Skip to content

මධ්‍යම යුරෝපයට ආපු සරණාගතයන්ට උදව් කරයි

මධ්‍යම යුරෝපයට ආපු සරණාගතයන්ට උදව් කරයි

මෑත අවුරුදුවලදී අප්‍රිකාවෙන්, මැදපෙරදිග රටවලින් සහ දකුණු ආසියාවෙන් සරණාගතයන් විශාල ප්‍රමාණයක් යුරෝපයට ඇවිත් ඉන්නවා. එයාලට අවශ්‍ය කෑම, නවාතැන්, වෛද්‍ය පහසුකම් ලබා දෙන්න රජයේ නිලධාරීන් ඇතුළුව ස්වේච්ඡා සේවකයන් පියවර ගත්තා.

ඒත් කෑම බීම, ඉඳුම්හිටුම්වලට වඩා වැඩි දෙයක් එයාලට අවශ්‍යයි. එයාලගෙන් වැඩිදෙනෙක් ඉන්නේ කම්පනයට පත් වෙලා. එයාලට සහනයක්, බලාපොරොත්තුවක් ඕනේ. මධ්‍යම යුරෝපයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සරණාගතයන් එක්ක කතා කරන්න, එයාලට ඇහුම්කන් දෙන්න, බයිබලේ තියෙන පණිවිඩේ එයාලත් එක්ක බෙදාගෙන එයාලට සහනයක් වෙන්න ලොකු වෑයමක් දරන්නේ ඒ නිසයි.

බයිබලයෙන් ලබා දුන්න සැනසීම

2015 අගෝස්තු මාසේ ඉඳලා ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ තියෙන සභා 300කට වඩා වැඩි ගාණක ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සරණාගතයන්ට සහනයක් ලබා දෙන්න විශේෂ වැඩ පිළිවෙළක් දියත් කළා. මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න සරණාගතයන් හුඟදෙනෙක් කැමතියි කියලා එයාලා තේරුම්ගත්තා:

2015 අගෝස්තු මාසයත් ඔක්තෝබර් මාසයත් ඇතුළත සරණාගත කඳවුරු තියෙන ප්‍රදේශවල ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මධ්‍යම යුරෝපයේ ශාඛා කාර්යාලයෙන් බයිබලය මත පදනම් ප්‍රකාශන ටොන් 4කට වඩා ඇණවුම් කළා. එයාලා ඒවා සරණාගතයන්ට ලබා දුන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව.

භාෂාව බාධාවක් කරගත්තේ නැහැ

සරණාගතයන් වැඩිදෙනෙක් දන්නේ එයාලගේ භාෂාව විතරයි. ඒ නිසා එයාලට බයිබලයේ තියෙන පණිවිඩය ගැන කියන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් jw.org වෙබ් සයිට් එක පාවිච්චි කරනවා. ඒකේ භාෂා සිය ගාණකින් ලිපි සහ වීඩියෝ ඇතුළත් වෙනවා. ජර්මනියේ එර්ෆට්වල ඉන්න මටියස් සහ පේට්‍රා සරණාගතයන්ට ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ දෙන්නෙක්. එයාලා මෙහෙම කිව්වා. “අපි එයාලා එක්ක කතා කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. සමහර වෙලාවට පින්තූරවලින්. එහෙම නැත්නම් කියන්න ඕන දේ අපි ඇඳලා පෙන්නනවා.” සරණාගතයන්ට එයාලගේම භාෂාවෙන් බයිබලයේ තියෙන පණිවිඩේ කියන්න ඕනෙ නිසා භාෂාවක් ඉගෙනගන්න සකස් කරලා තියෙන ‘JW ලැංවේජ්’ ඇප් එකත් සාක්ෂිකරුවන් පාවිච්චි කරනවා. තවත් අය බයිබල් පද, වීඩියෝ පෙන්නන්න භාෂා ගණනාවකින් තියෙන ‘JW ලයිබ්‍රරි’ ඇප් එකත් යොදාගන්නවා.

හිතාගන්න බැරි විදිහේ ප්‍රතිචාරයක් ලැබුණා

ජර්මනියේ ෂ්වයින්ෆර්ට්වල සේවය කරන යුවළක් මෙහෙම කිව්වා. “සෙනඟ හුඟදෙනෙක් අපිව වට කරගත්තා. පැය දෙකහමාරක් ඇතුළත් ප්‍රකාශන 360ක් විතර සරණාගතයන් අතරේ බෙදලා දෙන්න අපිට පුළුවන් වුණා. සමහරු ඔළුව නමලා එයාලගේ අගය අපිට පෙන්නුවා.” ජර්මනියේ ඩියැස්වල සේවය කරන වෝල්ෆ්ගැං කිව්වේ මෙහෙමයි. “එයාලා ගැන කවුරු හරි සැලකිලිමත් වෙන එකම සරණාගතයන්ට ලොකු සතුටක්. සමහර වෙලාවට එයාලා භාෂා පහ හයකින් ප්‍රකාශන ඉල්ලනවා.”

හුඟදෙනෙක් ප්‍රකාශන අතට ගත්ත ගමන්ම කියවන්න පටන්ගන්නවා. සමහරු ආපහු ඇවිත් සාක්ෂිකරුවන්ට එයාලගේ අගය ප්‍රකාශ කරනවා. ජර්මනියේ බර්ලින්වල ඉන්න සාක්ෂිකාරියක් වන ඉලෝංකා මෙහෙම කිව්වා. “දවසක් තරුණයන් දෙන්නෙක් අපෙන් ප්‍රකාශන කීපයක් ගත්තා. පැය භාගෙකට විතර පස්සේ එයාලා ආපහු ඇවිත් එයාලගේ අගය පෙන්නන්න අපිට පාන් වගයක් දුන්නා. අපිට දෙන්න ඊට වඩා දෙයක් එයාලා ළඟ නැති එක ගැන කනගාටුයි කියලත් එයාලා කිව්වා.”

“ස්තුතියි! ගොඩක් ස්තුතියි!”

සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා කරන සේවය ස්වේච්ඡා සේවකයන්, නිලධාරීන් වගේම අසල්වැසියන් හුඟක් අගය කරනවා. සරණාගතයන් 300දෙනෙක්ට විතර උදව් කරන ස්වේච්ඡා සේවකයෙක් සාක්ෂිකරුවන්ට මෙහෙම කිව්වා. “පිටරටවලින් ඇවිත් ඉන්න අයට මේ වගේ සැලකිල්ලක් පෙන්නන එක ගැන ඔයාලට ස්තුතියි! ගොඩක් ස්තුතියි!” සරණාගතයින්ට එයාලගේම භාෂාවෙන් වටිනා තොරතුරු තියෙන ප්‍රකාශන දුන්න එක හරිම හොඳ දෙයක් කියලා සරණාගත කඳවුරක සේවය කරන තවත් කෙනෙක් කිව්වා. දැන් එයාලා ගෙවන්නේ කිසිම අරමුණක් නැති ජීවිතයක් නිසා ඒ ප්‍රකාශන එයාලට හුඟක් වටිනවා කියලත් එයා කිව්වා.

ඔස්ට්‍රියාවේ ජීවත් වෙන මැරියන් සහ ස්ටෙෆන් කියන යුවළ එයාලා මේ වගේ සේවයක් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ ඇයි කියලා කඳවුරකට ආපු පොලිස් නිලධාරීන් දෙන්නෙක්ට පැහැදිලි කළා. එයාලා කරන සේවය අගය කරපු පොලිස් නිලධාරීන් එයාලගෙන් පොත් දෙකකුත් ලබාගත්තා. “අපි කරන සේවය එයාලා කීප සැරයක්ම අගය කළා” කියලා මැරියන් කිව්වා.

කාලගුණය හොඳ වුණත් නරක වුණත් සාක්ෂිකරුවන් සරණාගතයන්ට උදව් කරන්න සැදී පැහැදී ඉන්න විදිහ ඔස්ට්‍රියාවේ කාන්තාවකගේ අවධානයට ලක් වුණා. එයාත් නිතරම වගේ සරණාගත කඳවුරකට අවශ්‍ය දේවල් පරිත්‍යාග කරන කෙනෙක්. දවසක් එයා සාක්ෂිකරුවන්ට මෙහෙම කිව්වා. “කෑම බීම, ඇඳුම් සරණාගතයන්ට අවශ්‍යයි. ඒත් එයාලට වැඩියෙන්ම ඕනෙ බලාපොරොත්තුවක්. එයාලට ඕනම කරන දේ ලබා දෙන්නේ ඔයාලා.”