Skip to content

එයාලා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - බල්ගේරියාව

එයාලා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - බල්ගේරියාව

 බල්ගේරියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන සත්‍යයන් ගැන මිනිසුන්ට උගන්වන්න හුඟක් මහන්සි වෙනවා. 2000 වර්ෂයේ ඉඳන් වෙන රටවල්වල ඉන්න සාක්ෂිකරුවන් සියගාණකුත් එයාලට උදව් කරන්න බල්ගේරියාවට ගිහින් තියෙනවා. ඒ දේ කරද්දී එයාලට මුහුණ දෙන්න වුණු අභියෝග මොනවාද? ඒ වෙනුවෙන් එයාලා දරපු වෙහෙස නිසා එයාලා අද්දකින ප්‍රයෝජන මොනවාද? අපි දැන් අද්දැකීම් කීපයක් බලමු.

ඉලක්කයක් තියාගන්න එක

 එංගලන්තයේ ජීවත් වුණු ඩැරන් මෙහෙම කියනවා. “කාලයක් තිස්සේ මටයි, ඩෝන්ටයි ලොකු ආසාවක් තිබුණා ප්‍රචාරකයක් අඩු පළාතකට ගිහින් සේවය කරන්න. ඒ නිසා අපි බැන්දාට පස්සේ රුසියානු භාෂාව කතා කරන අයට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න අපි ලන්ඩන්වලට ගියා. වෙන රටකට ගිහින් සේවය කරන්න අපි කීප සැරයක්ම උත්සාහ කළත් එක එක හේතු නිසා ඒ දේ කරගන්න අපිට පුළුවන් වුණේ නැහැ. අන්තිමේදී අපි හිතුවා ඒ අදහස අත්හැරලා දාමු කියලා. හැබැයි අපේ යාළුවෙක් අපිට පෙන්නලා දුන්නා දැන් අපි මුහුණ දෙන තත්වයන් වෙනස් වෙලා තියෙන නිසා ඒ දේ කරන්න අපිට පුළුවන් කියලා.” ඊටපස්සේ ඩැරනුයි, ඩෝනුයි හොයලා බැලුවා එයාලට ගිහින් සේවය කරන්න පුළුවන් සුදුසුම රට මොකක්ද කියලා. අන්තිමේදී එයාලා 2011දී බල්ගේරියාවට ගියා.

ඩැරන් සහ ඩෝන්

 වෙන රටකට ගිහින් සේවය කරන අයගේ අද්දැකීම් අහලා ඒ දේම කරන්න තවත් අය පෙලඹිලා තියෙනවා. උදාහරණෙකට ජියාඩාගේ අද්දැකීම බලන්න. එයායි, එයාගේ මහත්තයා ලූකායි ජීවත් වුණේ ඉතාලියේ. එයා මෙහෙම කියනවා. “දකුණු ඇමෙරිකාවෙයි, අප්‍රිකාවෙයි හරිම උද්‍යෝගයෙන් සේවය කරන සහෝදරියන් කීපදෙනෙක්ව මට මුණගැහුණා. එයාලගේ අද්දැකීම් ගැන අහද්දී, එයාලා සතුටින් ඉන්න විදිහ දකිද්දී මටත් ආස හිතුණා යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න.”

ලූකා සහ ජියාඩා

 චෙක් ජනරජයේ ජීවත් වුණු තෝමසුයි, වෙරෝනිකායි එයාලගේ දරුවන් වුණු ක්ලාරායි, මතියසුයි එක්ක 2015දී බල්ගේරියාවේ පදිංචියට ගියා. එයාලා ඒ දේ කරන්න පෙලඹුණේ ඇයි? ඒ ගැන තෝමස් කියන දේ බලන්න. “වෙන රටකට ගිහිල්ලා සේවය කරන අය ගැන අපි හිතුවා. ඒ අය අතරේ අපේ සමහර නෑදෑයනුත් හිටියා. අපි කතා වුණා එයාලා කොච්චර සතුටින් ඉන්නවාද කියලා.” එයාලගේ පවුලේ හැමෝම දැන් හරිම සතුටින් බල්ගේරියාවේ සේවය කරනවා.

ක්ලාරා, තෝමස්, වෙරෝනිකා සහ මතියස්

 බල්ගේරියාවේ සේවය කරන ලින්ඩාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “අවුරුදු ගාණකට කලින් මං ඉක්වදෝරයට ගිය වෙලාවේ එහේ සේවය කරන්න ඇවිත් හිටිය කීපදෙනෙක්ව මට මුණගැහුණා. එයාලා එක්ක කතා කරද්දී මට හිතුණා කවදා හරි දවසක මාත් ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහිල්ලා සේවය කරන්න ඕනෙ කියලා.” ෆින්ලන්තයේ ජීවත් වුණු පෙට්රී සහ නාඩියාගේ අද්දැකීම බලන්න. එයාලා මෙහෙම කියනවා. “ප්‍රචාරකයන් අඩු පළාත්වල අවුරුදු ගාණක් සේවය කරපු සහෝදර සහෝදරියන් අපේ සභාවේ හිටියා. එයාලා ඒ අද්දැකීම් ගැන අපි එක්ක කතා කළේ හරිම සතුටින්. එයාලා කිව්වා ඒ සේවයෙන් අද්දැකපු සතුට එයාලා වෙන කිසිම දේකින් අද්දැක්කේ නැහැ කියලා.”

ලින්ඩා

නාඩියා සහ පෙට්රී

හොඳින් සැලසුම් කරන එක

 වෙන රටකට ගිහින් සේවය කරන්න නම් හොඳින් සැලසුම් කරන්නම ඕනේ. (ලූක් 14:28-30) බෙල්ජියමේ ජීවත් වුණු නෙලාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “වෙන රටකට ගිහින් සේවය කරන්න ඕනෙ කියලා මං තීරණය කළාට පස්සේ මං ඒ ගැන යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. ඊටපස්සේ ඒ ගැන තිබුණු ලිපි මං හොඳට අධ්‍යයනය කළා. මගේ ඉලක්කය ජය ගන්න නම් මගේ පැත්තෙන් කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න මං ගොඩක් උත්සාහ කළා.”

නෙලා (දකුණ)

 පෝලන්තයේ ජීවත් වුණු ක්‍රිස්ටියන් සහ අර්මිනාගේ අද්දැකීම බලන්න. එයාලා දැන් අවුරුදු නවයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ බල්ගේරියාවේ සේවය කරනවා. ඒ දෙන්නා බල්ගේරියාවට යන්න කලින් පෝලන්තයේ බල්ගේරියානු භාෂාවෙන් රැස්වීම් පවත්වපු කණ්ඩායමකට ගිහින් තිබුණා. දැන් එයාලට තේරෙනවා එයාලා එහෙම කරපු එක කොච්චර වටිනවාද කියලා. මොකද ඒ කණ්ඩායමේ හිටිය සහෝදර සහෝදරියන් බල්ගේරියානු භාෂාව ඉගෙනගන්න එයාලට ගොඩක් උදව් කරලා තිබුණා. ඒ දෙන්නා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න ඉදිරිපත් වෙද්දී ඔහු අපිව කොච්චර ආදරෙන් රැකබලා ගන්නවාද කියලා අපි අද්දැක්කා. ‘මම යන්න කැමතියි. මාව යවන්න’ කියලා අපි යෙහෝවා දෙවියන්ට කියද්දී හිතාගන්නවත් බැරි දේවල් කරන්න දෙවියන් අපිට උදව් කරනවා.”—යෙසායා 6:8.

ක්‍රිස්ටියන් සහ අර්මිනා

 වෙන රටකට ගිහින් සේවය කරන්න සල්ලි එකතු කරගන්න ඕනෙ නිසා ස්විට්සර්ලන්තයේ ජීවත් වුණු රිටෝයි, කෝනේලියායි සරල ජීවිතේකට හුරු වුණා. එයාලා මෙහෙම කියනවා. “අපි බල්ගේරියාවේ පදිංචියට යන්න කලින් ඒ රට මොන වගේද, එහේ ජීවිතේ මොන වගේද කියලා බලන්න හිතුණු නිසා අපි සතියකට එහේට ගියා. එහේදී අද්දැකීම් තියෙන මිෂනාරි යුවළක්ව අපිට මුණගැහුණා. අපිට උදව් වෙන යෝජනා කීපයක්ම එයාලා අපිට දුන්නා.” රිටෝයි, කෝනේලියායි ඒ මඟ පෙන්වීම් අදාළ කරගත්තා. දැන් එයාලා අවුරුදු 20කටත් වැඩි කාලයක් තිස්සේ බල්ගේරියාවේ සතුටින් සේවය කරගෙන ඉන්නවා.

කෝනේලියා සහ රිටෝ එයාලගේ පුත්තු වන ලූකා සහ යැනික් එක්ක

මුහුණ දෙන්න වුණු අභියෝග

 වෙන රටකට ගිහිල්ලා සේවය කරද්දී විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. (ක්‍රියා 16:9, 10; 1 කොරින්ති 9:19-23) උදාහරණෙකට අලුත් භාෂාවකට හුරු වෙන එක හුඟදෙනෙක්ට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. කලින් සඳහන් කරපු ලූකා මෙහෙම කියනවා. “රැස්වීම්වලදී අපේම වචනවලින් උත්තර දෙන්න අපි දෙන්නාම හුඟක් ආසයි. හැබැයි බල්ගේරියාවට ගියාට පස්සේ එහෙම කරන එක අපිට ලේසි වුණේ නැහැ. පුංචි උත්තරේකට ලෑස්ති වෙන එකත් අපිට ලොකු අභියෝගයක් වුණා. අපිට දැනුණේ අපි හරියට ආයෙත් හෝඩියේ පන්තියට ගියා වගේ. ඇත්තටම කිව්වොත් පොඩි ළමයිනුත් අපිට වඩා හොඳට උත්තර දුන්නා.”

 ජර්මනියේ ජීවත් වුණු රවීල් මෙහෙම කියනවා. “බල්ගේරියානු භාෂාව ඉගෙනගන්න එක මට ගොඩක් අමාරු වුණා. හැබැයි මං මටම මෙහෙම කියාගත්තා. ‘රවීල් ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා. වචනයක් වැරදුණොත් ඒ ගැන අප්සෙට් ගහන්නේ නැතිව ඔයාට වැරදිච්ච එක ගැන ඔයාත් ටිකක් හිනා වෙන්න.’ අභියෝග එද්දී ඒවා ලොකු ප්‍රශ්න හැටියට දකිනවා වෙනුවට ඒකත් මං යෙහෝවා දෙවියන්ට කරන සේවයේ කොටසක් විදිහට දකින්න මං පුරුදු වුණා.”

රවීල් සහ ලිලී

 කලින් සඳහන් කරපු ලින්ඩා මෙහෙම කියනවා. “සමහර අය හරිම ඉක්මනින් අලුත් භාෂාවක් ඉගෙනගන්නවා. හැබැයි මට නම් ඒක බැහැ. අනික බල්ගේරියානු භාෂාව කියන්නේ හරිම අමාරු භාෂාවක්. කීප සැරයක්ම මට හිතුණා මං මේ වැඩේ අත්හැරලා දානවා කියලා. හිතේ තියෙන දේවල් අනිත් අය එක්ක කතා කරගන්න බැරි වෙද්දී, අනිත් අය කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙද්දී ලොකු තනිකමක් දැනෙනවා. ඉතින් යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්න ඕනෙ නිසා මං මගේම භාෂාවෙන් බයිබලය අධ්‍යයනය කළා. හැබැයි සහෝදර සහෝදරියන් හරිම ආදරෙන් මට උදව් කරපු නිසා බල්ගේරියානු භාෂාව ඉගෙනගන්න මට පුළුවන් වුණා.”

 වෙන රටකට ගිහින් සේවය කරද්දී මුහුණ දෙන්න වෙන තවත් අභියෝගයක් තමයි පවුලේ අය ළඟ නැති අඩුව තදින්ම දැනෙන එක. තමන්ගේ සැමියා වුණු යැනිස් එක්ක බල්ගේරියාවේ සේවය කරන්න ඇවිත් හිටිය ඊවා කියන දේ බලන්න. “මෙහේට ආව මුලදී අපිට ලොකු තනිකමක්, පාළුවක් දැනුණා. ඒ නිසා අපි නිතරම වගේ අපේ පවුලේ අය එක්කයි, අපේ පරණ යාළුවන් එක්කයි කතා කළා. මෙහෙනුත් අපි අලුත් යාළුවන්ව හොයාගත්තා.”

යැනිස් සහ ඊවා

 ස්විට්සර්ලන්තයේ ඉඳන් බල්ගේරියාවේ සේවය කරන්න ඇවිත් හිටිය රොබර්ටුයි, ලියානායි තවත් අභියෝගයකට මුහුණ දුන්නා. එයාලා මෙහෙම කියනවා. “මෙහේ භාෂාවට විතරක් නෙවෙයි, දේශගුණයට හුරු වෙන එකත් අපිට පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. මොකද මෙහේ ගල් ගැහෙන තරම් සීතලයි.” හැබැයි ඒ දෙන්නා හැම දේකම හොඳ පැත්ත ගැන හිතන්නත් තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් සන්සුන්ව ඉන්නත් පුරුදු වුණා. ඒ නිසා මේ වෙද්දී එයාලා අවුරුදු 14ක් තිස්සේම බල්ගේරියාවේ දිගටම සේවය කරගෙන ඉන්නවා.

රොබර්ට් සහ ලියානා

අද්දකින ආශීර්වාද

 රවීල්ගේ බිරිඳ වන ලිලී කියන දේ බලන්න. “ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන්න ගිය නිසා යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුන ගන්න මට පුළුවන් වුණා. අනිත් අයට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙන්න මං වැඩි කාලයක් වැය කරන නිසා ඒකෙන් යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීමත් තව ශක්තිමත් වෙනවා.” එයාගේ සැමියා වන රවීල් මෙහෙම කියනවා. “මෙහේ සේවය කරන්න ආපු නිසා අපි අද්දකින සතුට වෙන කිසිම දේකින් අපි අද්දැකලා තිබුණේ නැහැ. විවිධ රටවලින් ඇවිත් ඉන්න හරිම දක්ෂ විදිහට සේවේ හවුල් වෙන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව මට හඳුනගන්න පුළුවන් වුණා. ඇත්තටම එයාලගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා.”

 ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙන අපේ සහෝදර සහෝදරියන් නිසා ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. (මතෙව් 24:14) යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න ඉදිරිපත් වෙන අයව ඔහු කවදාවත් තනි කරන්නේ නැහැ. එයාලගේ සැලසුම් සාර්ථක කරගන්න ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා. (ගීතාවලිය 20:1-4) බල්ගේරියාවේ සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු අපේ සහෝදර සහෝදරියන් ඒ දේ කොච්චර ඇත්තක්ද කියලා අද්දකිනවා.