Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | රෙබෙකා

යන්න මම කැමතියි

යන්න මම කැමතියි

රෙබෙකා සති ගාණක් ඔටුවෙක් පිට නැඟී ආව ගමන ලේසි පහසු එකක් නම් නෙවෙයි. ඔටුවා පිට පැද්දි පැද්දි යන ගමන මුලින් නුහුරු එකක් වුණත් දැන් ඇය ඒකටත් හුරු වෙලා. ඇය ළමා කාලය ගත කරපු හාරාන් ප්‍රදේශය දැන් තියෙන්නේ ගව් ගාණක් ඈතක. සමහරවිට ආපහු කවදාවත් ඇගේ පවුලේ අයට ඇයව දකින්න ලැබෙන එකක් නැහැ. ගමනාන්තයට පැමිණි ඇය අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා කල්පනා කරනවා ඇති.

ඔවුන් කානාන් දේශය පසු කර නෙගෙබ්වලට ළඟා වෙමින් ඉන්නවා. (උත්පත්ති 24:62) ඒ ප්‍රදේශය වගා කටයුතු කරන්න තරම් සුදුසු භූමියක් නෙමෙයි. හැබැයි හොඳට තණකොළ වැඩිලා තියෙන නිසා ඇය බැටළුවන්ව නම් දකිනවා ඇති. ඇය එක්ක හිටිය වයසක කෙනාට නම් ඒක නුපුරුදු පරිසරයක් නෙමෙයි. ඔහු පුල පුලා බලාගෙන ඉන්නේ ඔහුගේ ස්වාමියාට ශුභාරංචිය කියන්නයි. ඒත් රෙබෙකා ඇගේ අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා කල්පනා කරනවා ඇති. ඇගේ අත ගන්න බලාගෙන ඉන්න ඊසාක් මොන වගේ කෙනෙක්ද? ඒ දෙන්නා කවදාවත් මුණගැහිලා නැහැ. ඇයව දැක්කාම ඔහු ඇයට කැමති වෙයිද? අනිත් අතට ඇයට ඔහු ගැන මොන වගේ හැඟීමක් ඇති වෙයිද?

අද නම් යෝජිත විවාහයන් ලෝකයේ හුඟක් පැතිවල ඉන්න අයට අමුතුයි. ඒත් සමහර ප්‍රදේශවල ඒ වගේ විවාහයන් සිද්ධ වෙන එක සාමාන්‍යයි. ඒ කොහොමවුණත් රෙබෙකා දැන් ගමන් කරන්නේ හාත්පසින්ම වෙනස් තත්වයකට මුහුණ දෙන්නයි. ඇත්තෙන්ම ඇය නිර්භීත, දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති කාන්තාවක්. ජීවිතේ යම් වෙනස්කම්වලට මුහුණ දෙද්දී අපිටත් ඒ ගුණාංග දෙක අත්‍යවශ්‍යයි. ඒත් රෙබකාට අද කාලේ දකින්න අමාරු වෙනත් වටිනා ගුණාංගත් තියෙනවා.

“ඔබේ ඔටුවන්ටත් ඇති වන තුරු බොන්න මම වතුර ඇද දෙන්නම්”

රෙබෙකා හැදී වැඩුණේ මෙසපොතේමියාවේ නගරයක් වන හාරාන්වල හෝ ඒ අසල නගරයකයි. එහේ හිටිය හුඟක් අයට වඩා එයාගේ දෙමව්පියන් ගත කෙරුවේ වෙනස් ජීවිතයක්. මොකද ඒ අය ඇදහුවේ සින් කියන සඳ දෙවියාව. ඒත් රෙබෙකාගේ දෙමව්පියන් නමස්කාර කෙරුවේ යෙහෝවා දෙවියන්ට. (උත්පත්ති 24:50) රෙබෙකාට ජීවිතේ ලොකු වෙනසක් කරන්න සිද්ධ වුණත් නමස්කාරය පැත්තෙන් වෙනසක් කරන්න සිද්ධ වුණේ නැහැ.

රෙබෙකා වැඩෙද්දී රූමත් තරුණියක් වුණා. ඒත් ඇයට තිබුණේ රුව විතරක්ම නෙමෙයි. ඇය කඩිසර, චරිතවත් කාන්තාවක්. අතට පයට වැඩකරුවන්ව තියාගන්න පුළුවන් පවුලක හැදී වැඩුණත් ඇය රාජකුමාරිකාවක් වගේ ඇති දැඩි වුණේ නැහැ. මහන්සි වෙලා ගෙදරදොරේ වැඩ කරන්න ඇයව පුහුණු කරලා තිබුණා. අනිත් කාන්තාවන් වගේම ඇයත් පවුලට අවශ්‍ය වතුර ගේන එක වගේ වෙහෙසිලා කරන වැඩ කෙරුවා. හවස් වේගන එද්දී කළෙත් අරන් ළිඳට යන්න ඇය පුරුදු වෙලා හිටියා.—උත්පත්ති 24:11, 15, 16.

දවසක් හැන්දෑවේ ඇගේ කළේට වතුර පුරවලා ඉවර වෙද්දී වයසක කෙනෙක් රෙබෙකා ළඟට ඇවිත් “ඔබේ කළයෙන් මට වතුර උගුරක් දෙන්න පුළුවන්ද” කියලා ඇහුවා. ඒක සුළු ඉල්ලීමක් වුණත් ඔහු ඒක කෙරුවේ ගොඩක් යටහත්පහත්ව. ඒ කෙනා ආවේ දුර කතර ගෙවාගෙනයි කියලා රෙබෙකාට තේරුණා. ඉක්මනින්ම ඇය උගුරක් දෙකක් නෙමෙයි පිපාසය නැති වෙනකම් බොන්න වතුර දුන්නා. ඒ ළඟ තිබුණ හිස් දිය ඔරුව ගාව ඔහුගේ ඔටුවන් දහදෙනාත් ඉන්නවා දැක්කා. කරුණාවෙන් ඇය දිහා බලාගෙන හිටිය ඔහුට ඇය කිව්වා “ඔබේ ඔටුවන්ටත් ඇති වන තුරු බොන්න මම වතුර ඇද දෙන්නම්” කියලා.—උත්පත්ති 24:17-19.

ඇය ඉදිරිපත් වුණේ ඔටුවන් දහදෙනාට වතුර උගුරක් දෙකක් දෙන්න නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ලොකු තිබහකින් ඉන්න ඔටුවෙක් වතුර ලීටර් 95ක් විතර බොනවා. ඔටුවන් දහදෙනාම ඒ වගේ තිබහකින් හිටියා නම් රෙබෙකාට පැය ගාණක් වතුර අදින්න වෙනවා. ඒක එහෙම වුණේ නැහැ. * ඔටුවන්ට වතුර දෙන්න ඉදිරිපත් වෙද්දී කොච්චරක් දෙන්න වෙයිද කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. මේ නාඳුනන වයසක කෙනාට කරුණාව පෙන්වන්න ඒ දේත් කරන්න ඇය ඉදිරිපත් වුණා. ඔහු ඒ ගැන සතුටු වුණා. ඉතිං ඇය ළිඳට ගිහින් සැරෙන් සැරේ වතුර ගෙනල්ලා දිය ඔරුවට පුරවද්දී ඔහු විමසිල්ලෙන් බලාගෙන හිටියා.—උත්පත්ති 24:20, 21.

රෙබෙකා කඩිසර, ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක්

රෙබෙකාගේ ආදර්ශයෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. අද අපි ජීවත් වෙන්නේ ආත්මාර්ථකාමිත්වය රජයන ලෝකයක. කාලෙකට කලින් ලිව්ව අනාවැකියකට අනුව අද ඉන්නේ “තමන් ගැනම සිතන” අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න අකමැති අය. (2 තිමෝති 3:1-5) ක්‍රිස්තියානීන් ඒ බලපෑමට හසු නොවී ඉන්න නම් තමන් ගැන නොහිතා අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඉදිරිපත් වුණ රෙබෙකාගේ පරිත්‍යාගශීලිකම ගැන හිතලා බලන්න ඕනේ.

ඔහු විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා රෙබෙකා දකින්න ඇති. පුදුමෙන් බලාගෙන හිටිය ඔහුට සතුටක් දැනුණා. ඇගේ වැඩ කොටස ඉවර කළාට පස්සේ ඔහු ඇයට රන් ආභරණ තෑගි කළා. ඊටපස්සේ මෙහෙම ඇහුවා. “ඔබේ පියා කවුද? අපිට අද රෑ ඉන්න ඔබේ පියාගේ ගෙදර ඉඩ තියෙනවාද?” ඇගේ පවුලේ විස්තර කිව්වම ඔහුගේ ප්‍රීතිය ඉහවහ ගියා. ඒත් එක්කම ඇය මෙහෙම කිව්වා. “අපි ළඟ සතුන්ට දෙන්න ඇති තරම් කෑම තියෙනවා. පිදුරුත් තියෙනවා. රෑට නවාතැන් ගන්න තැනකුත් තියෙනවා.” ඔහු එක්ක තව අය හිටිය නිසා ඒක පොඩි පහේ උදව්වක් නෙමෙයි. අම්මාට විස්තරේ කියන්න ඇය දුවගෙන ගියා.—උත්පත්ති 24:22-28, 32.

රෙබෙකා ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් විදිහට හැදී වැඩුණු බව පැහැදිලියි. ඒක අද සමාජයෙන් තුරන් වේගන යන ගුණාංගයක්. ඒ ගුණාංගයත් ඇයව ආදර්ශයට ගන්න හොඳ හේතුවක්. දෙවියන්ව විශ්වාස කරන කෙනෙක් ආගන්තුක සත්කාරයට ළැදියි. මොකද ඔහු පරිත්‍යාගශීලි දෙවි කෙනෙක්. ඔහුට නමස්කාර කරන අයත් ඒ වගේ වෙනවටයි ඔහු කැමති. අපිට ආපහු යමක් දෙන්න බැරි අයට පවා අපි ආගන්තුක සත්කාරය පෙන්වනවා නම් අපේ ස්වර්ගික පියාණන්ව සතුටු කරන්න අපිට පුළුවන්.—මතෙව් 5:44-46; 1 පේතෘස් 4:9.

“මගේ පුත්‍රයා වන ඊසාක්ට බිරිඳක් සොයා දිය යුතුයි”

ළිඳ ළඟ හිටිය වයසක කෙනා කවුද? ඒ ආබ්‍රහම්ගේ සේවකයෙක්. ඔහු රෙබෙකාගේ සීයාගේ සහෝදරයෙක්. ඒ නිසා රෙබෙකාගේ තාත්තා වන බෙතුයෙල් ඔහුව ආදරයෙන් පිළිගත්තා. ඔහුගේ නම එලියේසර් වෙන්න ඇති. * ඔහුට කෑම පිළිගැන්නුවත් ආපු කාරණය කියනකම් කෑම කන්න ඔහු කැමති වුණේ නැහැ. (උත්පත්ති 24:31-33) එලියේසර් ප්‍රීතියෙන් හා උනන්දුවෙන් විස්තරේ කියන්න ඇති. මොකද ඔහු ආපු කාරණයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරපු විදිහ ඔහු ටිකකට කලින් අද්දැක්කා. ඒ කොහොමද?

රෙබෙකාගේ තාත්තා වන බෙතුයෙල්ටයි ඇගේ සහෝදරයා වන ලාබන්ටයි එලියේසර් මුළු කතන්දරයම කියද්දී ඒ අය හාවක් හූවක් නැතුව අහගෙන හිටිය විදිහ හිතින් මවාගන්න. කානාන්වලදී යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා කියලත් ආබ්‍රහම්ටයි සාරාටයි ඊසාක් කියලා පුතෙක් ඉන්නවා කියලත් ඔහු ආබ්‍රහම් සතු සියලු දේට උරුමක්කාරයා කියලත් එලියේසර් විස්තර කෙරුවා. හාරාන්වල ඉන්න ආබ්‍රහම්ගේ නෑදෑයන් අතරින් ඊසාක්ට භාර්යාවක් හොයාගෙන එන වගකීම තමන්ට භාර දුන්නා කියලත් ඔහු කිව්වා.—උත්පත්ති 24:34-38.

ඊසාක්ගේ භාර්යාව හැටියට කානාන්වල ස්ත්‍රීන්ගෙන් කෙනෙක්ව තෝරගන්නේ නැහැ කියලා එලියේසර්ගෙන් ආබ්‍රහම් පොරොන්දුවක් ගත්තා. එහෙම කෙරුවේ කානාන්වරු යෙහෝවා දෙවියන්ට නමස්කාර නොකළ නිසයි. ඔවුන්ගේ දුෂ්ටකම්වලට දෙවියන් දඬුවම් කරනවා කියලා ආබ්‍රහම් දැනගෙන හිටිය නිසා දුරාචාර ජීවිත ගත කරපු ඒ අය එක්ක තමන්ගේ ආදරණීය පුතා හවුල් වෙනවාට ඔහු කැමති වුණේ නැහැ. ඒ වගේම ඔහු දැනගෙන හිටියා දෙවියන් තම පොරොන්දු ඉටු කිරීමේදී තමන්ගේ පුතාට වැදගත් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා.—උත්පත්ති 15:16; 17:19; 24:2-4.

හාරාන්වල ළිඳ ළඟට ගියාම මේ මේ දේවල් වෙන්න සලස්වන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කෙරුවා කියලා එලියේසර් ඒ අයට කිව්වා. ඔහු ඉල්ලුවේ ඊසාක්ට විවාහ වෙන්න සුදුසු තරුණියක්ව තෝරගන්න උදව් කරන්න කියලයි. ඇයට ළිඳ ළඟට එන්න සලස්වන්න කියලත් වතුර ටිකක් බොන්න ඉල්ලුවාම ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්න ඇය කැමති වෙන්න ඕන කියලත් ඔහු කිව්වා. (උත්පත්ති 24:12-14) දන්නවාද ඇවිල්ලා ඒ විදිහටම කෙරුවේ කවුද කියලා? ඒ තමයි රෙබෙකා! එලියේසර් කියපු දේ ඇයට ඇහුණා නම් ඇයට කොහොම හැඟෙන්න ඇද්ද කියලා හිතලා බලන්න.

ඒක අහගෙන හිටපු බෙතුයෙල් සහ ලාබන් එකපාරටම කිව්වා “මේ දේ සිදු වුණේ යෙහෝවා දෙවිගේ කැමැත්තට අනුවයි” කියලා. ඊටපස්සේ එදා තිබුණු සිරිතට අනුව ඊසාක්ට රෙබෙකාව විවාහ කරලා දෙන්න තීන්දු කෙරුවා. (උත්පත්ති 24:50-54) මේකෙන් අදහස් කරනවාද රෙබෙකාගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය වුණේ නැහැ කියලා?

ඊට සති කීපයකට කලින් එලියේසර් ආබ්‍රහම්ගෙන් ඇහුවා ‘ඒ ස්ත්‍රිය එන්න අකමැති වුණොත් මොනවාද කරන්නේ’ කියලා. “අකමැති වුණොත් ඔබේ වගකීමෙන් ඔබ නිදහස්” කියලා ආබ්‍රහම් කිව්වා. (උත්පත්ති 24:39, 41) බෙතුයෙල්ගේ පවුලේ අයත් තරුණියගේ කැමැත්ත හොයලා බැලුවා. තමන්ට පවරපු වැඩේ සාර්ථක වුණා කියලා දැනගත්ත එලියේසර් ඊළඟ දවසේ උදෙන්ම ඔවුන්ගෙන් ඇහුවා රෙබෙකාව එක්කගෙන යන්න අවසර දෙනවාද කියලා. ඒත් ඔවුන් කැමති වුණේ ඇය තව දවස් 10ක් ඔවුන් එක්ක ඉන්නවාටයි. ඒ නිසා “අපි රෙබෙකාට කතා කර ඇගෙන් මේ ගැන අහමු” කියලා ඔවුන් තීරණය කෙරුවා.—උත්පත්ති 24:57.

රෙබෙකාට ලොකු තීරණයක් ගන්න සිද්ධ වුණා. ඇය ගත්තේ මොන තීරණයද? තාත්තායි අයියායි තමන්ට අනුකම්පා කරනවා කියලා දන්න එකෙන් ප්‍රයෝජන අරන් රෙබෙකා නුහුරු නුපුරුදු පළාතකට යන එක මඟහරින්න හැදුවද? නැත්නම් යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව වුණ දේවල හවුල්කාරියක් වෙන්න ලැබුණ එක වරප්‍රසාදයක් කියලා හිතුවද? හදිස්සියෙම ඇගේ ජීවිතයට වෙන්න යන වෙනස අභියෝගාත්මක එකක් වුණත් ඇය දුන්න උත්තරයෙන් ඇයට හැඟුණ විදිහ පැහැදිලි වුණා. ඇය කිව්වේ යන්න “මම කැමතියි” කියලයි.—උත්පත්ති 24:58.

අද විවාහයන් මීට වඩා වෙනස් වුණත් රෙබෙකාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඇයට වැදගත් වුණේ ඇගේ කැමැත්තට වඩා දෙවියන්ගේ කැමැත්ත ඉටු වෙනවා දකින එක. අද දිනත් විවාහ වෙද්දී කාවද තෝරගන්නේ කියලත් හොඳ සැමියෙක්, හොඳ බිරිඳක් වෙන්නේ කොහොමද කියලත් හොඳම මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් දේවවචනයෙනුයි. (2 කොරින්ති 6:14, 15; එෆීස 5:28-33) ඒ නිසා අපි රෙබෙකාව ආදර්ශයට අරගෙන දෙවියන්ගේ කැමැත්තට අනුව දේවල් කරමු.

‘අර තැනැත්තා කවුද?’

බෙතුයෙල්ගේ පවුලේ අය ආදරණීය රෙබෙකාට ආශීර්වාද කළා. පුංචි කාලේ ඉඳලම රෙබෙකාව බලාගත්ත දෙබොරායි සේවිකාවන් කීපදෙනෙකුයි එක්ක රෙබෙකාව එලියේසර් සහ ඔහුගේ පිරිස එක්ක යැව්වා. (උත්පත්ති 24:59-61; 35:8) වැඩි වෙලාවක් යන්න කලින් ටිකෙන් ටික හාරාන් නොපෙනී ගියා. සති තුනක් පුරා ආපු මේ ගමන කිලෝමීටර් 800ක දුර ගමනක්. මේක ලේසි පහසු ගමනක් නම් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ඔටුවන් පිට ගිහින් පුරුද්දක් නැති කෙනෙක්ට ටික දුරක් යද්දිම එපා වෙනවා. රෙබෙකා හිටිය පළාතේ ඕන තරම් ඔටුවෝ හිටියත් ඔටුවන් පිටේ යන එක ගැන ඇයට එච්චර අද්දැකීමක් තියෙන්න නැතුව ඇති. මොකද බයිබලයේ කියන්නේ ඇගේ පවුලේ අය එඬේරුන් මිසක් ඔටුවන් පිට ගිය වෙළඳාම්කරුවන් කියලා නෙමෙයි.—උත්පත්ති 29:10.

ඊසාක් ගැනයි ඔහුගේ පවුලේ අය ගැනයි විස්තර එලියේසර්ගෙන් දැනගන්න රෙබෙකා ආසාවෙන් ඉන්න ඇති. ගමන අතරතුර දවසක්දා අඳුර වැටීගෙන එද්දී ගිනිමැලයක් ළඟ ඉඳගෙන මේ වයසක කෙනා යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව ගැන ඇයට විස්තර කරන හැටි හිතින් මවාගන්න. ඔහු ඇයට කිව්වා මුළු මිනිස් වර්ගයාටම ආශීර්වාද ගේන කෙනෙක් ආබ්‍රහම්ගේ පෙළපතෙන් එන්න යෙහෝවා දෙවියන් සලස්වනවා කියලා. ඒ පොරොන්දුව ඉටු වෙන්නේ තමන්ගේ සැමියා වෙන්න යන ඊසාක් මාර්ගයෙන් කියලත් ඒකට හවුල්කාරියක් වෙන්න ලැබෙනවා කියලත් දැනගත්තාම රෙබෙකාට මොන තරම් පුදුමයක් ඇති වෙන්න ඇද්ද!—උත්පත්ති 22:15-18.

රෙබෙකාට තිබුණු නිහතමානිකම අද කාලේ දකින්න අමාරු වටිනා ගුණාංගයක්

මේ ලිපියේ මුලින්ම කියපු සිද්ධිය වුණ දවසට දැන් අපි යමු. ඔටුවන් පිට ආව ඔවුන් නෙගෙබ්වලට ළඟා වුණේ අඳුර වැටීගෙන එද්දියි. එතකොටම රෙබෙකා දැක්කා බර කල්පනාවක ඉන්න කෙනෙක් කෙතේ ඇවිදිනවා. ඔටුවා පහත් වෙන්නත් කලින් ඇය ‘ඔටුවාගේ පිටෙන් බිමට බැහැලා’ සේවකයාගෙන් ඇහුවා ‘අපිව හමු වෙන්න එන අර තැනැත්තා කවුද’ කියලා. ඒ ඊසාක් කියලා දැනගත්තාම ඇය සළුවෙන් ඔළුව වහගත්තා. (උත්පත්ති 24:62-65) එහෙම කෙරුවේ ඇගේ අනාගත ස්වාමිපුරුෂයාට ගෞරවය පෙන්වන්නයි. අද නම් ඒක පරණ තාලේ සිරිතක් කියලා පෙනෙයි. ඒත් ඇගේ නිහතමානිකමෙන් අපි හැමෝටම යමක් ඉගෙනගන්න පුළුවන්. මොකද අපි හැමෝටම ඒ ගුණාංගය අවශ්‍යයි.

අවුරුදු 40ක් විතර වුණ ඊසාක් ඒ වෙලාවේ හිටියේ අවුරුදු 3කට කලින් මිය ගිය තම මව වන සාරා ගැන දුක් වෙමින්. ඒකෙන් පේන්නේ ඊසාක් ආදරය, කරුණාව පිරුණු කෙනෙක් කියලයි. ඒ වගේ කෙනෙක්ට කඩිසර, ආගන්තුක සත්කාරයට ළැදි, යටහත්පහත් බිරිඳක්ව ලැබෙන එක මොන තරම් ආශීර්වාදයක්ද! ඒ දෙන්නා සතුටින් කල් ගෙව්වද? බයිබලයේ කියනවා ‘ඔහු ඇය සමඟ ආදරයෙන් බැඳුණා’ කියලා.—උත්පත්ති 24:67.

මේ දේවල් සිද්ධ වුණේ මීට සියවස් 39කට කලින් වුණත් රෙබෙකා ගැන ආදරයෙන් සිහි කරන්න අපිට පුළුවන්. ඇගේ නිර්භීතකම, කඩිසරකම, ත්‍යාගශීලිකම, නිහතමානිකම අපි අගය කරමු. ඒ වගේම බාල මහලු, ස්ත්‍රී පුරුෂ, විවාහක අවිවාහක අපි හැමෝටම ඇගේ විශ්වාසය ආදර්ශයක්!

^ 10 ඡේ. ඒ වෙද්දී හවස් වෙලා තිබුණා. ළිඳ ළඟ පැය ගාණක් රෙබෙකා හිටියා කියලා වාර්තාවේ නැහැ. ඇය වතුර ඇදලා ඉවර වෙද්දී පවුලේ අය නින්දට ගිහින් තිබුණා කියලවත් ඇගේ පමා වීම ගැන හොයන්න කවුරුවත් ආවා කියලවත් සඳහන් වෙන්නේ නැහැ.

^ 15 ඡේ. එලියේසර්ගේ නම මේ වාර්තාවේ සඳහන් නොවුණත් ඒ සේවකයා එලියේසර් වෙන්න ඕනේ. මොකද එක අවස්ථාකදී ආබ්‍රහම් තමන්ට උරුමක්කාරයෙක් හිටියේ නැත්නම් තමන්ට අයිති හැම දෙයක්ම එලියේසර්ට පවරන්න අදහස් කෙරුවා. ඒ නිසා ආබ්‍රහම්ගේ සේවකයන් අතරින් විශ්වාසවන්ත වගේම වැඩිමල්ම කෙනා ඔහු වෙන්න ඇති. මේ වාර්තාවේ සේවකයාව විස්තර කරලා තියෙන්නෙත් ඒ විදිහටයි.—උත්පත්ති 15:2; 24:2-4.