Skip to content

“පුංචි අවංක ක්‍රියාවක්”

“පුංචි අවංක ක්‍රියාවක්”

 ඩැනියෙල් ජීවත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. දවසක් කෝපි එකක් බොන්න කඩේකට ගිය වෙලාවේ එතෙන්ට ආපු කෙනෙක් දාලා ගිය බෑග් එකක් එයාට හම්බ වුණා. ඒ බෑග් එකේ තිබුණ පර්ස් එකේ සල්ලියි, ක්‍රෙඩිට් කාඩ් කිහිපයකුයි තිබුණා. ඩැනියෙල්ට ඕන වුණා ඒ බෑග් එක අයිති කෙනාව හොයලා ආපහු ඒක එයාට භාර දෙන්න. එයා බෑග් එකේ ලිපිනයක් හරි දුරකථන අංකයක් හරි තියෙනවාද කියලා බැලුවාට හම්බ වුණේ පිරිමි කෙනෙක්ගේ නමක් විතරයි. බැංකුව හරහා ඒ පිරිමි කෙනාව හොයාගන්න උත්සාහ කළාට ඒක හරි ගියේ නැහැ. ඩැනියෙල් උත්සාහය අත්හැරියේ නැහැ. බෑග් එකේ බෙහෙත් ගත්ත රිසිට් එකක් තිබුණා. ඒකේ තිබුණ අංකයට එයා කෝල් එකක් දුන්නා. එතන හිටපු පිළිගැනීමේ නිලධාරිනිය ඩැනියෙල්ගේ අංකය ඒ රිසිට් එකේ නම තිබුණු කෙනාට දෙන්න එකඟ වුණා.

 නැති වුණු බෑග් එක ඩැනියෙල් කියලා කෙනෙක්ට හම්බ වෙලා තියෙනවා කියලත් ඒක භාර දෙන්න එයා මහන්සි වෙලා තියෙනවා කියලත් දැනගත්තාම ඒ පිරිමි කෙනා පුදුම වුණා. එයා ඒක ගන්න ආවාම ඩැනියෙල් සහ එයාගේ තාත්තා ඒ කෙනාව සතුටින් පිළිගත්තා. එයාව හොයාගන්න එයාලා එච්චර මහන්සි වුණේ එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා කියලා එයාලා ඒ කෙනාට කිව්වා. සාක්ෂිකරුවන් හැම වෙලේම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරන නිසයි අවංකව කටයුතු කරන්න එයාලට ඕන වුණේ කියලා ඩැනියෙලුයි, තාත්තායි ඒ කෙනාට පැහැදිලි කළා.—හෙබ්‍රෙව් 13:18.

 පැය කිහිපයකට පස්සේ ඩැනියෙල්ටයි, එයාගේ තාත්තාටයි ආයෙත් ස්තුති කරලා ඒ කෙනාගෙන් මෙසේජ් එකක් ලැබුණා. ඒකේ මෙහෙම ලියලා තිබුණා. “මාව හොයාගන්න ඔයා දරපු මහන්සිය මම ගොඩක් අගය කරනවා. ඔයාවත් පවුලේ අයවත් හමු වීම ගැන මම හුඟක් සතුටු වෙනවා. ඔයාගේ කරුණාවන්තකමයි, හිතවත්කමයි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. කළ ගුණ සැලකීමක් විදිහට සම්මාදමක් කරන්න කැමතියි. දෙවියන්ගේ සේවය වෙනුවෙන් ඔයාලා හුඟක් කැප කිරීම් කරනවා කියලා මම දන්නවා. ඔයාලා යහපත් ප්‍රතිපත්තිගරුක අය කියලා ඔයාලගේ ක්‍රියාවෙන් පැහැදිලිවම පේනවා. ඩැනියෙල්ගේ අවංකකමෙන් ඒක හොඳටම තහවුරු වුණා. ආයෙත් සැරයක් මම ඔයාලට ස්තුති කරනවා. ඔයාලා කරන සේවයට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා!”

 මාස කිහිපයකට පස්සේ ඩැනියෙල්ගේ තාත්තාට අවස්ථාවක් ලැබුණා ඒ කෙනා එක්ක ආයේ කතා කරන්න. එදා සිද්ධියෙන් පස්සේ වුණු දෙයක් ඒ කෙනා තාත්තාට කිව්වා. ළඟදි එයා ෂොපින් යද්දි එයාටත් පර්ස් එකක් බිම තිබිලා හම්බ වෙලා. ඒක අයිති කාන්තාවව හොයලා පර්ස් එක එයාට දීලා. ඒක ආපහු දෙන්න එයා පෙලඹුණේ එයාගේ පර්ස් එක නැති වුණු වෙලාවක අවංක කෙනෙක් ඒක එයාට ලැබෙන්න සලස්වපු නිසා කියලා එයා ඒ කාන්තාවට විස්තර කරලා තිබුණා. අන්තිමට එයා ඩැනියෙල්ගේ තාත්තාට මෙහෙම කිව්වා. “කෙනෙක් අපි ගැන සැලකිලිමත් වෙලා කරන පුංචි අවංක ක්‍රියාවක් නිසා අපි ප්‍රයෝජන ලැබුවාම අපිත් ඒ විදිහටම අනිත් අයට සලකන්න පෙලඹෙනවා. ඒකෙන් සමාජයේ හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා.”