Skip to content

කේන්ති ගිය පූජකයන් එක්ක සන්සුන්ව වැඩ කරපු නිසා ලැබුණු හොඳ ප්‍රතිඵල

කේන්ති ගිය පූජකයන් එක්ක සන්සුන්ව වැඩ කරපු නිසා ලැබුණු හොඳ ප්‍රතිඵල

 ආටූර්, ආර්මේනියාවේ චාරිකා සේවකයෙක් විදිහට සේවය කරනවා. එයා එහේ තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවකට ගියාම දැනගත්තා ඒ සභාවේ පොදු සේවය කරන්නේ නැහැ කියලා. පොදු සේවය කියන්නේ ජංගම පුවරුවක බයිබලය මත පදනම් ප්‍රකාශන ප්‍රදර්ශනය කරමින් සාක්ෂි දරන එකට. ඒ සේවයට ආරම්භයක් විදිහට ආටූර් එයාගේ බිරිඳ වුණු ආනා එක්කයි, තව සහෝදරයෙක් වුණු ජීරෙර් එක්කයි පොඩි ටවුමක මිනිසුන් හුඟක් ගැවසුණු තැනක පොදු සේවය පටන්ගත්තා.

 එතනින් යන එන අය එයාලා ළඟට ඇවිල්ලා ප්‍රකාශන අරගත්තා. මේ සේවය ගැන විරුද්ධවාදීන්ටත් ආරංචි වුණා. එකපාරටම පූජකයන් දෙන්නෙක් එතනට ආවා. එක පූජකයෙක් කිසිම දෙයක් කියන්නෙවත් නැතුව ජංගම පුවරුවට පයින් ගැහුවා. ඊටපස්සේ ආටූර්ගේ කම්මුලට ගැහුවා. ඒ ගහපු පාරට ආටූර්ගේ කණ්ණාඩියත් වීසි වෙලා ගියා. ආටූර්රුයි, එයාගේ බිරිඳයි, ජීරෙර්රුයි ඒ පූජකයන්ව සන්සුන් කරන්න උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ. පූජකයන් බිම වැටිලා තිබුණු ජංගම පුවරුව උඩට නැඟලා ඒක කඩන්න හැදුවා. ඒකේ තිබුණු ප්‍රකාශන හැම තැනම වීසි වුණා. අන්තිමේදී එයාලා සාක්ෂිකරුවන්ට කැත විදිහට බැනලා තර්ජනය කරලා එතනින් යන්න ගියා.

 ආටූර්රුයි, ආනායි, ජීරෙර්රුයි වෙච්ච දේ ගැන පැමිණිල්ලක් දාන්න පොලීසියට ගියා. වුණු දේ ගැන කිව්වාට පස්සේ එතන හිටිය පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එයාලා බයිබලයේ තියෙන පණිවිඩය කෙටියෙන් කිව්වා. ඊටපස්සේ නිලධාරීන් එයාලව පොලීසියේ වැඩ බලන ප්‍රධානියා ළඟට එක්කන් ගියා. මුලින්ම ප්‍රධානියාට ඕන වුණේ වෙච්ච දේ ගැන හරියටම දැනගන්න. හැඩිදැඩි කෙනෙක් වෙලත් ආටූර්, පූජකයාගෙන් කම්මුල් පාරක් කාලා සන්සුන්ව හිටිය එක ගැන එයාට පුදුම හිතුණා. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන දැනගන්න එයාට ඕන වුණා. ඒ සාකච්ඡාව පැය හතරක් විතර ඇදුණා. දැනගන්න ලැබුණු දේවල් ගැන ඒ පොලිස් ප්‍රධානියා කොයි තරම් පුදුම වුණාද කිව්වොත් අන්තිමේදී එයා මෙහෙම කිව්වා. “මේ වගේ ආගමක් ගැන මං අහලාම නෑ. හොයලා බලන්නම වටිනවා.”

ආටූර් සහ ආනා

 ඊළඟ දවසේ ආටූර් පොදු සේවය කරන්න ගියාම කලින් දවසේ වෙච්ච සිද්ධිය දැකපු කෙනෙක් එයා ළඟට ආවා. ඒ වගේ තත්වයක් මැද වුණත් එකට එක කරන්නේ නැතුව සන්සුන්ව හිටපු එක ගැන එයා ආටූර්ව අගය කළා. වෙච්ච දේවල් නිසා පූජකයන් ගැන එයාගේ හිතේ තිබුණු ගෞරවේ නැත්තටම නැති වුණා කියලත් එයා කිව්වා.

 එදා හවස පොලීසියේ ප්‍රධානියා ආටූර්ට කෝල් කරලා පොලීසියට එන්න කිව්වා. එයාට ඕන වෙලා තිබුණේ කලින් දවසේ වුණු සිද්ධිය ගැන තොරතුරු දැනගන්න නෙවෙයි, බයිබලයේ තියෙන දේවල් ගැන තව දැනගන්න. ඒ දේවල් ගැන එයාලා කතා කරකර ඉද්දී තවත් පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් ඒකට හවුල් වුණා.

 ඊළඟ දවසෙත් ආටූර් පොලීසියේ ප්‍රධානියාව මුණගැහෙන්න ගිහින් බයිබලය මත පදනම් වීඩියෝ කීපයක්ම පෙන්නුවා. ප්‍රධානියා පොලීසියේ අනිත් නිලධාරින්ටත් කිව්වා ඒ වීඩියෝ බලන්න එන්න කියලා.

 පූජකයන්ගේ පහත් හැසිරීම නිසා මුල්ම වතාවට පොලීසියේ හිටිය හුඟක් අයට සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන හොඳ සාක්ෂියක් දරන්නත් පුළුවන් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද කියලා එයාලා දැන් හොඳින්ම දන්නවා.