Skip to content

පටුනට යන්න

 පිළිසඳරක් | වංලොං හා

භෞතික විද්‍යා පර්යේෂකවරයෙක් තම විශ්වාසය ගැන කියයි

භෞතික විද්‍යා පර්යේෂකවරයෙක් තම විශ්වාසය ගැන කියයි

වංලොං හා, මුලින්ම භෞතික විද්‍යාව හැදෑරුවේ චීනයේ ජියෑසු පළාතේ විශ්වවිද්‍යාලයකින්. තාක්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ සඟරාවක සංස්කාරකවරයෙක් වන ඔහු විද්‍යාව පිළිබඳ ලිපි බොහොමයක්ද පළ කර තිබෙනවා. ඔහු දැන් සේවය කරන්නේ ස්කොට්ලන්තයේ විශ්වවිද්‍යාලයකයි. තරුණ කාලයේදී පරිණාමය විශ්වාස කළත් පසුව ඔහු නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්න පටන්ගත්තා. අපි ඒ ගැන ඔහුගෙන් අහලා බැලුවා.

අපිට ඔබේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

මම ඉපදුණේ 1963 චීනයේ ජියෑසු පළාතේ යැන්සි ගඟට දකුණින් තියෙන ගමක. ඒ පළාත ධීවර කර්මාන්තයටයි වගා කටයුතුවලටයි ප්‍රසිද්ධයි. ‘මේච්චර රස කෑම අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඒවා නිකම්ම ඇති වුණාද? මුලින්ම ආවේ කිකිළිද බිත්තරයද’ වගේ දේවල් පුංචි කාලේ මං නිතර හිතුවා. චීනයේ හුඟක් අය දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඉස්කොලේ අපිට ඉගැන්නුවෙත් හැම දේම පරිණාමය වුණා කියලයි.

පවුලේ තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද?

මගේ තාත්තා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. අම්මා කළේ වගා වැඩ. එයාලා දෙවියන්ව විශ්වාස කළේ නැහැ. පිරිමි ළමයි පස්දෙනෙක් හිටිය අපේ පවුලේ මම වැඩිමලා. මගේ මල්ලිලා දෙන්නෙක් පොඩි කාලෙදිම මැරුණා. ඒ වෙලාවේ දැනුණ දුක නිසා ‘ඇයි මිනිස්සු මැරෙන්නේ? මල්ලිලාව මට ආයෙත් දකින්න ලැබෙයිද’ කියලා මං නිතරම කල්පනා කළා.

ඇයි විද්‍යාව තෝරගත්තේ?

අවට ලෝකය ගැන දැනගන්න මට උනන්දුවක් තිබුණ නිසා මං භෞතික විද්‍යාව හැදෑරුවා. පුංචි කාලේ කල්පනා කරපු ප්‍රශ්නවලටත් භෞතික විද්‍යාවෙන් උත්තර ලැබෙයි කියලා මං හිතුවා.

මොනවා ගැනද ඔබ පර්යේෂණ කරන්නේ?

පරමාණුවල සැකැස්ම අධ්‍යයනය කරන්න මම පර්යේෂණ කරනවා. ඒ වගේම ක්ෂුද්‍ර තරංග සහ අධෝරක්ත කිරණ අතර සංඛ්‍යාතයක් තියෙන අධි බලැති කිරණ නිපදවන්නේ කොහොමද කියලත් මං පර්යේෂණය  කරනවා. මගේ පර්යේෂණවලින් කරන සොයාගැනීම්වලට හොඳ වටිනාකමක් තියෙනවා. ඒ පර්යේෂණ විශ්වයේ ආරම්භය ගැන කරන සොයාගැනීම්වලටත් සම්බන්ධයක් තියෙනවා.

බයිබලය ගැන උනන්දුවක් ඇති වුණේ කොහොමද?

1998දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. එයාලා මගේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර පෙන්නුවා. මගේ බිරිඳ හ්වාබිත් සාකච්ඡාවට හවුල් වුණා. එයත් විද්‍යාඥවරියක්. අපි කවදාවත් බයිබලයක් දැකලා තිබුණේ නැහැ. ඒත් ජීවිතයට අදාළ වන උපදෙස් බයිබලයෙන් දැක්කාම අපිට ආස හිතුණා. අපිත් එක්ක කතා කරපු යුවළත් ඒ උපදෙස් අදාළ කරගෙන තිබුණ නිසා හිටියේ හරිම සතුටින්. එයාලා ගත කළේ සරල ජීවිතයක්. දෙවියන් ගැන බයිබලයේ තිබුණ තොරතුරු දැක්කම, ඇත්තටම මේ විශ්වය නිර්මාණය කළේ දෙවියන්ද කියලා මං කල්පනා කරන්න පටන්ගත්තා. මං කරන පර්යේෂණවලිනුත් ඒ දේ ඔප්පු වෙනවාද කියලා මං හිතලා බැලුවා.

මේ විශ්වය නිර්මාණය කළේ දෙවියන් කියලා මගේ පර්යේෂණවලිනුත් ඔප්පු වෙනවාද කියලා මං හිතලා බැලුවා

මොන වගේ දේවල් ගැනද ඔබ හිතලා බැලුවේ?

කාගෙවත් මෙහෙයවීමක් නැතුව කිසිම දෙයක් දිගටම පිළිවෙළකට සිදු වෙන්නේ නැහැ. තාපගති විද්‍යාවේ දෙවන නියමයටත් ඒක එකඟයි. විශ්වය සහ සෑම ජීවියෙක් තුළම තියෙන පිළිවෙළ දැක්කාම ඒ දේවල් මෙහෙයවන්න කෙනෙක්, ඒ කියන්නේ නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕනේ කියලා මං තේරුම්ගත්තා. ඒ වගේම විශ්වය සහ පොළොව හදලා තියෙන්නේ ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට කියලත් මට තේරුණා.

එහෙම කියන්න සාක්ෂි තියෙනවාද?

පොළොවේ තියෙන හැම දෙයකම පැවැත්මට සූර්යය ශක්තිය අවශ්‍යයි. මේ ශක්තිය අභ්‍යවකාශය හරහා කිරණ විදිහට පොළොවට එනවා. ඒ කිරණවලින් කෙටිම තරංග ආයාමයක් තියෙන්නේ මනුෂ්‍යයන්ට අහිතකර ගැමා කිරණවලට. පිළිවෙළින් X කිරණ, පාරජම්බුල කිරණ, දෘෂ්‍ය ආලෝකය, අධෝරක්ත කිරණ සහ ක්ෂුද්‍ර කිරණවල තරංග ආයාමය එකකට වඩා එකක් වැඩියි. දිගම තරංග ආයාමයක් තියෙන්නේ රේඩියෝ තරංගවලයි. පුදුම දෙයක් වෙන්නේ අපේ වායුගෝලය හරහා එන්නේ අපිට අවශ්‍ය කිරණ විතරයි. අහිතකර කිරණ පොළොවට එන්නේ නැහැ.

ඒක ඔබේ හිතට කාවැදුණේ ඇයි?

දෙවියන් පොළොව නිර්මාණය කරපු විදිහ ගැන බයිබලයේ සඳහන් වාර්තාවේ ආලෝකය ගැන සඳහන් කරලා තියෙන තොරතුරු මගේ හිතට කාවැදුණා. බයිබලයේ සඳහන්වෙන්නේ “දෙවි, ‘මම ආලෝකය ඇති කරමි’ යයි කීවේය. එවිට ආලෝකය ඇති විය”1 කියලයි. සූර්ය කිරණවලින් ටිකක් විතරයි ආලෝකය විදිහට ලැබෙන්නේ. ශාකවලට ආහාර නිපදවන්නත් අපිට දේවල් දකින්නත් ආලෝකය අවශ්‍යයි. අපිට අත්‍යවශ්‍ය ඒ ආලෝක කිරණවලට වායුගෝලය හරහා පොළොවට එන්න ඉඩ දෙන විදිහ හරිම පුදුමයි. ඒ වගේ දෙයක් ඉබේ ඇති වෙන්න බැහැ. තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ පාරජම්බුල කිරණවලිනුත් සුළු ප්‍රමාණයක් විතරක් පොළොවට එන එක.

ඒක සුවිශේෂී දෙයක් වෙන්නේ ඇයි?

අපේ අස්ථිවලටත් පිළිකා සහ වෙනත් රෝගවලින් ආරක්ෂා වෙන්නත් විටමින් D ඕනේ. විටමින් D නිපදවන්න පාරජම්බුල කිරණවලින් සුළු ප්‍රමාණයක් අවශ්‍යයි. ඒත් මේ කිරණ වැඩිපුර පොළොවට ආවොත් සමේ පිළිකා සහ ඇහේ සුද ඇති වෙනවා. ඒත් වායුගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ පාරජම්බුල කිරණ අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පොළොවට ලැබෙන විදිහටයි. ජීවයේ පැවැත්ම සඳහා කවුරු හරි කෙනෙක් මේ දේවල් නිර්මාණය කළා කියලා කියන්න මේවා හොඳ සාක්ෂි.

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලත් බයිබලය දෙවියන්ගේ වචනය කියලත් හ්වාබිටයි මටයි ටිකෙන් ටික පැහැදිලි වුණා. 2005දී අපිත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණා. දැන් අපි හරිම සතුටින් බයිබලයේ තියෙන සත්‍යයන් අනිත් අයටත් කියලා දෙනවා.