Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | ජියර්මෝ පෙරෙස්

ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රෝහලක ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කළ වෛද්‍ය ජියර්මෝ පෙරෙස් පරිණාමය විශ්වාස කළ කෙනෙක්. නමුත් මිනිසාව නිර්මාණය කළේ දෙවියන් කියා පසු කාලයකදී ඔහු තේරුම්ගත්තා. අපි ඔහුගේ විශ්වාසය ගැන අහලා බැලුවා.

ඔබ පරිණාමය විශ්වාස කළේ ඇයි?

පොඩි කාලේ මම කතෝලික ආගම ඇදහුවත් මිනිස්සුන්ව නිරයක දාලා වධ දෙන දෙවි කෙනෙක්ව පිළිගන්න මම කැමති වුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවේ හැම දෙයක්ම ඇති වුණේ පරිණාමයෙන් කියලයි. ඒක ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලා මම හිතුවා. පල්ලියෙත් කිව්වේ දෙවියන් පරිණාමය වෙන්න ඉඩහැරියා කියලයි.

බයිබලය ඉගෙනගන්න උනන්දු වුණේ ඇයි?

මගේ බිරිඳ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළා. දෙවියන් මිනිස්සුන්ව නිරයක දාලා වධ දෙන්නේ නැහැ * කියලත් දෙවියන් මේ පොළොව ලස්සන පාරාදීසක් කරන්න යනවා * කියලත් එයාලා බයිබලයෙන් පෙන්නුවා. ඒවා විශ්වාස කරන්න පදනමක් තියෙනවා කියලා අපිට තේරුණා. 1989දී නික් කියන සාක්ෂිකරුවාත් එක්ක මමත් සාකච්ඡා කරන්න පටන්ගත්තා. දවසක්, ශරීරයේ සැකැස්ම ගැනත් එය නිර්මාණය වුණ විදිහ ගැනත් අපි කතා කළා. ඒ වෙලාවේ නික් බයිබලයෙන් හෙබ්‍රෙව් 3:4 පෙන්නුවා. ඒකෙ තියෙන්නේ “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය” කියලයි. ඒ සරල තර්කය මගේ හිතට තදින් කාවැදුණා.

මනුෂ්‍යයාව නිර්මාණය කළේ දෙවියන් කියලා පිළිගන්න ඔබේ විද්‍යා දැනුම උදව් වුණාද?

ඔව්. අපේ ශරීරය අලුත්වැඩියා වෙන ක්‍රියාවලිය ඉබේම ඇති වුණ දෙයක් කියලා හිතන්න බැහැ. උදාහරණයකට අපේ ශරීරයේ ඇති වන තුවාල සුව වීමේ ක්‍රියාවලියට අදියර 4ක් තියෙනවා. ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට මේ ක්‍රියාවලිය මගේ වැඩවලට අත්‍යවශ්‍යයි.

ශරීරයට තුවාලයක් වුණාම මොනවද වෙන්නේ කියලා අපිට ටිකක් කියන්න පුළුවන්ද?

පළවෙනි අදියරයේදී වෙන්නේ තත්පර කිහිපයක් ඇතුළත තුවාලයෙන් රුධිරය ගලන එක නතර කිරීමයි. මේ ක්‍රියාවලිය හරිම සංකීර්ණයි. ඒ වගේම කාර්යක්ෂමයි. උදාහරණයකට තුවාලයක් වුණාම ලේ කැටි ගැහිලා රුධිර නාලවල සිදුරු වැහෙන නිසා ලේ ගැලීම නතර වෙනවා. මේ විදිහට රුධිර නාල විශාල ගණනකින් හැදුණු අපේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාකරන විදිහ හරිම පුදුමයි.

දෙවෙනි අදියරේදී මොනවාද වෙන්නේ?

පැය කිහිපයක් යද්දී ලේ ගැලීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. කලින් රුධිරය ගලා යෑම නතර කරන්න එකට එකතු වුණ කේශනාලිකා දැන් ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා. තුවාල සුව වෙන්න අවශ්‍ය කරන රුධිර සෛල ඒවාවලින් පිට වෙන්නේ එතකොටයි. ඊටපස්සේ තුවාලය සිදු වූ ස්ථානය ප්‍රෝටීන අඩංගු තරලයකින් පිරෙනවා. තුවාලය අවට ඉදිමෙන්නේ මේ හේතු නිසයි. ප්‍රෝටීන අඩංගු එම තරලයෙන් තුවාලය ආසාදනය වීම වැළැක්වීම, විෂ සහිත දේවල් විනාශ කිරීම සහ හානි වූ පටක ඉවත් කිරීම සිදු කරනවා. නොනැවතී සිදු වෙන මේ සුව වීමේ ක්‍රියාවලිය සඳහා විශේෂ අණු සහ සෛල මිලියන ගණනක් අවශ්‍ය වෙනවා. ඒ සෛලවලින් එක් අදියරක් අවසන් වෙද්දී අනික් අදියර ආරම්භ කරන්න සංඥාවක් නිකුත් කරනවා.

සුව වීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු වෙන්නේ කොහොමද?

දවස් කිහිපයක් යද්දී අලුත්වැඩියා වෙන්න අවශ්‍ය කරන දේවල් ශරීරයෙන් නිපදවනවා. ඒක තමයි තුන්වෙනි අදියර. ඒකට සති දෙකක් විතර යනවා. තන්තු වර්ධනයට අවශ්‍ය කරන සෛල තුවාල වූ ස්ථානයට එන අතර ඒවා බෙදී අලුත් සෛල නිර්මාණය වෙනවා. කේශනාලිකාත් වැඩෙන්න පටන්ගන්නවා. මේ කේශනාලිකාවලින් කරන්නේ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර හානි වූ පටක නැවත පිළිසකර කරන්න අවශ්‍ය පෝෂණය ලබා දීමයි. එතන වර්ධනය වෙන විශේෂ සෛල වර්ගයක් නිසා තුවාලයේ මායිම් දෙක එකතු වෙනවා.

අන්තිමට වෙන්නේ මොකක්ද?

අන්තිම අදියරේදී තමයි පටක යථා තත්වයට පත් වෙන්නේ. කැඩුණු අස්ථියක් පවා තිබුණ තත්වයට පත් වෙන්නේ ඒ කාලයේදීයි. තුවාල වුණ ස්ථානයේ වැඩුණු අලුත් පටක ශක්තිමත් වෙලා සාමාන්‍ය තත්වයට පත් වෙනවා. සැලැස්මකට අනුවයි අපේ ශරීරය ක්‍රියා කරන්නේ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ තුවාල සුව වීමේ ක්‍රියාවලිය.

ඔබේ අද්දැකීමක් අපිට කියන්න පුළුවන්ද?

අලුත්වැඩියා වෙන්න ශරීරයට තියෙන හැකියාව හරිම පුදුමාකාරයි

රිය අනතුරකට මුහුණ දුන් අවුරුදු 16ක ගැහැණු දරුවෙක්ට මම ප්‍රතිකාර කළා. එයාගේ ප්ලීහාව දරුණු විදිහට තුවාල වෙලා. ඒ වගේම අභ්‍යන්තර රුධිර වහනයකුත් තිබුණා. ඉස්සර නම් ප්ලීහාව ඉවත් කරන්න හරි ඒකට ප්‍රතිකාර කරන්න හරි ලොකු සැත්කමක් කරනවා. ඒත් දැන් වෛද්‍යවරුන් බලන්නේ අලුත්වැඩියා වෙන්න ශරීරයට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්නයි. ඒ නිසා ඒ ළමයාගේ තුවාලය ආසාදනය වෙන එක වළක්වන්න, වේදනාව අඩු කරන්න සහ රුධිර මට්ටම ඉහළ නංවන්න අවශ්‍ය කරන ප්‍රතිකාර විතරයි මට කරන්න තිබුණේ. සති කිහිපයකින් පස්සේ කරපු ස්කෑන් එකෙන් අපි දැක්කා එයාගේ ප්ලීහාව සුව වෙලා කියලා. අලුත්වැඩියා වෙන්න ශරීරයට තියෙන හැකියාව හරිම පුදුමාකාරයි. ඒක දැක්කම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන එක මට තවත් තහවුරු වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔබට මොනවාද හිතුණේ?

එයාලා හරිම මිත්‍රශීලීයි. ඒ වගේම මම අහපු හැම ප්‍රශ්නයකටම එයාලා උත්තර දුන්නේ බයිබලයෙන්. බය නැතුව තමන් විශ්වාස කරන දේවල් අනිත් අයට කියන්න එයාලා ගන්න උත්සාහය ගැනත් මට ලොකු පැහැදීමක් ඇති වුණා.

සාක්ෂිකරුවෙක් වුණ එක ඔබේ රැකියාවට උදව්වක් වුණාද?

සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට හෙදියන්ට හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ ලෙඩයි තුවාලයි නිසා එයාලටත් ලොකු මානසික පීඩනයක් දැනෙනවා. මටත් ඒක දැනුණා. නමුත් සාක්ෂිකරුවෙක් වුණ එක මට ඒ තත්වයට මුහුණ දෙන්න උදව් වුණා. ඒ වගේම සහනයක් බලාපොරොත්තුවෙන් මාත් එක්ක කතා කරන රෝගීන්ට, දුක් වේදනා3 නැති, “මා ලෙඩින්” * කියලා කවුරුත් කියන්නේ නැති කාලය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන කියන එකෙනුත් මම ලොකු සතුටක් ලබනවා.  *