Skip to content

“ඔයාගේ කෝල් එක එන කල් මං බලාගෙනයි හිටියේ”

“ඔයාගේ කෝල් එක එන කල් මං බලාගෙනයි හිටියේ”

 එඩ් සහ එයාගේ නෝනා ජෙනී මුලින්ම ෆෝන් එකෙන් සාක්ෂි දැරුවේ 2010දී. a ජෙනී ඒ ගැන මෙහෙම කියනවා. “මං නම් පොඩ්ඩක්වත් ඒකට ආස වුණේ නෑ. මං මහත්තයාටත් කිව්වා ආයේ නං මේ විදිහට සාක්ෂි දරන්නේ නෑ කියලා.” එඩ්ටත් හිතුණේ එහෙම්මම තමයි. එයා මෙහෙම කියනවා. “සමහරු එක එක දේවල් විකුණන්න කෝල් කරනවානේ. ඒ වගේ අය මට කෝල් කරනවාට මං නම් චුට්ටක්වත් ආස නෑ. ඉතින් මං හිතුවා මං ෆෝන් එකෙන් සාක්ෂි දරද්දී ඒක අනිත් අයටත් කරදරයක්නේ කියලා.”

 කෝවිඩ් වසංගතය ආවම සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන එක නැවැත්තුවා. ඒත් යේසුස්ගේ අණට කීකරු වෙන්න ඕනෙ නිසා එයාලා දේශනා සේවය නැවැත්තුවේ නැහැ. (මතෙව් 24:14; 28:19, 20) දිගටම ලියුම්වලින්, දුරකථනයෙන් සාක්ෂි දැරුවා. ඒ විතරක් නෙවෙයි සේවේ, රැස්වීම් ඔක්කොම වගේ පැවැත්තුවේ වීඩියෝ කොන්ෆරන්ස් හරහා. දවසක් එඩ්ට හිතුණා එයා කොහොමහරි ශක්තිය අරන් ෆෝන් එකෙන් සාක්ෂි දරන්න ඕනෙ කියලා. එඩ් මෙහෙම කියනවා. “මට කොච්චර බය හිතුණාද කියනවා නං පළවෙනි කෝල් එක ගන්න කලින් මං යෙහෝවාට සෑහෙන්න යාච්ඤා කළා. ඔන්න ඔය විදිහට තමයි මට ටිරෝන්ව හම්බ වුණේ.” b

 ටිරෝන් සහ එයාගේ නෝනා ඊඩිත් ඉන්නේ එක්සත් ජනපදයේ කෙන්ටකීවල පිටිසර පැත්තක. ටිරෝන්ට අවුරුදු 83යි. එයාගේ පෙනීමත් දුර්වලයි. ඒ වුණත් එයා එඩ් එක්ක බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. එයා බයිබලේ, ප්‍රකාශන කියෙව්වේ අත් කාචයක් පාවිච්චි කරලා. ඒත් දිගටම එයා පාඩම කළා.

 මාසෙකට විතර පස්සේ ටිරෝන් සහ ඊඩිත් දෙන්නාම රැස්වීම්වලට සහභාගි වුණා. එයාලට ඉන්ටර්නෙට් තිබුණේ නැති නිසා එයාලා ෆෝන් එකෙන් තමයි රැස්වීම් ඇහුවේ. ඒක තමයි ටිරෝන්ගේ කතාව. එතකොට ඊඩිත්?

 ටිරෝන් එක්ක පාඩම කරන වෙලාවේ එඩ්ටයි, ජෙනීටයි ඇහෙනවා ඊඩිත් ටිරෝන්ගේ ළඟ ඉඳන් බයිබල් පද පෙරළලා උත්තර හොයන්න එයාට උදව් කරන විදිහ. හැබැයි එතනින් එහාට ඊඩිත් කවදාවත් පාඩමට සම්බන්ධ වුණේ නැහැ. බලන්න ජෙනී ඊඩිත් ගැන කියන දේ. “මට එයාගේ කටහඬින් තේරුණා මොකක්දෝ දුකක් එයා හංගගෙන ඉන්නවා කියලා. හැබැයි ඒ ඇයි කියලා එඩ්වත් මංවත් දැනන් හිටියේ නෑ.”

එඩ් සහ ජෙනී ෆෝන් එකෙන් සාක්ෂි දරනවා

 දවසක් ජෙනීට හිතුණා ඊඩිත් එක්ක කතා කරන්නම ඕනෙ කියලා. ඉතින් සුදුසු වෙලාවක් බලලා එයා එඩ්ගෙන් ෆෝන් එක ඉල්ලගෙන කිව්වා “ටිරෝන්, මට ඔයාගේ නෝනාගේ කටහඬ ඇහෙනවා. අනේ, මට එයාට කියන්න ඕනෙ කැමති නම් බයිබල් පදයක් හරි අදහසක් හරි එයාටත් දෙන්න පුළුවන් කියලා.”

 තත්පර කීපයක් යන කල් කිසිම සද්දයක් තිබ්බේ නැහැ. ඊටපස්සේ ඊඩිත් ෆෝන් එක අරගෙන හරිම හෙමින් මෙහෙම කිව්වා. “හුඟ දවසක ඉඳන් මටත් ඔයාත් එක්ක කතා කරන්න ඕනකම තිබුණා. මාත් සාක්ෂිකරුවෙක්. හැබැයි අවුරුදු 40ක් තිස්සේ මං අක්‍රියාශීලීයි.”

 ජෙනීට ඒක අදහාගන්න බැරි වුණා. “අනේ, ඔයා මගේ සහෝදරියක්නේ!” කියලා එයා කිව්වා. ඊටපස්සේ දෙන්නාම අඬන්න පටන්ගත්තා.

 ඉතින් එඩ් ඉක්මනින්ම ඊඩිත්ට ‘ආයෙත් එන්න’ කියන සඟරාව දුන්නා. වැඩි කල් යන්න කලින් එඩ්ටයි, ජෙනීටයි ඊඩිත්ගේ ලොකු වෙනසක් දැනුණා. එඩ් මෙහෙම කියනවා. “මුලදී එයාගේ කටහඬේ තිබුණ දුක දැන් නෑ. දැන් එයා ඉන්නේ හරිම ප්‍රබෝධයෙන්.” ඊඩිත් දැන් සත්‍යය තුළ දියුණු වෙලා ආයෙත් හරිම උද්‍යෝගයෙන් සේවේ කරනවා. එයාගේ මහත්තයා 2022 ජූලි මාසේ බව්තීස්ම වුණා.

 ෆෝන් එකෙන් සාක්ෂි දරන එක ගැන කලින් හිතන් හිටපු විදිහ ගැන එඩ් මතක් කරද්දී ටිරෝන් එක්ක කතා කරපු දේකුත් එයාට මතක් වුණා. දවසක් යොහන් 6:44 කියවලා එඩ් එයාට පැහැදිලි කළා යෙහෝවා තමයි මිනිස්සුන්ව සත්‍යයට ළං කරන්නේ කියලා. ටිරෝන් ඒකට එකඟ වෙලා මෙහෙම කිව්වා. “ඇත්තටම ඔයාගේ කෝල් එක එන කල් මං බලාගෙනයි හිටියේ.” ජෙනීත් ගොඩක් සතුටු වෙනවා කොහොමහරි ශක්තිය අරන් එයායි, එයාගේ මහත්තයායි ෆෝන් එකෙන් සාක්ෂි දරපු එක ගැන. “අපේ උත්සාහයට තමයි යෙහෝවා ආශීර්වාද කරන්නේ” කියලා ජෙනී කියනවා.

a සේවේ කරද්දී සාක්ෂිකරුවන් පෞද්ගලික තොරතුරු ගැන රටේ තියෙන නීතිවලට කීකරු වෙනවා.

b සමහර නම් වෙනස් කර ඇත.