Skip to content

මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කරන්න ඕන දේ ගැන යේසුස් කියපු දේ මතෙව් 28:19, 20 පදවල තියෙනවා. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න නම් යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න ඕනෙ කියලා ඒ පදවල සඳහන් වෙනවා.

 1වෙනි පියවර: බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න. යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. ඒ අයට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) ‘ගෝලයෙක්’ කියන වචනයෙන් අදහස් වෙන්නේ ‘යමක් ඉගෙනගන්න කෙනෙක්’ කියන එකයි. බයිබලයේ තියෙන තොරතුරු විශේෂයෙන්ම යේසුස් උගන්වලා තියෙන දේවල් කෙනෙක්ට ප්‍රීතිමත් අර්ථවත් ජීවිතයක් ගත කරන්න උදව් වෙනවා. (2 තිමෝති 3:16, 17) ඔයාටත් බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන්න අපි සතුටුයි. ඒකට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.—මතෙව් 10:7, 8; 1 තෙසලෝනික 2:13.

 2වෙනි පියවර: ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න. තමන්ගෙන් ඉගෙනගන්න අයට යේසුස් කිව්වා තමන් “අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න” කියලා. (මතෙව් 28:20) ඒ කියන්නේ ඔයා බයිබලයෙන් තොරතුරු ඉගෙනගන්න එක නිකම්ම දැනුම රැස් කරනවාට වඩා වැඩි දෙයක්. ඔයා ඉගෙනගන්න දේවලට එකඟව ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. (ක්‍රියා 10:42; එෆීස 4:22-29; හෙබ්‍රෙව් 10:24, 25) කැමැත්තෙන්ම තමන්ගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්න ඒක උදව් වෙනවා.—මතෙව් 16:24.

 3වෙනි පියවර: බව්තීස්ම වෙන්න. (මතෙව් 28:19) බව්තීස්ම වෙන එක බයිබලයේ මිය යෑමට සමාන කරලා තියෙනවා. (රෝම 6:2-4 බලන්න.) බව්තීස්ම වෙන එක හරියට පරණ ජීවිතයට සමු දීලා අලුත් ජීවිතයක් පටන්ගන්නවා වගෙයි. ඔයා බව්තීස්ම වෙද්දී ඒකෙන් පෙන්වන්නේ කලින් සඳහන් කරපු මුල් පියවර දෙකම ඔයා අදාළ කරගෙන තියෙනවා කියන එකයි. ඒ වගේම ඔයා යෙහෝවා දෙවියන්ගෙන් නිදොස් හෘදය සාක්ෂියක් ඉල්ලනවා කියන එකත් ඒකෙන් පැහැදිලි වෙනවා.—හෙබ්‍රෙව් 9:14; 1 පේතෘස් 3:21.

බව්තීස්ම වෙන්න මට සුදුසුකම් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද?

 ඔයාගේ සභාවේ වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න. ඔයා බයිබලයේ තියෙන දේවල් හරියට තේරුම් අරන් තියෙනවාද, ඔයා ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්නවාද, ඒ වගේම ඔයා කැමැත්තෙන්ම ජීවිතය දෙවිට කැප කරලා තියෙනවාද කියලත් තේරුම්ගන්න ඒ අය ඔයා එක්ක ටිකක් කතා කරයි.—ක්‍රියා 20:28; 1 පේතෘස් 5:1-3.

සාක්ෂිකරුවන්ගේ දරුවන්ටත් ඒ කාරණා අදාළ වෙනවාද?

 ඔව්. සාක්ෂිකරුවන් ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන් සහ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්’ තමයි තමන්ගේ දරුවන්ව ඇති දැඩි කරන්නේ. (එෆීස 6:4) හැබැයි දරුවන් තේරෙන වයසට එද්දී දිගටම බයිබලයේ තියෙන දේවල් ඉගෙනගෙන, ඒවා පිළි අරන් තමන්ගේ ජීවිතයට ඒවා අදාළ කරගන්න කියලා කවුරුත් එයාලාට බල කරන්නේ නැහැ. එහෙම කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ එයාලමයි. ඒ අනුව තමයි බව්තීස්ම වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ. (රෝම 12:2) ඇත්තෙන්ම කෙනෙක් දෙවිට නමස්කාර කරනවාද නැද්ද කියන තේරීම ඒ කෙනා පෞද්ගලිකවම ගන්න ඕන තීරණයක්.—රෝම 14:12; ගලාති 6:5.