Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?

 ඔව්. හදිසි විපතකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේම ආගමේ ඉන්න අයට විතරක් නෙමෙයි වෙනත් ආගම්වල ඉන්න විපතට පත් අයටත් උදව් කරනවා. එහෙම කරන්නේ ‘සෑම අවස්ථාවකදීම සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරන්න’ කියලා බයිබලේ කියන නිසයි. (ගලාති 6:10) ඒ වගේ වෙලාවට ශුද්ධ ලියවිල්ලේ තියෙන සැනසීම ගෙන දෙන වදන්වලිනුත් සහනයක් සපයන්න සාක්ෂිකරුවන් අමතක කරන්නේ නැහැ. අසරණ වෙලා ඉන්න කෙනෙක්ට ඒ වගේ වෙලාවක ඒක අත්‍යවශ්‍ය දෙයක්.—2 කොරින්ති 1:3, 4.

ඒක වෙන්නේ මෙහෙමයි

 කොහේ හරි රටක යම් පළාතක මොකක් හරි විපතක් සිද්ධ වුණොත් අදාළ පළාතේ සාක්ෂිකරුවන්ගේ සභාවල වැඩිමහල්ලන් හැටියට සේවය කරන සහෝදරයන් ඉක්මනින්ම හොයලා බලනවා ඒ සභාවලට අයිති අනික් සහෝදර සහෝදරියන් කරදරයක් නැතුව ඉන්නවද, ඒගොල්ලන්ට මොන වගේ උපකාර අවශ්‍යද කියලා. ඊටපස්සේ ඒ තොරතුරු හා උදව් කරන්න යොදන සැලසුම් ගැන ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට වැඩිමහල්ලන් දැනුම් දෙනවා.

 සමහරවිට අවශ්‍ය තරම් සහනාධාර දෙන්න ඒ අදාළ පළාතේ සභාවල ඉන්න අයට හැකියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය අවශ්‍ය සහනාධාර දෙන්න ඉදිරිපත් වෙනවා. පළවෙනි සියවසේ සාගතයක් ඇති වුණු වෙලාවක යේසුස්ගේ අනුගාමිකයන් සෙසු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය දේවල් සපයන්න අනුගමනය කළ ක්‍රමයමයි අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් අනුගමනය කරන්නේ. (1 කොරින්ති 16:1-4) විපතක් සිද්ධ වුණ අවස්ථාවක, ඒ රටේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව තමයි සහනාධාර එකතු කරන්නත් ඒවා අවශ්‍ය අයට ලබා දෙන්නත් පෙරමුණ ගන්නේ. මේ වැඩේ සාර්ථක කරගන්න වෙනත් පළාත්වලිනුත් සාක්ෂිකරුවන් ඇවිත් උපකාර කරනවා.—හිතෝපදේශ 17:17.

මුදල් ලැබෙන්නේ මෙහෙමයි

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට ලැබෙන සම්මාදම් විවිධ වැඩකටයුතු සඳහා පාවිච්චි කරනවා. ඒවායින් එකක් තමයි විපතට පත් වෙලා ඉන්න අයට උදව් උපකාර කරන එක. (ක්‍රියා 11:27-30; 2 කොරින්ති 8:13-15) සහන සේවා කටයුතු වෙනුවෙන් සාක්ෂිකරුවන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ වැටුපකට නෙමෙයි. ඒ නිසා විපතට පත් අයට උදව් කරන්න ලැබෙන මුදල් වෙන කිසිම දෙයක් සඳහා යොදවන්නේ නැහැ. අපිට ලැබෙන සම්මාදම් අපි පාවිච්චි කරන්නේ හරිම සැලකිලිමත්වයි.—2 කොරින්ති 8:20.