Skip to content

පටුනට යන්න

‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වන දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න හුඟක් කැමතියි.—ගීතාවලිය 65:2

දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන විදිහට යාච්ඤා කරන්න

දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන විදිහට යාච්ඤා කරන්න

අපේ හිතේ තියෙන හැම දෙයක්ම යාච්ඤාව මාර්ගයෙන් දෙවියන්ට කියන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. ඇත්තටම ඒක දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. එක අවස්ථාවක අනාගතවක්තෘවරයෙක් වන දාවිත් මෙහෙම කිව්වා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.” (ගීතාවලිය 65:2) හැබැයි දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා අපිට ආශීර්වාද කරනවාට කැමති නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

නිහතමානීව මුළු හදවතින්ම යාච්ඤා කරන්න

ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ කියන්නේ ඔයාට හැඟෙන දැනෙන හැම දේම යාච්ඤාවෙන් දෙවියන්ට කියන්න ඔයාට පුළුවන්. (ගීතාවලිය 62:8) ඒ වගේ යාච්ඤා අහන්න සියලු බලැති දෙවියන් හුඟක් කැමතියි.

දෙවියන්ගේ නම කියලාම යාච්ඤා කරන්න

දෙවියන්ව විවිධ පදවි නම්වලින් හැඳින්නුවත් ඔහුට තියෙන්නේ එක නමක් විතරයි. ඒ ගැන දෙවියන්ම කියන්නේ “මාගේ නාමය යෙහෝවාය” කියලයි. (යෙසායා 42:8) යෙහෝවා කියන නම ශුද්ධ ලියවිල්ලේ 7,000 වතාවක් විතර සඳහන් වෙනවා. දෙවියන්ගේ අනාගතවක්තෘවරුන් හුඟදෙනෙක් ඔහුගේ නම කියලාම යාච්ඤා කරලා තියෙනවා. එක අවස්ථාවකදී ආබ්‍රහම් මෙහෙම කිව්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, මට ඔබත් එක්ක තව ටිකක් කතා කරන්න ඉඩ දෙන්න.’ (උත්පත්ති 18:30) අපිත් යාච්ඤා කරද්දී යෙහෝවා කියන නම කියලාම දෙවියන් එක්ක කතා කරන්න ඕනේ.

ඔයාගෙම භාෂාවෙන් යාච්ඤා කරන්න

අපි මොන භාෂාවක් කතා කළත් අපිට හිතෙන විදිහ, හැඟෙන විදිහ හොඳින්ම තේරුම්ගන්න දෙවියන්ට පුළුවන්. ඒ ගැන දෙවියන්ගේ වචනයේ මෙහෙම කියනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න නම් යාච්ඤා කරනවාට අමතරව අපි කරන්න ඕන තවත් දේවල් තියෙනවා. ඒ මොනවාද කියලා ඊළඟ ලිපිවලින් බලමු.