Skip to content

පටුනට යන්න

අපිට හරියි කියලා හිතෙන පාරේ යන එක හැම වෙලේම හරියයිද?

හරි වැරැද්ද: සමහරු පාර හොයන විදිහ

හරි වැරැද්ද: සමහරු පාර හොයන විදිහ

සමහර දේවල් තියෙනවා ‘මේක හරි, මේක වැරදියි’ කියලා හැමෝම වගේ පිළිගන්න. උදාහරණෙකට මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාරය වගේ දේවල් දකිද්දී හුඟක් අයට ඇති වෙන්නේ ලොකු කේන්තියක්. අනිත් අතට අනිත් අයගේ හැඟීම් ගැන හිතන, සාධාරණ, කරුණාවන්ත අයව හුඟක් අය අගය කරනවා. හැබැයි සමහරු හිතනවා ලිංගික කාරණා, අවංකකම, දරුවන් ඇතිදැඩි කරන විදිහ වගේ දේවල් ගැන හරි මොකක්ද වැරදි මොකක්ද කියලා හරියටම කියන්න බැහැ කියලා. ඒ වගේ දේවල්වලදී එයාලා තීරණ ගන්නේ එයාලට හරියි කියලා හිතෙන විදිහට. එහෙම නැත්නම් අනිත් අය කරන කියන දේවල් බලලා. ඒත් ඒ විදිහට ගන්න තීරණ ටක්කෙටම හරියයිද?

අපි හරියි කියලා හිතන විදිහ

සාමාන්‍යයෙන් දෙයක් හරිද වැරදිද කියලා අපේ හිත නැත්නම් හෘද සාක්ෂිය අපිට කියනවා. ගොඩක් වෙලාවට අපි තීරණ ගන්නේ අපේ හෘද සාක්ෂිය කියන විදිහට. (රෝම 2:14, 15) පුංචිම දරුවෙක්ට වුණත් අසාධාරණයක් වෙද්දී ටක්ගාලා ඒක තේරෙනවා. එයා වරදක් කළොත් ඒක එයාගේ හිතට වධ දෙනවා. හැබැයි අපි ලොකු වෙද්දී පවුලෙන්, ගුරුවරුන්ගෙන්, යාළුවන්ගෙන්, වටේ පිටේ අයගෙන්, ආගමෙන් සහ සංස්කෘතියෙන් ඉගෙනගන්න ප්‍රතිපත්තිවලට අනුව අපේ හෘද සාක්ෂිය හැඩගැහෙනවා. අපි ඉගෙනගන්න ඒ දේවල්වලට අනුව තමයි අපේ හිත අපි ගන්න තීරණ හරිද වැරදිද කියලා කියන්නේ.

අපේ හෘද සාක්ෂිය අපිට පැති දෙකකින් උදව් වෙනවා. එක පැත්තකින් ඒක අපිව පොලඹවනවා අනිත් අයට ආදරෙන් සලකන්න, සාධාරණව වැඩ කරන්න, එයාලාගේ හැඟීම් තේරුම්ගන්න සහ අනිත් අයව අගය කරන්න. අපි ආදරේ කරන අයගේ හිත රිද්දන්නේ නැතුව ඉන්නත් අපේ හිතට වධ දෙන, ලැජ්ජාවක් ඇති වෙන දේවල් නොකර ඉන්නත් ඒක අපිට උදව් කරනවා.

අපිට හරියි කියලා හිතෙන තීරණ හරියටම හරියනවාද? ගැරික් තරුණ කාලේ ජීවත් වුණේ, තීරණ ගත්තේ එයාට හරියි කියලා හිතුණ විදිහට. ඒත් එහෙම කරපු එකෙන් එයාට කිසිම සතුටක් ලැබුණේ නැහැ කියලා පස්සේ කාලෙක එයාට තේරුණා. එයා හැම වෙලාවෙම ගහ මරාගත්තා, දුරාචාරයේ යෙදුණා, කුඩු ගැහුවා, වෙරි වෙන කල් බිව්වා. එයා ඒ ජීවිතේ විස්තර කරන්නේ “කිසිම සතුටක් නැති, කාලකණ්ණි ජීවිතයක් විදිහට.”

අනිත් අය කරන කියන දේවල්

අපේ තීරණවලට බලපාන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අනිත් අය අපි ගැන මොනා හිතයිද කියලා හිතන එක. ඒකේ හොඳකුත් තියෙනවා. ඒකෙන් අපිට අනිත් අයගේ දැනුමෙන්, අද්දැකීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. පවුලේ අය, යාළුවෝ, වටේ පිටේ අය හරියි කියලා හිතන දේ කරද්දී එයාලාගේ පිළිගැනීමත් ලැබෙනවා.

අනිත් අය දිහා බලලා ගන්න තීරණ හරියටම හරියනවාද? ප්‍රිසිලා තරුණ කාලේ කළේ යාළුවෝ කරපු දේවල්මයි. එයා බඳින්නේ නැතුව කැමති කැමති කොල්ලෝ එක්ක එකට හිටියා. හැබැයි රැල්ලට ගිහින් එහෙම කරපු එකෙන් බලාපොරොත්තු වුණ සතුට එයාට ලැබුණේ නැහැ. “යාළුවෝ කරපු දේවල් කරන්න ගිහින් මං ගොඩක් දුක් වින්දා. මං ගත්තේ මෝඩ තීරණ. ජීවිතේ අනතුරේ දාන දේවලුත් මං කළා” කියලා එයා කියනවා.

ඊට වඩා හොඳ විදිහක් තියෙනවාද?

අපේ හිතට දැනෙන විදිහ, අනිත් අය හිතන විදිහ ගැන හිතලා තීරණ ගන්න එකෙන් ප්‍රයෝජන තියෙනවා. ඒත් එහෙම ගන්න හැම තීරණයකින්ම හොඳක් වෙයි කියන්න බැහැ. මොකද දුර දිග බලන්නේ නැතුව ගන්න තීරණ නිසා අපිටයි, අනිත් අයටයි ලොකු හානියක් වෙන්නත් පුළුවන්. (හිතෝපදේශ 14:12) හරි වැරැද්ද ගැන අපිටයි, අපි වටේ ඉන්න අයටයි හිතෙන විදිහ හැම වෙලේම හරිද? හරි වැරැද්ද ගැන අපි හිතන විදිහ කවදාවත් වෙනස් කරගන්න ඕනෙ නැද්ද? එහෙම කියන්න බැහැ. මොකද අපි දන්නවා කාලෙකට කලින් හොඳයි කියපු සමහර දේවල් දැන් සලකන්නේ නරක දේවල් විදිහට. නරකයි කියපු දේවල් සලකන්නේ හොඳ දේවල් විදිහට.

අනිත් අය යන පාරේ යන එක හැම වෙලේම හරියයිද?

හොඳ නරක ගැන හරි තීරණ ගන්න ඊට වඩා හොඳ විදිහක් තියෙනවාද? අදටත් හැමදාටමත් විශ්වාස කරන්න පුළුවන් ප්‍රතිපත්ති හොයාගන්නේ කොහෙන්ද?

ඕනෙම තැනක ඉන්න, ඕනෙම කෙනෙක්ට ගැළපෙන, විශ්වාස කරන්න පුළුවන් වෙනස් නොවෙන ප්‍රතිපත්ති ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ කොහෙන්ද කියලා ඊළඟ ලිපියෙන් බලමු.