Skip to content

පටුනට යන්න

මුදල් පාලනය

මුදල් පාලනය

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා හුඟදෙනෙක්ට ආර්ථික ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

හොඳින් සැලසුම් කරන්න

බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”—හිතෝපදේශ 21:5.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? නිකරුණේ සල්ලි වියදම් කරන්නේ නැතුව සැලැස්මකට අනුව දේවල් කරන්න. හුඟක් දේවලට ආස වුණත් ඒ හැම දේම ගන්න ඔයාට සල්ලි නැතුව ඇති. ඒ නිසා අරපිරිමැස්මෙන් වියදම් කරන්න ඉගෙනගන්න.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • වියදම් කරන විදිහ කලින්ම තීරණය කරන්න. ඔයාට වියදම් කරන්න වෙන දේවල ලැයිස්තුවක් හදාගන්න. ඒ එක් එක් දේවලට ඔයා කොයි තරම් මුදලක් වෙන් කරනවාද කියලා තීරණය කරන්න. එක දේකට ඔයා වෙන් කරපු මුදලට වඩා වියදම් වුණොත් අත්‍යවශ්‍ය නැති දේකට වෙන් කරලා තියෙන මුදලින් ඒක අරගන්න. උදාහරෙණකට පෙට්‍රල්වලට හිතුවාට වඩා වියදම් වුණා නම් කඩෙන් කන්න වෙන් කරපු මුදලින් ඒක ගන්න.

  • අනවශ්‍ය විදිහට ණය වෙන්න එපා. ඔයාට ඕන දේවල් ගන්න සල්ලි ඉතුරු කරගන්න. ණය නොවී ඉන්න උපරිමයෙන් වෑයම් කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් මාසේ අන්තිමට අදාළ මුදල ගෙවන්න. ණය වෙලා තියෙනවා නම් ඒක ඉක්මනින් ගෙවන්න සැලසුමක් හදාගෙන ඒකට අනුව වැඩ කරන්න. නැත්නම් ලොකු පොලියක් ගෙවන්න වෙයි.

    සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අය පාලනයකින් තොරව වියදම් කරන්න පෙලඹෙනවා කියලා. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරද්දී පරෙස්සම් වෙන්න.

කම්මැළි වෙන්න එපා

බයිබල් ප්‍රතිපත්තිය: “ශීත කාලයේදී අලසයා බීජ වපුරන්නේ නැත. අස්වැන්න නෙළන කාලයේදී ඔහු සිඟමනේ ගියත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත.”—හිතෝපදේශ 20:4.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කම්මැළිකම දුප්පත්කමට මඟ පාදනවා. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න. සැලැස්මකට අනුව වියදම් කරන්න.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සි වෙලා වගකීමෙන් වැඩ කළොත් රස්සාව රැකගන්න ඔයාට පුළුවන් වෙයි. ඕනම ප්‍රධානියෙක් කැමති ඒ වගේ සේවකයන්ටයි.

  • අවංක වෙන්න. වැඩපොළෙන් හොරකම් කරන්න එපා. ‘හොරෙක්’ කියලා නම් පටබැඳුණු කෙනෙක්ට රස්සාවක් දෙන්න කවුරුත් කැමති නැහැ.

  • සල්ලිවලට කෑදර වෙන්න එපා. සීමාවක් නැතුව සල්ලි හොයන්න ගියොත් ඔයාගේ සෞඛ්‍යයට ලොකු හානියක් වෙයි. ආදරේ කරන අය එක්ක තියෙන බැඳීම් පලුදු වෙන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි කියලා මතක තියාගන්න.

තවත් බයිබල් ප්‍රතිපත්ති

jw.org හරහා භාෂා සිය ගණනකින් බයිබලය ඔන්ලයින් කියවන්න පුළුවන්

නරක පුරුදුවලට ඇබ්බැහි වෙලා ඔයාගේ කාලය, මුදල් නාස්ති කරගන්න එපා.

“බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය. මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.”—හිතෝපදේශ 23:21.

සල්ලි ගැන ඕනෑවට වඩා ළත වෙන්න එපා.

“කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින් ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.”—මතෙව් 6:25.

ඊර්ෂ්‍යා කරන්න එපා.

“ඊර්ෂ්‍යා කරන තැනැත්තා වස්තුව ලබාගන්න වෙහෙසෙයි. එහෙත් පසුව ඔහුට අගහිඟකම් විඳින්න සිදු වන බව ඔහු නොදනියි.”—හිතෝපදේශ 28:22.