Skip to content

පටුනට යන්න

තරහා නිවන ඖෂධයක්!

තරහා නිවන ඖෂධයක්!

ටෝනි සාත්තු සේවිකාවක්. එයා වයසක කාන්තාවක්ව බලාගත්තා. දවසක් එයා ඒ කාන්තාවගේ ගෙදරට ගිහින් බෙල් එක ගැහුවම හොඳටම කේන්තියෙන් හිටපු එයාගේ දුව එළියට ඇවිත් ටෝනිට බණින්න පටන්ගත්තා. එයා බැන්නේ ටෝනි පරක්කු වෙලා ආවා කියලයි. ඒත් ටෝනි ගියේ කියපු වෙලාවට. තරහා ගන්නේ නැතුව ටෝනි සන්සුන්ව එයාගෙන් සමාව ඉල්ලුවා.

ටෝනි ඒ ගෙදරට ගිය ඊළඟ දවසෙත් ඒ කාන්තාව ටෝනිගේ ඇඟට කඩන් පැන්නා. ටෝනි මෙහෙම කියනවා. “එයා කිසිම හේතුවක් නැතුවයි මට බැන්නේ. ඒක දරාගන්න ලේසි වුණේ නෑ.” ඒත් එදාත් ටෝනි එයාගෙන් සමාව ඉල්ලලා එයා ඉන්නේ කොච්චර අමාරු තත්වයකද කියලා තමන්ට තේරෙනවා කියලා එයාට කිව්වා.

ටෝනි මුහුණ දුන්න දේට ඔයා මුහුණ දුන්නා කියලා හිතන්න. ඔයා මොනවා කරයිද? ඔයා සන්සුන්ව ඉඳියිද? නැත්නම් කේන්තිය පාලනය කරගන්න ඔයාට අමාරු වෙයිද? ඒ වගේ අවස්ථාවකදී සන්සුන්ව ඉන්න එක ලේසි නැහැ. අපි පීඩනයකින් ඉද්දී නැත්නම් අපිට කේන්ති යන දෙයක් කවුරු හරි කළොත් මෘදු විදිහට වැඩ කරන එක අභියෝගයක්.

ඒත් බයිබලේ අපිට උනන්දු කරන්නේ මෘදු ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න කියලයි. මෘදු ගතිගුණ තියෙන කෙනෙක් ප්‍රඥාවන්තයි කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. යාකොබ් කිව්වේ “ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි” කියලා. (යාකො. 3:13) මෘදු ගතිගුණ තියෙන කෙනෙක්ට දෙවි ලබා දෙන ප්‍රඥාව තියෙනවා කියන්නේ ඇයි? මෘදුකම වර්ධනය කරගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

මෘදු කෙනෙක් ප්‍රඥාවන්තයි කියන්නේ ඇයි?

මෘදුකමින් වැඩ කරනවා නම් ප්‍රශ්න විසඳගන්න ලේසියි. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”—හිතෝ. 15:1.

ප්‍රශ්නයක් ඇති වුණාම අපි තරහා අරන් වැඩ කරනවා නම් ඒ ප්‍රශ්නේ තවත් දුරදිග යයි. හරියට ගින්නට පිදුරු දානවා වගේ. (හිතෝ. 26:21) ඒත් ඒ වගේ වෙලාවක අපි සන්සුන්ව කතා කරනවා නම් අනිත් කෙනාටත් එයාගේ කේන්තිය පාලනය කරගන්න ඒක උදව්වක් වෙයි. එතකොට ප්‍රශ්නේ විසඳගන්න ලේසියි.

ඒක ඇත්තක් කියලා ටෝනි අද්දැක්කා. එයා කේන්ති ගන්නේ නැතුව කාරුණිකව කියපු දේ නිසා ඒ කාන්තාව අඬන්න පටන්ගත්තා. එයා ඉන්නේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා කියලා ඒ කාන්තාව ටෝනිට කිව්වා. ටෝනි ඒක අවස්ථාවක් කරගත්තා එයාට සාක්ෂි දරන්න. එයාත් එක්ක බයිබල් පාඩමකුත් පටන්ගත්තා. ටෝනි සන්සුන්ව, සාමකාමීව වැඩ කරපු නිසා කොයි තරම් හොඳ ප්‍රතිඵල ලැබුණද!

මෘදුකමින් වැඩ කරද්දී ඒක හිතට සතුටක්. “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.”—මතෙ. 5:5.

මෘදු ගතිගුණ තියෙන අය ඉන්නේ සතුටින් කියන්නේ ඇයි? මෘදු විදිහට වැඩ කරන්න ඉගෙනගත්ත නිසා කලින් ඉක්මනින් කේන්ති ගිය, දරුණු විදිහට වැඩ කරපු අයට එයාලගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එයාලා දැන් අද්දකින්නේ ලොකු සහනයක්. එයාලට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. (කොලො. 3:12) ස්පාඤ්ඤයේ චාරිකා සේවය කරන ඇඩොල්ෆෝගේ අද්දැකීම බලන්න. සත්‍යයට එන්න කලින් එයා ගත කළේ හරිම දරුණු ජීවිතයක්.

එයා මෙහෙම කියනවා. “මං ගෙව්වේ කිසිම තේරුමක් නැති ජීවිතයක්. පොඩ්ඩ බැරි වෙද්දී මට කේන්ති යනවා. කේන්ති ගියාම මං කොච්චර දරුණුද කියනවා නම් මගේ යාළුවොත් ඒ වෙලාවට මට බයයි. දවසක් රණ්ඩුවකදී කෙනෙක් මට පිහියෙන් 6 පාරක් ඇන්නා. එදා මං මැරෙන්නේ නැතුව බේරුණ එක පුදුමයක්.”

එහෙම හිටපු ඇඩොල්ෆෝ දැන් අනිත් අයට සලකන්නේ ආදරෙන්. එහෙම කරන්න කියලා එයා අනිත් අයටත් කියලා දෙනවා. එයාගේ මෘදු ගතිගුණ නිසා හැමෝම වගේ දැන් එයාට ආදරෙයි. මෘදු කෙනෙක් වෙන්න යෙහෝවා දෙවි උදව් කරපු එක ගැන ඇඩොල්ෆෝ හැමදාම දෙවිට ස්තුති කරනවා.

මෘදුකමින් වැඩ කරද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.”—හිතෝ. 27:11.

යෙහෝවා දෙවිගේ ප්‍රධාන සතුරා සාතන් කිසිම හේතුවක් නැතුව දෙවිට නින්දා කරනවා. කෝප වෙලා වැඩ කරන්න දෙවිට කොයි තරම් නම් හේතු තියෙනවද! ඒත් බයිබලේ කියන්නේ දෙවි “කෝප වීමට ඉක්මන් නොවන” කෙනෙක් කියලයි. (නික්. 34:6) අපිත් දෙවිව ආදර්ශයට ගමු. ඉක්මනින් කේන්ති ගන්නේ නැතුව මෘදු විදිහට වැඩ කරන එක තමයි ප්‍රඥාවන්තම දේ. යෙහෝවා දෙවිත් ඒ ගැන හුඟක් සතුටු වෙනවා.—එෆී. 5:1.

එදිනෙදා ජීවිතේදී අපිට හුඟක් වෙලාවට මුණගැහෙන්නේ ‘පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු’ අයව. (2 තිමෝ. 3:2, 3) ඒත් මෘදු විදිහට වැඩ නොකර ඉන්න ඒක හේතුවක් නෙමෙයි. ‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තියෙන කෙනෙක් සාමකාමීයි, සාධාරණ ලෙස කටයුතු කරනවා’ කියලයි බයිබලේ කියන්නේ. (යාකො. 3:17) අපිට කේන්ති යන විදිහේ දෙයක් කෙනෙක් කළත් එයා එක්ක සාමකාමීව වැඩ කරන්න අපිව පොලඹවන්නේ දෙවි දෙන ප්‍රඥාවයි. එහෙම කරද්දී ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා දෙවිට අපි තවත් ළං වෙනවා.