Skip to content

ගංවතුරක් නිසා ශුභාරංචිය කියන්න අවස්ථාවක්

ගංවතුරක් නිසා ශුභාරංචිය කියන්න අවස්ථාවක්

 2017දී සාක්ෂිකරුවන් 12දෙනෙක් නිකරගුවාවේ වෙරළ තීරයක් වුණ මිස්කිටෝවලින් බෝට්ටුවෙන් ගමන් ඇරඹුවා. එයාලා ගිය බෝට්ටුවේ ‘ස්ටුරි යාම්නි’ කියන නම ගහලා තිබුණා. ඒ ගමන ගිය අය අතර හිටපු සහෝදර ස්ටීවන් මෙහෙම කියනවා. “අපිට ඕනෙ වුණේ හුඟක් පිටිසර පළාතක හිටපු සහෝදර සහෝදරියන් කට්ටියක්ව දිරිගන්වන්න. ඒ වගේම එයාලට සේවය කරන්න ලොකු ප්‍රදේශයක් පැවරිලා තිබුණු නිසා එයාලා එක්ක දේශනා සේවයේ හවුල් වෙන්නත් අපිට ඕනෙ වුණා.”

 සාක්ෂිකරුවන් 12දෙනා පර්ල් කියන කලපුවෙන් පිටත් වෙලා කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) ඈතින් තිබුණු රියෝ ග්‍රෑන්ඩේ ඩී මටගාල්පා කියන ගඟට බෝට්ටුවෙන් ආවා. එයාලා ගිය බෝට්ටුවේ මිස්කිටෝ භාෂාවෙන් ගහලා තිබුණ නමේ තේරුම “ශුභාරංචිය” කියන එකයි. ඒ නම එයාලා ගිය ගමනට එච්චර හොඳට ගැළපෙයි කියලා එයාලා කොහොමටවත් හිතලා තිබුණේ නැහැ. පැය 12ක ගමනකින් පස්සේ සාක්ෂිකරුවන් කණ්ඩායම එයාලගේ ගමනාන්තයට ඒ කියන්නේ ලා කෲස් ඩී රියෝ ග්‍රෑන්ඩේවලට ආවා. එහේ හිටපු සහෝදර සහෝදරියන් 6දෙනෙක් එයාලව හරිම ආදරෙන් පිළිගත්තා.

 එදා රෑ ලොකු කුණාටුවක් ආවා. ඒ කුණාටුව නිසා රියෝ ග්‍රෑන්ඩේ ඩී මටගාල්පා ගඟේ මුල හරියට හයියෙන් වහින්න පටන්ගත්තා. කොච්චර හයියෙන් වැස්සාද කියනවා නම් පැය කිහිපයකින් ගඟ පිටාර ගැලුවා. දවස් දෙකක් යන කල්ම වතුර මට්ටම එන්න එන්න වැඩි වුණා. ලා කෲස්වල තිබුණු අපේ නමස්කාර මධ්‍යස්ථානය වගේම තවත් හුඟක් ගෙවල් වතුරෙන් යට වුණා. ඒ පැත්තේ හිටපු අයට එයාලගේ ගෙවල්වලින් අයින් වෙන්න පිටින් ආපු අපේ මේ සහෝදරයන් උදව් කළා. විපතට පත් වුණු හුඟදෙනෙක් දවස් දෙකක්ම නැවතිලා හිටියේ අපේ සහෝදරියකගේ තට්ටු දෙකේ ගෙදරක.

ගංවතුරට අහු වෙලා තියෙන ලා කෲස්වල නමස්කාර මධ්‍යස්ථානය

 තුන්වෙනි දවසේ රෑ ලා කෲස්වල නගරාධිපති බෝට්ටුවෙන් ඇවිල්ලා හිටපු සහෝදරයන්ගේ උදව් ඉල්ලුවා. මොකද පිටාර ගලපු ගඟේ යන්න පුළුවන් විදිහේ බෝට්ටුවකට තිබුණේ අපේ සහෝදරයන් ආපු ‘ස්ටුරි යාම්නි’ කියන බෝට්ටුව විතරයි. එයාට ඕනෙ වුණා ගඟේ පහළට වෙන්න විපතට පත් වෙලා හිටපු මිනිසුන්ට උදව් කරන්න සහන සේවා කණ්ඩායමක් යවන්න. අපේ සහෝදරයන් හරිම කැමැත්තෙන් උදව් කරන්න ඉදිරිපත් වුණා.

 ඊළඟ දවසේ උදෙන්ම සහෝදරයන් 3දෙනෙක් සහන සේවා කණ්ඩායමත් එක්ක පිටත් වුණා. එතකොට තිබුණ තත්වය ගැන ස්ටීවන් මෙහෙම කියනවා. “ඒ වෙලාවේ ගඟේ වතුර පාර මාර සැරයි. කොච්චර සැරයිද කියනවා නම් පැයට කිලෝමීටර් 18කටත් (සැතපුම් 11කටත්) වඩා වැඩි වේගයකින් වතුර පාර ගැලුවා. මුල් පිටින්ම ගැලවිලා ආපු මහා විශාල ගසුත් ගඟ දිගේ පහළට ගහන් ගියා. ඒ මදිවට ගඟේ හැම තැනම දිය සුළි.” එච්චර අමාරු තත්වයක් මැද වුණත් විපතට පත් වුණු අය හිටපු ප්‍රදේශ තුනකට බෝට්ටුවෙන් යන්න එයාලට පුළුවන් වුණා.

 අපේ සහෝදරයන් 3දෙනා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ගමේ අයට ඒ වෙලාවේ ඕනම වෙලා තිබුණු සහනය දෙන්න පියවර ගත්තා. ඒ වගේම 2017 පළ වුණු “හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර” කියන ‘පිබිදෙව්!’ සඟරාත් එයාලට දුන්නා.

 ගඟ දෙපැත්තේ ජීවත් වුණු අය සාක්ෂිකරුවන් එයාලට උදව් කරපු එක ගැන, බයිබලයෙන් එයාලව දිරිගන්වපු එක ගැන හුඟක් අගය කළා. “ගමේ හිටපු සමහර අය කිව්වා අමාරුම වෙලාවේ සාක්ෂිකරුවන් එයාලගේ උදව්වට හිටියා” කියලා. තවත් අය දැක්කා “සාක්ෂිකරුවන් ඇත්තටම එයාලගේ අසල්වැසියන්ට ආදරෙයි” කියලා. සාක්ෂිකරුවන් අපේ සහෝදරයන්ටත් අනිත් අයටත් උදව් කරන්න ගත්ත මහන්සිය දැකලා ගමේ අය කලින්ටත් වඩා බයිබලයේ තියෙන පණිවිඩය ගැන දැනගන්න උනන්දු වුණා.

ගමේ අයට ශුභාරංචිය කියන්න ‘ස්ටුරි යාම්නි’ බෝට්ටුවේ ගිය සහෝදරයෙක් වන මාර්කෝ

වතුරෙන් යට වුණ ගමක නවත්වලා තියෙන ‘ස්ටුරි යාම්නි’ බෝට්ටුව