Skip to content

රුධිරය ශරීරගත කිරීම ගැන වෛද්‍යවරුන්ගේ මතය වෙනස් වෙයි!

රුධිරය ශරීරගත කිරීම ගැන වෛද්‍යවරුන්ගේ මතය වෙනස් වෙයි!

ගොඩක් වෛද්‍යවරු හිතුවේ රුධිරය ශරීරගත කිරීම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් කියලයි. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘ලේවලින් වැළකී සිටින්න’ කියලා බයිබලේ තියෙන ආඥාවට කීකරු වෙන නිසා රුධිරය ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔවුන් දශක ගණනාවක් පුරා බොහෝ අයගේ විවේචනයට ලක් වී තියෙනවා.—ක්‍රියා 15:29.

නමුත් දැන් වෛද්‍ය ක්ෂේත්‍රයේ අද්දැකීම් තියෙන අයම, රුධිරය ශරීරගත කරන්නේ නැතුව කරන්න පුළුවන් විකල්ප ප්‍රතිකාර ක්‍රමවල තියෙන ප්‍රයෝජන ගැන කතා කරන්න පටන්ගෙන තියෙනවා.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් 2013 අප්‍රියෙල් මාසයේ නිකුත් කරපු සඟරාවක රුධිරය ශරීරගත කිරීම ගැන විශේෂ ලිපියක් පළ වුණා. එම ලිපිය ලියූ සාරා විලියම්ස් මේ වගේ දෙයක් සඳහන් කළා. ‘පහුගිය අවුරුදු දහය පුරා කළ පර්යේෂණවලින් පේන්නේ රෝහල්වල ගබඩා කරපු රුධිරය ඕන තරම් තියෙන හින්දා රෝගියාට අවශ්‍ය වුණත් නැතත් ශල්‍යාගාරවලදීත් වාට්ටුවලදීත් නිතරම සහ ඕනෑවටත් වඩා රෝගීන්ට රුධිරය ශරීරගත කරනවා කියන එකයි.’—Stanford Medicine Magazine.

පෙන්සිල්වේනියා රෝහලේ, රුධිරය නොමැති ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරිය වන පැට්‍රීෂියා ෆෝර්ඩ් කියපු දෙයක් ගැන සාරා විලියම්ස් සඳහන් කළේ මෙහෙමයි. “ගොඩක් වෛද්‍යවරු කියන්නේ රෝගියාට තියෙන්න ඕන රුධිර මට්ටමට වඩා රුධිරය අඩු වුණොත් ඔහු මැරෙනවා කියලයි. සමහර අවස්ථාවලදී ඒක ඇත්ත. * ඒත් හැම රෝගියෙක් සම්බන්ධයෙන් නම් ඒක ඇත්ත නෙමෙයි.”

හැම අවුරුද්දෙම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 700කට විතර ප්‍රතිකාර කරන වෛද්‍ය ෆෝර්ඩ් මෙහෙම කිව්වා. ‘මං කතා කරපු ගොඩක් වෛද්‍යවරුන්ට තිබුණ වැරදි මතයක් තමයි ලේ දෙන්නේ නැතුව රෝගීන්ව ජීවත් කරවන්න බෑ කියන එක. කාලයක් මමත් එහෙම හිතුවා. හැබැයි මම ඉගෙනගත්ත දෙයක් තමයි, ලේ දෙන්න ඕනෙ කියලා හිතන වෙලාවලදී වුණත් ලේ දෙන්නේ නැතුව විකල්ප ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරලා රෝගියාව බේරගන්න පුළුවන් කියන එක.’

එක රෝහලක අවුරුදු 28ක් ඇතුළත හදවත් සැත්කම් කරපු රෝගීන්ව යොදාගෙන කරපු පර්යේෂණයක ප්‍රතිඵල ගැන 2012 අගෝස්තු මාසයේ පළ වූ සඟරාවක මෙහෙම සඳහන් වෙලා තිබුණා. රුධිරය ශරීරගත කළ රෝගීන් එක්ක බලද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉක්මනින් සුවය ලැබුවා. ඔවුන් රුධිරය ශරීරගත නොකළ නිසා සැත්කමෙන් පස්සෙත් රුධිරය ශරීරගත කළ රෝගීන්ට වඩා වැඩි කාලයක් ජීවත් වුණා.—Archives of Internal Medicine.

2013 අප්‍රියෙල් 8වෙනිදා පළ කරපු සඟරාවක සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි. ‘අවුරුදු ගණනාවක් තිස්සේ ආගමික විශ්වාසයන් නිසා රුධිරය ප්‍රතික්ෂේප කරපු රෝගීන්ට රුධිරය ශරීරගත කරන්නේ නැතුව සැත්කම් කළා. නමුත් දැන් ගොඩක් රෝහල්වල රුධිරය නැතුව සැත්කම් කරනවා. රුධිරය නැතුව සැත්කම් කළ අද්දැකීම් ලත් ශල්‍ය වෛද්‍යවරු කියන්නේ ඒ විදිහට සැත්කම් කරන නිසා රුධිරය මිල දී ගන්න, ගබඩා කරන්න, පර්යේෂණ කරන්න සහ අනුකොටස්වලට වෙන් කර සකස් කරන්න වගේම රුධිරය ශරීරගත කරන්න යන වියදම අඩු වෙනවා කියලයි. ඒ වගේම රුධිරය ශරීරගත කිරීම නිසා ඇති වෙන අතුරු ආබාධවලින් වැළකෙන්නත් රෝහලේ නැවතිලා ඉන්න කාලේ අඩු කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා කියලත් ඔවුන් කියනවා.’—The Wall Street Journal.

ඒ නිසයි ක්ලීව්ලන්ඩ් ක්ලිනික් එකේ රුධිර කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන රොබට් ලෝරෙන්ස් මෙහෙම කිව්වේ. ‘රෝගියෙක්ට රුධිරය දුන්නම කොහොමහරි එයාට උදව් කෙරුවනේ කියලා ඔයාට හිතෙයි. හැබැයි ඒ රෝගියාගේ දත්ත කාලයක් පුරා පරීක්ෂා කළොත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත කියලා ඔයාට තේරෙයි.’

^ 5 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කරගන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න “නිතර අසන ප්‍රශ්න - ඔයාලා ලේ ගන්නැත්තේ ඇයි?” කියන ලිපිය බලන්න.