෙන සභාවකින් මෙහෙම ලියලා එව්වා. “මිනිස්සු අපිව දැක්කාම අපෙන් අහනවා ‘හැම තැනම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්! ඔයාලගේ විශේෂ සමුළුවක්වත් තියෙනවාද’ කියලා.” ඉස්මීර් නගරයේ තියෙන සභාවකින් මේ වගේ දෙයක් ලියලා එව්වා. “ටැක්සි නවත්තන තැනක වැඩ කරන කෙනෙක් දවසක් වැඩිමහල්ලෙක්ගෙන් ඇහුවා ‘මොකද මේ වෙන්නේ? ඔයාලගේ සේවය වැඩි කරලවත්ද’ කියලා.” මේ විශේෂ වැඩසටහන හුඟදෙනෙක්ගේ අවධානයට ලක් වුණා කියලා කිසිම සැකයක් නැහැ.

ස්ටෙෆන්

වෙනත් රටවලින් ආපු අය සේවයෙන් ලැබුවේ ලොකු සතුටක්. ඩෙන්මාර්කයෙන් ආපු ස්ටෙෆන් මෙහෙම කිව්වා. “හැමදාම සේවයේදී අපිට හම්බ වුණේ යෙහෝවා දෙවි ගැන කවදාවත් අහලා තිබුණේ නැති අයව. දෙවිගේ නම මං අනිත් අයට දැනුම් දෙනවා කියන හැඟීම මට ඇති වුණා.” ජොන්දවීද් ආවේ ප්‍රංශයෙන්. එයා මෙහෙම ලිව්වා. “පැය ගාණක් යන කල්ම අපි සේවය කළේ එක පාරක. සාක්ෂිකරුවන් ගැන හුඟදෙනෙක් දැනං හිටියේ නෑ. හැම ගෙවැසියෙක් එක්කම හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා. ඒ හැමෝටම අපේ වීඩියෝ එකක් පෙන්නුවා. ප්‍රකාශනත් දුන්නා. ඒක නම් නියම අද්දැකීමක්!”

ජොන්දවීද් (මැද)

ඒ වැඩසටහනට හවුල් වුණ 550දෙනා සති දෙකක් ඇතුළත ප්‍රකාශන 60,000ක් විතර බෙදලා දුන්නා. ඇත්තටම හොඳ සාක්ෂියක් දරන්න එයාලට පුළුවන් වුණා.

උද්‍යෝගය තවත් වැඩි වුණා. මේ විශේෂ වැඩසටහනෙන් පස්සේ තුර්කියේ සහෝදරයන් හුඟදෙනෙක් පූර්ණකාලීන සේවය ගැන හිතන්න පටන්ගත්තා. වැඩසටහන ඉවර වෙලා ගෙවුණ මාස 12 ඇතුළත තුර්කියේ ස්ථාවර පුරෝගාමීන්ගේ ගාණ 24%කින් වැඩි වුණා.

ෂිරන්

වෙනත් රටවලින් ආපු අයටත් දේවසේවය තව හොඳින් කරන්න ඒ වැඩසටහනට හවුල් වුණ එක රුකුලක් වුණා. ජර්මනියෙන් ආපු ෂිරන් ලිව්වේ මෙහෙමයි. “තුර්කියේ සහෝදරයන් අවිධිමත්ව සාක්ෂි දරන්න හරිම දක්ෂයි. මට නම් ඒක ටිකක් අමාරුයි. ඒත් මේ විශේෂ වැඩසටහනට හවුල් වුණ නිසා, තුර්කියේ සහෝදරයන්ගේ ආදර්ශය නිසා, ගොඩක් යාච්ඤා කරපු නිසා කලින් මට කරන්න අමාරු වුණ ඒ දේ කරන්න මට පුළුවන් වුණා. මං කෝච්චියේ යන එන ගමනුත් දේශනා කරලා පත්‍රිකා දුන්නා. දැන් මං අවිධිමත්ව සාක්ෂි දරන්න බය නෑ.”

යොහාන්නස්

යොහාන්නස් ආවෙත් ජර්මනියෙන්. එයා මෙහෙම කියනවා. “පුළුවන් හැම කෙනෙක්ටම ශුභාරංචිය කියන්න තුර්කියේ සහෝදරයන්ට තිබුණ ආසාව මං දැක්කා. එයාලා එක චාන්ස් එකක්වත් අත්හැරියේ නෑ. ජර්මනියට ගියාම මමත් ඒ දේම කරනවා කියලා මං හිතාගත්තා. දැන් මං කලින්ට වඩා වැඩිදෙනෙක්ට දේශනා කරනවා.”

සේනෙප්

ප්‍රංශයෙන් ආපු සේනෙප් මෙහෙම කිව්වා. “බය නැතුව කතා කරන්න, යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න තුර්කියේදී කරපු සේවය මට උදව් වුණා.”

බැඳීම තව වැඩි වුණා. විවිධ රටවලින් ආවත් සහෝදරයන් අතරේ තිබුණ ආදරේ, එකමුතුකම හරිම විශේෂයි. “සහෝදරයන් අපිව සැලකුවේ හොඳම යාළුවෝ විදිහට. එයාලගේම පවුලේ අය විදිහට. අපි ඉන්නේ පිට තැනක කියලා අපිට කොයිම වෙලාවකවත් දැනුණේ නෑ. අපේ සහෝදරත්වය ලෝක ව්‍යාප්ත එකක් කියලා පොත් පත්වලින් මං කියවලා තිබුණා. ඒත් තුර්කියේදී ඒක මට අද්දැකීමෙන්ම දැනගන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ ඉන්න ලැබුණ එක ගැන මට වෙනදාට වඩා ලොකු ආඩම්බරයක් දැනුණා. දෙවිගේ සේවකයෙක් වෙන්න මටත් අවස්ථාව දුන්න එක ගැන දෙවිට කොච්චර ස්තුති කළත් මදි” කියලා ජොන්දවීද් කියනවා.

ක්ලෙයා (මැද)

“ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, තුර්කිය කියලා අපි අතරේ වෙනසක් තිබුණේ නෑ. අපි හැමෝම එක පවුලක්. ඒක හරියට දෙවි දේශ සීමා මකලා දාලා අපි හැමෝවම එකතු කළා වගේ.” එහෙම කිව්වේ ප්‍රංශයෙන් ආපු ක්ලෙයා.

ස්ටෙෆනි (මැද)

ප්‍රංශයෙන් ආපු ස්ටෙෆනිගේ අදහස බලන්න. “අපිව එක්සත් කරන්නේ සංස්කෘතිය, භාෂාව නෙමෙයි අපි හැමෝටම යෙහෝවා දෙවි ගැන තියෙන ආදරේ.”

ප්‍රයෝජන අද හෙටට විතරක් නෙමෙයි!

වෙන රටවලින් ආපු සහෝදරයන් දැක්කා තුර්කියේ කොයි තරම් සේවයක් කරන්න තියෙනවාද කියලා. ඒ නිසා දැන් එයාලා එහේ පදිංචි වෙලා සේවය කරන එක ගැන හිතනවා. සමහර අය දැනටමත් ඒ තීරණය අරන්. එයාලව කොච්චර නම් අගය කරන්න වටිනවාද!

තුර්කියේ හුදෙකලා පැත්තක තියෙන කණ්ඩායමක ප්‍රචාරකයන් 25දෙනෙක් හිටියා. ඒත් අවුරුදු ගාණක් යන කල්ම එයාලට හිටියේ එක වැඩිමහල්ලයි. 2015දී එයාලත් එක්ක සේවය කරන්න ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් 6දෙනෙක්ම ආවාම ඒ 25දෙනාට පුදුම සතුටක් දැනුණා.

සේවයේ පෙරමුණ ගත්තා

සමහරු තුර්කියේ සේවය කරන්න ඇවිත් දැන් ටික කාලයක් ගිහින්. එයාලට අභියෝග තිබුණත් ප්‍රචාරකයන් අඩු පැතිවල සේවය කරන අය හැටියට එයාලා හුඟක් ආශීර්වාද අද්දකිනවා.

ෆෙදෙරිකෝ

ස්පාඤ්ඤයේ ඉඳන් ආපු වයස 40ගණන්වල ඉන්න ෆෙදෙරිකෝ විවාහක කෙනෙක්. එයා මෙහෙම කිව්වා. “මට ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න හුඟක් දේවල් නෑ. ඒ නිසා මගේ ජීවිතේ සරලයි. වැදගත්ම දේට අවධානය දෙන්න ඒකෙන් මට පුළුවන් වෙලා තියෙනවා.” ‘මේ සේවය කරන්න ඔයා අනිත් අයටත් උනන්දු කරනවාද’ කියලා ඇහුවාම එයා කිව්වේ මෙහෙමයි. “ආයෙත් අහලා! දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න තියෙන ආසාව නිසා ඔයා වෙන රටකට යනවා කියන්නේ හරියට ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවිගේ අතට භාර දෙනවා වගේ. දෙවිගේ රැකවරණය හිතාගන්න බැරි විදිවලින් ඔයා අද්දකියි.”

රූඩි

“ප්‍රචාරකයන් අඩු පැත්තක සේවය කරන්න ලැබුණ එක කොච්චර සතුටක්ද! බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන කවදාවත් අහලා නැති අයට ඒවා කියලා දෙන්න ලැබෙන එක තරම් සතුටක් තවත් නෑ. සත්‍යය තේරුම්ගද්දී මිනිසුන්ට දැනෙන සතුට අපිටත් දැනෙනවා.” එහෙම කිව්වේ නෙදර්ලන්තයෙන් ආපු විවාහක සහෝදරයෙක් වන රූඩි. එයාට වයස 60කට කිට්ටුයි.

සාෂා

වයස 40 ගණන්වල ඉන්න සාෂා ආවේ ජර්මනියෙන්. එයාත් විවාහකයි. “සේවයේ යන හැම වෙලාවකම මට හම්බ වෙනවා යෙහෝවා දෙවි ගැන කවදාවත් අහලා නැති අයව. දෙවි ගැන එයාලට කියලා දෙද්දී දැනෙන සතුට විස්තර කරන්න මට වචන නෑ” කියලා සාෂා කිව්වා.

ආට්සුකෝ

“ඉස්සර මං හිතුවේ හර්–මගෙදොන් ඉක්මනින් එනවා නම් හොඳයි කියලා. ඒත් තුර්කියට ආවාට පස්සේ මට හිතුණා දෙවි මෙච්චර කල් ඉවසපු එක කොච්චර දෙයක්ද කියලා. යෙහෝවා දෙවි මඟ පෙන්නන විදිහ දකිද්දී තව තව දෙවිට ළං වෙන්න මට ආස හිතෙනවා” කියලා ජපානයෙන් ආපු සහෝදරි ආට්සුකෝ කිව්වා.

අලීසා රුසියාවේ කෙනෙක්. එයා මෙහෙම කිව්වා. “සේවය කරන්න තුර්කියට ආපු නිසා යෙහෝවා දෙවි යහපත් කෙනෙක් කියලා රස බලලාම දැනගන්න මට පුළුවන් වුණා.” (ගීතා. 34:8) “දෙවි මගේ තාත්තා විතරක් නෙමෙයි මගේ හොඳම යාළුවා. ජීවිතේ වෙනස්කම්වලට මුහුණ දෙද්දී මං දෙවිව තවත් හොඳින් අඳුරගන්නවා. මගේ ජීවිතේ ලස්සන අද්දැකීම්වලින්, ආශීර්වාදවලින් පිරිලා. හැම මොහොතක්ම මං ගෙවන්නේ සතුටින්” කියලත් එයා කිව්වා.

“කරල් පැසී තිබෙන හැටි බලන්න”

ඒ විශේෂ වැඩසටහන නිසා තුර්කියේ ඉන්න හුඟදෙනෙක්ට ශුභාරංචිය දැනගන්න ලැබුණා. ඒත් සේවය කරලා නැති තව හුඟක් පැති තුර්කියේ තියෙනවා. සේවය කරන්න වෙනත් රටවලින් එහෙට ආපු සහෝදරයන්ට හැම දවසකම වගේ යෙහෝවා දෙවි ගැන අහලා නැති අයව හම්බ වෙනවා. ඔයාත් ආස නැද්ද ඒ වගේ ප්‍රදේශයක සේවය කරන්න? එහෙමනම් අපි ඔයාට කියන්නේ “ඔබේ ඇස් ඇර බලන්න කියායි. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.” (යොහ. 4:35) දෙවි ගැන දන්නේ නැති අය ඉන්න ප්‍රදේශ හරියට කරල් පැහිලා තියෙන කෙතක් වගේ. ඒ වගේ ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔයාට පුළුවන්ද? එහෙමනම් ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා හිතන්න. ඒ ඉලක්කයට ළං වෙන්න පියවර ගන්න. “පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන්න හවුල් වෙන අය අද්දකින ආශීර්වාද වෙන කිසිම දේකට සමාන කරන්න බැහැ.—ක්‍රියා 1:8.