Skip to content

මේ ලෝකය පාලනය කරන්නේ කවුද?

මේ ලෝකය පාලනය කරන්නේ කවුද?

ඔයා හිතන විදිහට . . .

  • දෙවියන්ද?

  • මිනිස්සුද?

  • වෙන කවුරු හරිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මුළු ලෝකයම දුෂ්ටයාගේ [එනම් යක්ෂයාගේ] බලපෑමට යටත්.”1 යොහන් 5:19, නව ලොව පරිවර්තනය.

“දෙවිගේ පුත්‍රයා පැමිණියේ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.”—1 යොහන් 3:8.

ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

ලෝකය පුරාම මෙතරම් ප්‍රශ්න ඇති වීමට හේතුව තේරුම්ගන්න පුළුවන් වෙනවා.—එළිදරව් 12:12.

ලෝකයට හොඳ කාලයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පදනමක් ලැබෙනවා.—1 යොහන් 2:17.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු තුනක් බලන්න.

  • යක්ෂයාගේ පාලන ක්‍රමය වැඩි කල් පවතින්නේ නැහැ. “යක්ෂයාව නැති කර දැමීමට” දෙවියන් පියවර ගන්නවා කියලත් යක්ෂයා නිසා මිනිසුන් අද්දකින විපත්වලින් ඔවුන්ව මුදවාගන්නවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—හෙබ්‍රෙව් 2:14.

  • අනාගතයේදී ලෝකය පාලනය කරන්න දෙවියන් තෝරාගෙන තියෙන්නේ යේසුස්ව. දැන් ලෝකය පාලනය කරන දුෂ්ට පාලකයාට වඩා යේසුස් හාත්පසින්ම වෙනස්. යේසුස් මොන වගේ පාලකයෙක් වෙයිද කියලා දෙවියන් මෙහෙම කියලා තියෙනවා. ‘අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.’—ගීතාවලිය 72:13, 14.

  • දෙවියන් බොරු කියන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නෙත් “දෙවි කිසි ලෙසකින්වත් බොරු” කියන්නේ නැහැ කියලයි. (හෙබ්‍රෙව් 6:18) යෙහෝවා දෙවියන් යම් පොරොන්දුවක් දුන්නොත් කවදාවත් ඒක ඉටු නොවී තියෙන්නේ නැහැ. (යෙසායා 55:10, 11) ඒ නිසා දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට ළඟදීම මේ ලෝකයේ පාලකයාව ඉවත් කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.යොහන් 12:31.

මේ ගැන හිතන්න

ලෝකයේ පාලකයාව ඉවත් කළාට පස්සේ මොන වගේ කාලයක් උදා වෙයිද?

ඒකට උත්තරේ බයිබලයේ ගීතාවලිය 37:10, 11 සහ එළිදරව් 21:3, 4 යන පදවල සඳහන් වෙනවා.